ඛේමා ථේරීගාථා වර්ණනාව
දහරා ත්‍වං රූපවතී යනාදී ගාථා ඛේමා තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර අනුන් යටතේ බැලමෙහෙකම් කරන දාසියක්ව උපන්නාය. ඕතොමෝ අනුන්ට මෙහෙය කරමින් ජීවිකාව උපයා ගන්නී දිනක් පියුමතුරා බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරණුවන් පිඬු සිඟා වඩිනු දැක රසගුලි තුනක් පුදා එදිනම තමාගේ කෙස් විකුණා තෙරණුවන්ට දනක් දී අනාගතයෙහි මහා ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙම්වායි ප්‍රාර්ථනාකොට ජීවිතාන්තය දක්වා පින් කිරීමෙහි අනලස් වී දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී ක්‍රමයෙන් සදෙව්ලොව ඒ ඒ දෙව්රජවරුන්ට අග මෙහෙසිය වී මිනිස් ලොවෙහිද නොයෙක්වර සක්විති රජවරුන්ට හා මාණ්ඩලික රජවරුන්ට ද මෙහෙසිබවට පැමිණියා මහත් සැප විඳ විපස්සි බුදුන්ගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද වයසින් වැඩුණු පසු බුදුන්ගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිව වසර දසදහසක් බඹසර හැසිරෙන්නී බහුශ්‍රැත ධර්‍මකථිකාවක් වී බොහෝ දෙනාට ධර්‍මය දේශනා කරමින් ප්‍රඥාසම්පත්තිය ලබාගෙන එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී මේ කල්පයෙහි කකුසඳ හා කෝණාගමන යන බුදුවරුන්ගේ කාලවල සැපසම්පත්වලින් අනූන කුලගෙවල ඉපිද කල්යාමේදී සංඝාරාමයක් කරවා බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට පූජාකළාය.
කසුප් බුදුන්ගේ කාලයෙහි කිකි රජුගේ සමණී නමින් වැඩිමහල් දියණියවී ඉපිද බුදුන්ගෙන් බණ අසා සැදැහැතිව හවුරුදු විසිදහසක් ගිහිගෙයි වෙසෙමින් කුමරි බඹසර රකිමින් සමණගුත්තා ආදි සිය සොහොයුරියන් සමග මනහර පිරිවෙනක් කරවා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පූජාකළාය. එසේ ඕතොමෝ හැම භවයකදීම පින් රැස්කර ගනිමින් දෙව්ලොවල උපත ලබමින් මෙම බුදුපතෙහි මගදරට සාගල නුවර රජකුලයක උපන්නාය. ඕ ඛේමා නම් වූවාය. ඕ රන්වන් සිරුර ඇත්තීය. වැඩිවිය පැමිණි පසු බිම්බිසාර රජුගේ මාලිගයට ගියාය. බුදුන්වහන්සේ වේළුවන විහාරයෙහි වෙසෙන්නාහු රූපමදයෙන් මවූ ඕ තොමෝ බුදුන් රූපයෙහි දොස් දකිතැයි අසා උන්වහන්සේගේ හමුවට නොයයි,
රජතුමා මිනිසුන් ලවා වේළුවනයෙහි අලංකාරය කියවා එය දැකීමට ඇය තුළ කැමැත්තක් ඇතිකරවීය. ඉක්බිති බිසොව විහාරය දකිනු කැමැත්ත රජුට කීවාය. විහාරයට ගොස් බුදුන් නොදැක පැමිණීම නොවටනේ යයි සිතූ රජතුමා බලාත්කාරයෙන්වුවද දේවිය බුදුන්ට මුනගස්වනු සඳහා මිනිසුන්ට ඇඟවීමක් කළේය. බිසොව දිවාකාලය විහාරයෙහි ගතකර බුදුන් නොදැකම පෙරළා පැමිණීමට පිටත්වූවාය. එවිට රාජපුරුෂයෝ නොකැමැතිවුවද ඇය බුදුන් හමුවට පැමිණවූහ. බුදුහු ඇය එනු දැක අප්සරාවක වැනි ස්ත්‍රී රූපයක් මවා ඇය බුදුන්ට පවන් සලන්නාක් මෙන් පෙනෙන්ට සැලැස්වූහ. ඛේමා ඇය දැක මෙසේ සිතුවාය. දෙවසරන් වැනි රූමත් කාන්තාවෝ බුදුන් සමීපයෙහි සිටිති. මා ඔවුන්ගේ සේවිකාවක් වීමට පවා නුසුදුසුය. මගේ මනස ද කිසි හේතුවක් නොමැතිව පවට නැඹුරු විය. මෙය නිමිති වශයෙන් මෙනෙහි කරමින් ඒ ස්ත්‍රී රූපය දෙස බලාගෙන සිටියාය. ඇය එසේ බලා සිටිය දී බුදුහු ස්වකීය අධිෂ්ඨාන බලයෙන් ඒ ස්ත්‍රිය ප්‍රථමවයස ඉක්මවා මැදවයසටද මැදවයස ඉක්මවා පසුවයසටද පැමිණ දත් වැටී කෙස් පැසී ඇඟ රැලි වැටී දිරාපත්වූවා තල්පතත් සමගම බිම ඇදවැටුණාය. ඉක්බිති ඛේමාවෝ කරන ලද ප්‍රාර්ථනාමය පුණ්‍ය සම්භාරය ඇත්තී මෙසේ සිතුවාය. මෙවැනි සිරුරකට ද මෙවැනි විපතක් සිදුවිය. මගේ සිරුරෙහිද ස්වභාවය එයම වියයුතුය. ඉක්බිති ඇයගේ සසර දුටු ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළහ.
යෙ රාගරත්නානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව,
ජාලං එතම්පි ජෙත්‍වාන වජන්ති ධීරා අනපෙක්‍ඛිනො සබ්බදුක්‍ඛං පහාය