භද්‍දාකුණ්ඩලකේසා ථේරීගාථා වර්ණනාව
ලූනකෙසී යන මේ ගය භද්දා කුණ්ඩල කේසීගේ ප්‍රකාශයය. මොතොමෝද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද ඉගෙනීමෙන් පසුව දිනක් බුදුන්ගෙන් බණ අසමින් සිටියදී බුදුහු එක් භික්ෂුණියක් වහා අවබෝධ කරගන්නා තැනැත්තියන්ගෙන් අගතනතුරට පත්කරනු දැක අධිකාර්යය කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් පින්කම් කොට කප් සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිර කසුප් බුදුන්ගේ කාලයෙහි කිකී නම් කාසිරජුගේ ගෙයි සොහොයුරියන් සත්දෙනෙකු අතර ඉපිද වසර විසිදහසක් දසසිල් රැක කුමරි බඹසර හැසිර එක බුද්ධාන්තරයක් දෙව්ලෝවලම හැසිර මේ බුදුපතෙහි රජගහ නුවර සිටුකුලයක උපන්නාය. ඕ භද්දා නම් වූවාය. මහත් පිරිවරින් වැඩෙන්නා වූ ඕතොමෝ වයසින් වැඩුණු කල්හි එම නගරයෙහිම පුරෝහිතයාගේ පුත්වූ සන්තුක නම් සොරා සමග විවාහ වී රජුගේ අණින් නගර ගුත්තිකයන් විසින් ඝාතනය සඳහා වධක භූමියට ගෙනයනු ලබන්නා වූ හෙතෙම සිවුමැදුරු කවුළුවෙන් බලා සිටි භද්දා විසින් දක්නා ලදී. දුටු කෙණෙහිම ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිවූ ඕතොමෝ ‘ඉදින් ඔහු ලැබේ නම් ජීවත්වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි’යි ඉටා සයනයෙහි වැතිර ගත්තාය.
ඉක්බිති ඇයගේ පියා එපුවත අසා එකම දියණිය හෙයින් බලවත් සෙනෙහෙ ඇත්තේ කහවණු දහසක අල්ලසක් දී උපායයෙන් සොරා මුදවාගෙන සුවඳ දියෙන් නහවා සියලු අබරණින් සරසා පහයට ගෙන්වා ගත්තේය. භද්‍රාවෝ ද පිරිපුන් මනදොළ ඇත්තී විශේෂ අබරණවලින් හා ඇඳුම්පැළදුම් වලින් සැරසී ඔහුට සේවය කරයි. සන්තුකයා ද කිහිප දිනක් ඇය සමග ගතකොට ඇයගේ අබරණ කෙරෙහි ලෝභ උපදවා ඒවා ගනු කැමැත්තෙන් දිනක් මෙසේ කීවේය: ‘සොඳුර, නගර ගුත්තිකයන් මා අල්වාගත් කල්හි ඉදින් මගේ ජීවිතය රැකදෙන්නේ නම් චෝරප්රපාතයෙහි අධිගෘහිත දේවතාවට බලිකර්මයක් කරන්නෙමැයි බාරවුණෙමි. එහෙයින් එය පිළියෙල කරව’ ඕතොමෝ ඔහුගේ මනදොළ පුරන්නෙමැයි බලි පූජාව පිළියෙල කර සියලු අබරණ පැළඳ රියකට නැගී සැමියා සමග බලිය පුදනු පිණිස ගොස් චෞරප්රපාතය නැගීමට පටන් ගත්තාය.
සියල්ලම සමග පව්වට නගිතහොත් ඇයගේ අබරණ ගැනීමට නොහැකිවෙතැයි සිතූ සන්තුකයා පිරිවර ජනයා එහි නවත්වා තමාම බලිභාජනය ගෙන පර්වතයට නගින්නේ ඇය සමග කිසිම ප්‍රිය මනාප කථාවක් නොකළාය. ඕතොමෝ ඉඟියෙන් මෙන් ඔහුගේ අදහස දැනගත්තාය. සන්තුකයා ඇය අමතා ‘සොඳුර, ඔබේ උතුරුසළුව ගළවා සියලු අබරණ පැළඳුම් එක පොට්ටනියකට බැඳ තබව’යි කීවේය. ‘සැමියෙනි, මගේ කවර වරදක්දැ’යි ඕ ඇසුවාය. ‘මෝඩිය’ ඔහු කීවේය ‘බලිකර්මයක් කිරීමට පැමිණියෙමුදැයි තී සිතන්නෙහිද? බිලියමක ව්‍යාජයෙන් තිගේ අබරණ පැහැර ගැනීමට පැමිණියෙමි.’ ‘සැමිය,’ ඕ කීවාය. ‘මේ අබරණ කවරෙකුගේද කවරක් සඳහාද යන බවක් මම නොදනිමි, වේවා, මාගේ එකම අභිප්‍රාවක් ඉටුකරදෙන ලෙස ඉල්ලමි, එනම්, පෙර ඔබ වැළඳගත්තාක් මෙන් අවසාන වරට දැන් ඔබ වැළඳගැනීමට මට ඉඩ දෙනු මැනවි. හෙතෙම මැනවයි ඒ ඉල්ලීම ඉවසීය. එය ඔහු පිළිගත් බව දන පළමුව ඉදිරියෙන් ඔහු වැළඳගෙන පිටුපසින්ද වැළඳගන්නා බව අඟවා ඔහු පර්වතයෙන් පහළට හෙළුවාය. හෙතෙම වැටී සුණුවිසුණු වී ගියේය. ඇය කළ ආශ්චර්යය දුටු පර්වතයෙහි අධිගෘහිත දේවතාවා ඇයගේ ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රකාශ කරමින් මෙසේ කීවේය:
හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ. ඒ ඒ තන්හිදී ස්ත්‍රියද ප්‍රඥාපාටවය ප්‍රකාශ කරන්නීය.
හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ. ස්ත්‍රිය ද මොහොතකට හෝ සිතා නැණවත්ව ක්‍රියා කරන්නීය.
ඉක්බිති භද්‍රා මෙසේ සිතුවාය. ‘මේ තත්ත්වය අනුව මට ගෙදර යා නොහැකිය. මම මෙතැනින්ම ගොස් යම් පැවිද්දක් ලබාගන්නෙමි’යි නුවට අරමකට ගොස් නුවටුන්ගෙන් පැවිද්ද ඉල්ලුවාය. ‘කවර ක්රමයක පැවිද්දක් අවශ්‍යද? ඔවුහු ඇසූහ. ‘යම් පැවිද්දක් ඔබලා උතුම් හැටියට සලකන්නාහුද එය දෙනු මැනව’ ඕ පිළිතුරු දුන්නාය. ඔවුහු යහපතැයි කියා තල් ඇටයකින් කෙස් උදුරා පැවිදි කළාහුය. නැවත කෙස් වැඩෙන්නේ කුණ්ඩලාකාරව වැඩිණ. එතැන් පටන් ඕතොමෝ කුණ්ඩලකේසා නමින් පළටවූවාය. ඕ එහි උගතයුතු සියල්ල ඉගෙණ මොවුන් දන්නේ මෙපමණෙක, මෙයට වඩා දෙයක් නැතැයි සෑහීමකට පත්නොවී එයින් නික්ම ගොස් යම් යම් තැනක උගත්තු වෙසෙද්ද ඒ ඒ තැන්හි ගොස් ඔවුන් දන්නා ශිල්ප ඉගෙණ තමා සමග කථා කිරීමට සමතෙකු නොදැක යම් ගමකට හෝ නිගමකට යාද එහි වාසල් දොරටුව සමීපයෙහි වැලි ගොඩක් ගසා දඹ අත්තක් එහි සිටුවා ‘යමක් මා සමග වාද කිරීමට කැමැත්තේ නම් මේ දඹ අත්ත මඩීවා’ කියා ඒ සමීපයෙහි සිටින කෙලිකොල්ලන්ට ඒ බව දන්වා වසන තැනට යන්නීය. සත්දිනක් එහි වැස කිසිවෙක් එහිලා ඉදිරිපත් නොවී නම් එය ගෙනයයි.