වාසෙට්ඨි ථේරීගාථා වර්ණනාව
පුත්ත සොකෙන’හං අට්ටා ආදි ගාථා වාසෙට්ඨි තෙරණියගේය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්යය ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරන්නී මේ බුදුපතෙහිදී විශාලා නුවර කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණි කල්හි මවුපියන් විසින් සමජාතික කුලපුත්‍රයෙකුට පාවා දෙන ලද්දීය. පතිකුලයට ගොස් සැමියා සමග සුවසේ වෙසෙන්නී පුතෙකු ලබා ඔහු දුව ඇවිදින කාලයෙහි කලුරිය කළෙන් ඕතොමෝ ඒ ශෝකයෙන් කලකිරී උමතුවුවාය. සැමියා හා නෑදෑයන් ඇයට පිළියම් කරන කල්හි ඔවුන්ට නොදැනුවත්ව ගෙදරින් පලාගොස් ඒ ඒ තන්හි ඇවිදින්නී මිථිලා නුවරට පැමිණියාය. එහිදී ඇයට ශාන්තදාන්ත වූ ඇවුරුණු ඉඳුරන් ඇති බුදුන්වහන්සේ ඇතුළු වීථියෙහි දී දක්නට ලැබිණ. උන්වහන්සේ මුණගැසෙත්ම උන්වහන්සේගේ ආනුභාවයෙන් උමතුබව දුරුවිය. පියවි සිහිය ලැබිණ. ඉක්බිති ඇයට ලුහුඬින් දහමක් දෙසූහ. ඒ ධර්‍මය අවබෝධ කරගත් ඕතොමෝ හටගත් ශ්‍රද්ධාව ඇත්තී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වූවාය. බුදුන්ගේ අනුදැනීමෙන් භික්‍ෂුණීන් වෙත පැවිදිව කරනලද පෙර කිස ඇත්තී විදසුන් වඩා වෑයම් කරන්නී නුවණ මුහුකුරා ගොස් තිබුණු හෙයින් නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහියට නගා බලා උදන් විසින් මෙසේ ප්‍රකාශ කළාය:
පුත්ත සොකෙන’හං අට්ටා ඛිත්තචිත්තා විසඤ්ඤනී,
නග්ගා පකිණ්ණකෙසී ච තෙන තෙන විචාරිහං
වසිං සඞ්කාරකූටෙසු සුසානෙ රථියාසු ච,
අචරිං තීණි වස්සානි ඛුප්පිපාසා සමප්පිතා
අථාද්දසාසිං සුගතං නගරං මිථිලං පති,
අදන්තානං දමෙතාරං සම්බුද්ධමකුතො භයං
සවිත්තං පටිලද්ධාන වන්‍දිත්‍වාන උපාවිසිං,
සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය ගොතමො
තස්ස ධම්මං සුණිත්‍වාන පබ්බජිං අනගාරියං,
යුඤ්ජන්තී සත්‍ථුවචතෙ සච්ඡාකාසිං පදං සිවං
සබ්බෙ සොකා සමුච්ඡින්තා පහීනා එතදන්තිකා,
පරිඤ්ඤාතාහි මෙ වත්‍ථු යතො සොකොනසම්භවො
පුතා මළ සොවින් කලකිරුණන් මගේ සිත වික්‍ෂිප්ත විය, සිහිය මඳවිය. නිරුවත්ව විසුරුණු කෙස් ඇතිව ඒ ඒ තන්හි හැසුරුණෙමි.
කසළ ගොඩවල සොහොන් පිටිවල වීදිවල සාපිපාසාවෙන් මැඩී තුන්වසරක් පුරා ඇවිද්දෙමි. දිනෙක මිථිලා නුවරදී, නො දමුණු පුඟුලන් දමන්නාවූ, කිසිම බියක් නොමැති සුගත වූ බුදුන්වහන්සේ දිටිමි.
එකෙණෙහිම නැවත සිහිය ලැබූ මම උන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. ඒ ගෞතමයන්වහන්සේ මට අනුකම්පාවෙන් ධර්‍මයක් දේශනා කළ සේක.
උන්වහන්සේගේ බණ අසා මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. බුදුන්ගේ චචනය පිළිපැදීමෙන් ශාන්තිපදය ක්‍ෂාත්ක්‍ෂාත් කරගතිමි.
සියලු ශෝක නැතිවිය, කෙලෙස් දුරුවිය අවසාන අවස්ථාවට පැමිණියෙමි. ශෝකයේ තැන් අවබෝධ කරගතිමි.
එහි අට්ටා - කලකිරුණු, කලකිරීමෙන් පෙළුණේ යන තේරුමය. ඛිත්ත චිත්තා - සෝක උමතුවෙන් විසුරුණු හදවත ඇති. එහෙයින්ම පියවි සිහිය නැතිව යාමෙන් විසඤ්ඤී - හිරිඔතප් නැතිවීම හේතුකොට වස්ත්‍ර පහව යාමෙන් නග්ගා - විසුරුණු කෙස් ඇති බැවින් පකිණ්ණ කෙසී තෙනනෙන - ගමෙන් ගමට නගරයෙන් නගරයට වීදියෙන් විදියට හැසුරුණෙමි.
අථ - උමතුබවට කාරක වූ කර්‍මය නිමවී ගිය පසු සුගතං - මනා ගමන් ඇති බැවින්, යහපත් තැනකට ගිය හෙයින්, මැනැවින් කියනලද හෙයින්, මැනවින් අවබෝධ කරගත් හෙයින් සුගත වූ බුදුහු මිථිලං පති - මිථිලා නගරය බලා, මිථිලා නගරාභිමුඛව යන්නාවූ යන අර්‍ථයයි.
සචිත්තං පටිලද්ධාන - බුදුහුගේ ආනුභාවයෙන් උමතුබව දුරුවී පියවි සිහිය ලැබ.
යුඤ්ජන්ති සත්‍ථු වචනෙ - සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ශාසන කාර්‍යයෙහි යෙදෙන්නී භාවනාවෙහි නිරතවෙයි. පච්ඡාකාසිං සිවං පදං - ශාන්තිය, ක්‍ෂේම භූමිය චතුර්විධ යෝගයන්ගෙන් උපද්‍රව රහිත වූ නිර්‍වාණ පදය ප්‍රත්‍යක්‍ෂ කළෙමි.
එතදන්තිකා - මා විසින් ලබාගත්තාවූ මේ රහත්ඵලය අවසානයයි, කෙළවරයි, මේ සියල්ලගේම නිමාවය. සොකා - දැන් ඒ ශෝකයන්ගේ හටගැන්මක් නැත යන තේරුමය. යතො සොකොනසම්භවො - අවබෝධකර ගැනීමේ ලක්‍ෂණ කොට ඇති සෝකයන්ගේ හටගැන්ම ඒ සේවකයන්ගේ පඤ්ච උපාදානස්කන්‍ධ සංඛ්‍යාත වස්තූන් දැනීම, තීරණය කිරීම, ප්‍රහාණය කිරීම යන කරුණු විසින් සම්පූර්‍ණයෙන් දන්නාවූ හෙයින් සෝකයන් මෙය කෙළවරකොට ඇත්තේය යනුවෙන් යොදාගතයුතුය.
වාසෙට්ඨ තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
ඛේමා ථේරීගාථා වර්ණනාව
දහරා ත්‍වං රූපවතී යනාදී ගාථා ඛේමා තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර අනුන් යටතේ බැලමෙහෙකම් කරන දාසියක්ව උපන්නාය. ඕතොමෝ අනුන්ට මෙහෙය කරමින් ජීවිකාව උපයා ගන්නී දිනක් පියුමතුරා බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරණුවන් පිඬු සිඟා වඩිනු දැක රසගුලි තුනක් පුදා එදිනම තමාගේ කෙස් විකුණා තෙරණුවන්ට දනක් දී අනාගතයෙහි මහා ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙම්වායි ප්‍රාර්ථනාකොට ජීවිතාන්තය දක්වා පින් කිරීමෙහි අනලස් වී දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී ක්‍රමයෙන් සදෙව්ලොව ඒ ඒ දෙව්රජවරුන්ට අග මෙහෙසිය වී මිනිස් ලොවෙහිද නොයෙක්වර සක්විති රජවරුන්ට හා මාණ්ඩලික රජවරුන්ට ද මෙහෙසිබවට පැමිණියා මහත් සැප විඳ විපස්සි බුදුන්ගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද වයසින් වැඩුණු පසු බුදුන්ගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිව වසර දසදහසක් බඹසර හැසිරෙන්නී බහුශ්‍රැත ධර්‍මකථිකාවක් වී බොහෝ දෙනාට ධර්‍මය දේශනා කරමින් ප්‍රඥාසම්පත්තිය ලබාගෙන එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී මේ කල්පයෙහි කකුසඳ හා කෝණාගමන යන බුදුවරුන්ගේ කාලවල සැපසම්පත්වලින් අනූන කුලගෙවල ඉපිද කල්යාමේදී සංඝාරාමයක් කරවා බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට පූජාකළාය.