අනෝපමා ථේරීගාථා වර්ණනාව
උච්චෙකුලෙ මෙය අනෝපමා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරන්නී ක්රමයෙන් මොක්සුව මුහුකරවන ධර්මයන් දියුණුකර මේ බුදුපතෙහි සාකේත නුවර මේඝ නම් සිටුවරයාගේ දියණිය වී උපන්නාය. ඇයගේ රූපසම්පත්තිය නිසා ඇයට අනෝපමා යන නම ලැබිණ. ඇය වැඩිවිය පැමිණි කල්හි බොහෝ සිටු පුත්තු, රජවරු හා මහමැතිවරු ‘මට ඔබගේ දියණිය අනෝපමා පාවා දෙන්න, ඔබහට මේ මේ දේවල් දෙන්නෙමි’ යනුවෙන් එකිනෙක්කෙනා පියා වෙන දූතයන් එවූහ. ඈ එය අසා උපනිශ්රය සම්පත් ඇති බැවින් ඇයට ගිහිගෙයින් පලක් නැතැයි බුදුන්වහන්සේ වෙත ගොස් බණ අසා නුවණ මුහුකුරා ගිය හෙයින් දේශනාව අනුව විදසුන් වඩා එහිලා උත්සුක වෙමින් මගපිළිවෙළින් තෙවැනි ඵලයෙහි පිහිටියාය. ශ්රී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා උන්වහන්සේගේ අණ පරිදි භික්ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වී සත්වන දින රහත්බව ලබා තමාගේ පිළිවෙත විමසා බලා උදාන වශයෙන් මේ ගාථා ප්රකාශ කළාය:
උච්චෙකුලෙ අහං ජාතා බහුවිත්තෙ මහද්ධනෙ,
වණ්ණරූපෙන සම්පන්නා ධීතා මෙඝස්ස අත්රජා
වණ්ණරූපෙන සම්පන්නා ධීතා මෙඝස්ස අත්රජා
පත්ථිතා රාජපුත්තෙහි සෙට්ඨිපුත්තෙහි භිජ්ඣිතා,
පිතු මෙ පෙසයී දූතං දෙථමය්හං අනොපමං
පිතු මෙ පෙසයී දූතං දෙථමය්හං අනොපමං
යත්තකං තුලිතා එසා තුය්හං ධිතා අනොපමා,
තතො අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච
තතො අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච
සාහං දිස්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං අනුත්තරං,
කස්ස පාදානි වන්දිත්වා එකමන්තං උපාවිසිං
කස්ස පාදානි වන්දිත්වා එකමන්තං උපාවිසිං
සො මෙ ධම්මදෙසෙසි අනුකම්පාය ගොතමො,
නිසින්තා ආසනෙ තස්මිං ඵුස්සයිං තතියං ඵලං
නිසින්තා ආසනෙ තස්මිං ඵුස්සයිං තතියං ඵලං
තතො කෙසානි ජෙත්වාන පබ්බජිං අනගාරියං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා
බොහෝ ධන සම්පත් ඇති උසස් කුලයක මම උපත ලදිමි. වර්ණයෙන් හා රූපයෙන් සමන්විත වූ මම මෙඝ (සිටුවරයා) ගේ දියණිය
රජකුමරුවෝ මා ප්රාර්ථනා කළහ. සිටුකුමරුවෝ මා බලාපොරොත්තු වූහ. ඔවුහු ‘අනෝපමා’ මට දෙවයි පියාට පණිවුඩ එවූහ.
ඔබේ දියණියගේ බර කිරීමෙන් යම් ප්රමාණයක් වේද එයින් අටගුණයක රන් හා මුතුමැණික් දෙන්නෙමු.
ඒ මම ලෝකනායකවූ අනුත්තරවූ සම්බුදුන් දැක උන්වහන්සේගේ දෙපා වැඳ එකත්පසෙක හුන්නෙමි.
ඒ ගෞතමයන් වහන්සේ මට අනුකම්පාවෙන් ධර්මය දේශනා කළසේක. ඒ ධර්මයට සවන්දුන් මම ඒ අසුනෙහිදීම තුන්වන ඵලය ලබාගතිමි.
ඉක්බිති මම කෙස් බහා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. තෘෂ්ණාව වියළවීමෙන් පසු අද සත්වන රාත්රියය.
එහි උච්චෙකුලෙ - උදාරතම වෛශ්ය කුලයෙහි, බහුවිත්තෙ - බොහෝ විසිතුරු උපකරණවලින් යුත්, මහද්ධනෙ, නිදන්කොට ඇත්තාවූ සතළිස් කෙළක් පමණ මහත් ධනය ඇති බැවින් මහද්ධනෙ, ‘මම ඉපදුණෙමි’ යනුවෙන් යොදාගත යුතුය. වණ්ණ රූපෙන සම්පන්නා - මනහර වර්ණයෙන් ද මනහර රූපයෙන්ද සමන්විත වූ, බබළනසුලු මොලකැටි ඡවිවර්ණයෙන් ද වස්ත්රාභරණාදී සරීර අවයව අලංකාර කරන දෙයින්ද සමන්විත වූ යන තේරුමය. ධීතා මෙඝස්ස අත්රජා - මේඝ නම් වූ සිටුවරයාගේ උරදා දියණිය.
පත්ථිතා රාජපුත්තෙහි - ‘කෙසේ නම් ඇය ලබාගන්නෙමුද’ රජකුමරුන් විසින් ප්රාර්ථනා කරනු ලැබූ, සෙට්ඨි පුත්තෙහි භිජ්ඣිතා - සිටුකුමරුන් විසින්ද එසේම අභිජ්ඣිතා - බලාපොරොත්තු වූ, දෙථ මය්හං අනොපමං රාජපුත්රාදීහු ‘මට අනෝපමා දෙන්න, මට අනෝපමා දෙන්න’ යනුවෙන් පියා වෙත දූතයන් එවූහ.
යත්තකං තුලිතා එසා - ඔබේ අනෝපමා දියණිය ධනයෙන් මෙපමණක් අගනේ යයි මැනුම් ලකුණු දන්නන් විසින් පිරිසිඳ කියන ලදද ‘එයින් අටගුණයක් දෙන්නෙමි’ යයි පියා වෙත දූතයන් එවී යයි සම්බන්ධකර ගතයුතුය. සෙස්ස යට කියනලද පරිදිමය.
අනෝපමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
මහාප්රජාපතී ගෝතමී ථේරීගාථා වර්ණනාව
බුද්ධවීර නමොත්යත්ථු යන මෙය මහාප්රජාපතී ගෞතමියගේ ගාථාවය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැන ඉගෙනගත් පසු බුදුන්ගෙන් බණ අසන විටක බුදුන්වහන්සේ එක්තරා භික්ෂුණියක් චිරකාලඥ භික්ෂුණීන් අතරෙන් අගතනතුරෙහි තබනු දැක අධිකාරය පිහිටුවා කප්සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කස්සප බුදුන්ගේ හා අප බුදුන්ගේ අතර කාලයෙහි බුද්ධශුන්ය ලෝකයෙහි බරණැස් නුවර පන්සියයක් දාසීන් අතරෙන් ජ්යෙෂ්ඨ දාසිය වී උපන්නාය. ඉක්බිති ඕතොමෝ, වස්වසන සමයෙහි පන්සියයක් පසේබුදුවරුන් නන්දමූලක කඳුබෑවුමෙන් ඉසිපතනයට බැස නගරයෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඉසිපතනයටම ගොස් වැසි සමයෙහි විසීමට කුටියක් සාදාගනු පිණිස අත්වැඩකරුවන් සොයන උන්වහන්සේලා දුටු ඒ දාසීහු තම තමන්ගේ සැමියන්ද සමාදන් කරවාගෙන සක්මන්මලු ආදියෙන් අංග සම්පූර්ණ වූ කුටිපහක් කරවා ඇඳපුටු හා පැන් බොන දන් වළඳන බදුන් තබා ඒ තුන්මස එහිම වසන ලෙස පසේබුදුවරුන් පිළින කරවා දොරදන් තැබූහ. යම් තැනැත්තියකට තමාගේ වාරය පැමිණි කල්හි දන් තැබීමට නොහැකි වේද, ඕතොමෝ තම ගෙයින්ම දන් ගෙනවුත් දෙයි. මෙසේ ඒ තෙමස බුදුවරුන් පිළිදැඟුම්කර පවාරණ දිනය පැමිණි කල්හි එක එක දාසිය එක එක සළුව බැගින් සළු පන්සියයක් පිළියෙල කළහ. ඒවා නැවත වෙනස්කර පන්සියයක් පසේබුදුවරුන්ට තුන්සිවුර බැගින් නිමවා පූජාකළහ. පසේබුදුවරයෝ ඔවුන් බලා සිටියදීම අහසින් ගන්ධමාදන පර්වතයට ගියහ.
ඔවුහු සියල්ලෝම දිවි තෙක් පින්කම්කර දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් වැඩිමහලු තැනැත්තී එයින් චුතව ගොස් බරණැස් නුවර සමීපයෙහි පෙහෙකාර ගමක දෙටුපෙහෙරගේ ගෙදර උපත ලැබුවාය. වැඩි වයසට පැමිණි කල්හි ඕතොමෝ පදුමවතීගේ පුතුන්වන පසේ බුදුවරුන් පන්සියය දැක බෙහෙවින් සතුටුවී සියලු වහන්දෑට වැඳ දානය පූජාකළාය. උන්වහන්සේලා දන් වළඳා ගන්ධමාදන පර්වතයට වැඩියහ. ඕතොමෝ දිවිතාක් කුසල් කර දිව්යලෝක හා මනුෂ්ය ලෝකයෙහි හැසිරෙන්නී අප බුදුන් ඉපදීමට පෙරම දෙව්දහ නුවර මහාසුප්පබුද්ධගේ නිවෙසෙහි උපත ලැබුවාය. ඕතොමෝ ගෝත්රාගත නියමයට අනුව ගෝතමී යන නම ලැබුවාය. ඕ මහාමායා දේවියගේ කනිටු සොහොයුරියයි. ‘මේ දෙදෙනාගේ කුසෙහි විසූ දරුවෝ සක්විති රජවරු වන්නාහ.’ යනුවෙන් ලක්ෂණ පාඨකයෝ අනාවැකි පළකළහ. වැඩිවියට පැමිණි කල්හි මංගලෝත්සව පවත්වා සුද්ධෝදන මහරජතුමා කුමරියන් දෙදෙනාම සිය මැදුරට කැඳවාගෙන ආවේය.