සුජාතා ථේරීගාථා වර්ණනාව
අලංකතා සුවසනා මෙය සුජාතා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී සසර ගමනෙහිදී කුසල් රැස්කර ක්‍රමයෙන් මෝක්‍ෂගාමී පුණ්‍ය සම්භාරයෙන් සමෘද්ධිමත් වී මේ බුදුපතෙහි සාකේත නුවර සිටුකුලයක ඉපිද වැඩිවිය පැමිණි කල්හි මවුපියන් විසින් සමජාතික සැමියෙකුට පාවාදී ඔහු සමග සුවසේ වෙසෙන්නී දිනක් උයනට ගොස් නැකැත්කෙළි කෙළ පිරිවර ජනයා සමග නගරයට එන්නී අඳුන් වනයෙහි වෙසෙන බුදුන් දැක පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. බුදුහු ඇයට අනුපිළිවෙළ කථාව කියාදී සිත දමුණු බව දැන ඉන්පසු ලොවුතුරු දහම ලුහුඬින් දේශනා කළ සේක. ධර්‍මදේශනාව අවසානයෙහි ඕතොමෝ තමා විසින් කරන ලද අධිකාර්‍යය ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් ඇති බැවින්ද බුදුන්ගේ දේශනා විලාසය නිසාද හුන් අයුරින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ බුදුන් වැඳ ගෙදර ගොස් සැමියාගේ හා දෙගුරුන්ගේ අනුමැතිය ලබාගෙන බුදුන්ගේ අණින් භික්‍ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදිවූවාය. පැවිදිවී තමාගේ පෙර පිළිවෙත බලා උදන් විසින් මේ ගාථා ප්‍රකාශ කළාය.
අලඞ්තතා සුවසනා මාලිනී චන්‍දනොක්‍ඛිතා,
සබ්බාභරණසඤ්ඡන්නා දාසීගණපුරක්‍ඛිතා
අන්නංපානඤ්ච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං,
ගෙහතොනික්‍ඛමිත්‍වාන උය්‍යානමභිහාරයිං
තත්‍ථ රමිත්‍වා කීළිත්‍වා ආගච්ඡන්තී සකං ඝරං,
විහාරං දට්ඨුං පවිසිං සාකෙතෙ අඤ්ජනං වනං
දිස්වාන ලොකපජ්ජොතං වන්‍දිත්‍වාන උපාවිසිං,
සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය චක්‍ඛුමා
සුත්‍වා ච ඛො මහෙසිස්ස සච්චං අප්පටිවිජ්ඣහං,
තත්‍ථෙව විරජං ධම්මං ඵුස්සයිං අමතං පදං
තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජිං අනගාරියං,
කිස්සො විජ්ජා අනුප්පත්තා අමොඝං බුද්ධසාසනං
අබරණින් සැරසී විසිතුරු ඇඳුම් ඇඳගෙන මල් මාලා පැළඳ සඳුන්සුණු අලෙව්දි දාසි සමූහයා විසින් පිරිවරන ලදුව,
ආහාරපානාදී ඛාද්‍යභොද්‍ය බොහෝ සෙයින් රැගෙන ගෙයින් පිටත්ව උයනට ගියෙමි.
එහි කෙළිදෙළෙන් පසුව තම ගෙදරට පෙරළා එන අතර සාකේත නුවර අඳුන් වනයෙහි වූ විහාරය බැලීමට එහි පිවිසියෙමි.
ලෝකයට පහනක් වැනිවූ ඒ බුදුන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. මට අනුකම්පා කළ උන්වහන්සේ ධර්‍මය දේශනා කළ සේක.
ඒ බුදුන්ගේ බණ අසා මම සත්‍යය අවබෝධ කළෙමි. එතැන්හිදීම ඒ ධර්‍මය අවසාන කොට ඇති අමාමහ නිවණ ස්පර්‍ශ කළෙමි.
ඉන්පසු දැනගත් දහම් ඇති මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ අවවාදය නොසිස්වූවකි.
එහි අලංකතා - සැරසී, ඒ සැරසුණු අයුරු දක්වනු පිණිස සුවසනා මාලිනී චන්‍දනොක්‍ඛිතා යනුවෙන් කියන ලදි. එහි මාලිනී - මල්මාලා දරන, චන්‍දනොක්‍ඛිතා - සඳුන් අලෙව් දුන්, සබ්බාභරණ සඤ්ඡන්නා - වළලු ආදි සියලු අබරණින් අලංකාර වශයෙන් සිරුර වසාගෙන,
අන්නං පානංච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං - හැල්බත් ආදී ආහාරද අඹපැන් වැනි පානවර්‍ග ද රොටී වැනි ඛාද්‍ය වර්‍ගද සෙසු ආහාර වශයෙන් ගැනෙන භොද්‍ය වර්‍ගද බහුල වශයෙන් ගෙන, උය්‍යානමභිහාරයිං - නැකැත් කෙළි විසින් උයනට ගෙන ගියෙමි. කෑම බීමාදිය එහි ගෙන ගොස් පිරිවර ජනයා සමග ක්‍රීඩා කරන්නී සතුටුවන්නී පිරිවැරූයෙමි යනු අදහසය.
සාකෙතෙ අඤ්ජනං වනං - සාකේත නුවර සමීපයෙහිවූ අඳුන් වනය තුළ පිහිටි විහාරයට ගියෙමි.
ලොකපජ්ජොතං - නැණපහනින් ලෝකයාට ආලෝකයක් වූ,
ඵුස්සයිං ස්පර්‍ශ කළෙමි, අවබෝධ කළෙමි යන තේරුමය. සෙස්ස කියනලද පරිදිමය.
සුජාතා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
අනෝපමා ථේරීගාථා වර්ණනාව
උච්චෙකුලෙ මෙය අනෝපමා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරන්නී ක්‍රමයෙන් මොක්සුව මුහුකරවන ධර්‍මයන් දියුණුකර මේ බුදුපතෙහි සාකේත නුවර මේඝ නම් සිටුවරයාගේ දියණිය වී උපන්නාය. ඇයගේ රූපසම්පත්තිය නිසා ඇයට අනෝපමා යන නම ලැබිණ. ඇය වැඩිවිය පැමිණි කල්හි බොහෝ සිටු පුත්තු, රජවරු හා මහමැතිවරු ‘මට ඔබගේ දියණිය අනෝපමා පාවා දෙන්න, ඔබහට මේ මේ දේවල් දෙන්නෙමි’ යනුවෙන් එකිනෙක්කෙනා පියා වෙන දූතයන් එවූහ. ඈ එය අසා උපනිශ්‍රය සම්පත් ඇති බැවින් ඇයට ගිහිගෙයින් පලක් නැතැයි බුදුන්වහන්සේ වෙත ගොස් බණ අසා නුවණ මුහුකුරා ගිය හෙයින් දේශනාව අනුව විදසුන් වඩා එහිලා උත්සුක වෙමින් මගපිළිවෙළින් තෙවැනි ඵලයෙහි පිහිටියාය. ශ්‍රී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා උන්වහන්සේගේ අණ පරිදි භික්‍ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වී සත්වන දින රහත්බව ලබා තමාගේ පිළිවෙත විමසා බලා උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
උච්චෙකුලෙ අහං ජාතා බහුවිත්තෙ මහද්ධනෙ,
වණ්ණරූපෙන සම්පන්නා ධීතා මෙඝස්ස අත්‍රජා
පත්‍ථිතා රාජපුත්තෙහි සෙට්ඨිපුත්තෙහි භිජ්ඣිතා,
පිතු මෙ පෙසයී දූතං දෙථමය්හං අනොපමං
යත්තකං තුලිතා එසා තුය්හං ධිතා අනොපමා,
තතො අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච
සාහං දිස්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං අනුත්තරං,
කස්ස පාදානි වන්‍දිත්‍වා එකමන්තං උපාවිසිං
සො මෙ ධම්මදෙසෙසි අනුකම්පාය ගොතමො,
නිසින්තා ආසනෙ තස්මිං ඵුස්සයිං තතියං ඵලං
තතො කෙසානි ජෙත්‍වාන පබ්බජිං අනගාරියං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා
බොහෝ ධන සම්පත් ඇති උසස් කුලයක මම උපත ලදිමි. වර්ණයෙන් හා රූපයෙන් සමන්විත වූ මම මෙඝ (සිටුවරයා) ගේ දියණිය
රජකුමරුවෝ මා ප්‍රාර්ථනා කළහ. සිටුකුමරුවෝ මා බලාපොරොත්තු වූහ. ඔවුහු ‘අනෝපමා’ මට දෙවයි පියාට පණිවුඩ එවූහ.
ඔබේ දියණියගේ බර කිරීමෙන් යම් ප්‍රමාණයක් වේද එයින් අටගුණයක රන් හා මුතුමැණික් දෙන්නෙමු.
ඒ මම ලෝකනායකවූ අනුත්තරවූ සම්බුදුන් දැක උන්වහන්සේගේ දෙපා වැඳ එකත්පසෙක හුන්නෙමි.
ඒ ගෞතමයන් වහන්සේ මට අනුකම්පාවෙන් ධර්‍මය දේශනා කළසේක. ඒ ධර්‍මයට සවන්දුන් මම ඒ අසුනෙහිදීම තුන්වන ඵලය ලබාගතිමි.
ඉක්බිති මම කෙස් බහා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. තෘෂ්ණාව වියළවීමෙන් පසු අද සත්වන රාත්‍රියය.
එහි උච්චෙකුලෙ - උදාරතම වෛශ්‍ය කුලයෙහි, බහුවිත්තෙ - බොහෝ විසිතුරු උපකරණවලින් යුත්, මහද්ධනෙ, නිදන්කොට ඇත්තාවූ සතළිස් කෙළක් පමණ මහත් ධනය ඇති බැවින් මහද්ධනෙ, ‘මම ඉපදුණෙමි’ යනුවෙන් යොදාගත යුතුය. වණ්ණ රූපෙන සම්පන්නා - මනහර වර්‍ණයෙන් ද මනහර රූපයෙන්ද සමන්විත වූ, බබළනසුලු මොලකැටි ඡවිවර්‍ණයෙන් ද වස්ත්‍රාභරණාදී සරීර අවයව අලංකාර කරන දෙයින්ද සමන්විත වූ යන තේරුමය. ධීතා මෙඝස්ස අත්‍රජා - මේඝ නම් වූ සිටුවරයාගේ උරදා දියණිය.