පටාචාරා ථේරීගාථා වර්ණනාව
නඞ්ගලෙහි කසං ඛෙත්තං - මෙය පටාචාරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද හැදීවැඩී සිටින කල්හි දිනක් බුදුන් සමීපයෙහි බණ අසන්නී එක භික්ෂුණියක් විනයධර තෙරණියන්ගේ අගතනතුරට පත්කරනු දැක එහිලා අදිටන්කර ඒ තනතුර සඳහා ප්රාර්ථනා කළාය. ඕ දිවිතෙක් කුසල්කර දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කස්සප බුදුන්ගේ කාලයෙහි කිකී නම් කාසිරජුගේ ගෙයි පිළිසිඳ දියණියන් සත්දෙනෙකු අතර එකියක වී ඉපිද අවුරුදු විසිදහසක් බඹසර හැසිර භික්ෂු සංඝයාට ආරාමයක් තනවා පූජා කළාය. ඕ එයින් චුතව දෙව්ලොව ඉපිද එක බුද්ධාන්තරයක් දිවසැප විඳ එයින් චුතව මේ බුදුපතෙහි සැවැත්නුවර සිටුගෙයක උපත ලබා වැඩිවිය පැමිණි කල්හි තම ගෙයි බැලමෙහෙකරන කම්කරුවකු සමග කෙලෙස් ඇසුර කළාය. ඇයගේ දෙමවුපියෝ ඇය සමජාතික තරුණයෙකුට පාවා දීමට දිනයක් නියම කරගත්හ. ඒ බව දැනගත් ඕතොමෝ වටිනා දේවල් ගෙන ඒ පුරුෂයා සමග ප්රධාන දොරටුවෙන් නික්ම ගොස් එක්තරා ගමක වෙසෙන්නී ගැබ්ගත්තාය. ගැබ මුහුකුරා ගිය කල්හි මෙහි අනාථව වෙසෙන්නේ කුමක් නිසාද, දෙමාපියන්ගේ ගෙදරට යන්නෙමැයි සිතා සැමියාට ඒ බව දැන්වූයෙන් සැමියා ‘අද යමු, හෙට යමු’ යනුවෙන් පවසමින් කල් ගතකරන්නේ ඒ බාලයා ඇය කැඳවාගෙන නොයතැයි සිත ඕතොමෝ ඔහු ගෙදර නැති අවස්ථාවක ගෙයි බඩුබාහිරාදිය සකසා තබා ‘මා ගෙදර ගිය බව සැමියාට දන්වන්න’ යනුවෙන් අසල්වැසියන්ට දන්වා මවුපියන්ගේ ගෙදරට යනු පිණිස මගට පිළිපන්නාය. සැමියා ගෙදරට පැමිණ ඇය නොදැක ඇය කොහි ගියාදැයි අසල්වැසියන්ගෙන් අසා ගෙදර ගිය බව දැනගෙන මා නිසා කුලදියණිය අනාථවියයි සිතා ඇයගේ පියසටහන් අනුව යන්නේ මගදී හමු විය. ඒ අතරමගදීම ඇයගේ දරු උපත සිදුවිය. දරු උපතෙන් පසු ගමන ගැන උනන්දුව නැතිවී සැමියා සමග පෙරළා පැමිණියාය. දෙවනවරද ගැබ්ගත් තැන් සිට සිදුවූ සියල්ලම පෙර පරිදිම බව දතයුතුය.
වෙසෙස මෙපමණය. යම් අවස්ථාවක අතරමග ප්රසව වේදනාව ඇතිවීද ඒ අවස්ථාවෙහිම විශාල අකාල වැස්සක් වට. විදුලි කෙටීමෙන් හාත්පස ගිනිගත්තාක් මෙන්ද ගෙරවුම් හඬින් මුලු පෙදෙසම බිඳී යන්නාක් මෙන්ද ධාරානිපාත වර්ෂාව නොකඩවා වසින්ට පටන් ගත්තේය. ඕ එය දැක වැස්සෙන් නොතෙමී සිටිතහැකි තැනක් සොයන ලෙස සැමියාට කීවාය. හෙතෙම ඔබිමොබ බලන්නේ උසට වැඩුණු තණගොමුවක් දැක එහි ගොස් අත තිබූ කෙටේරියෙන් එහි වූ දඬු ටිකක් කපාගනු පිණිස ඒ තණකොළවලින් වැසුණු තුඹස සමීපයෙහි වැඩී තිබුණු රුක්දණ්ඩක් කැපුවේය. එකෙණෙහිම ඒ තුඹසෙහි විසූ භයානක විස ඇති සර්පයෙක් ඔහුට දෂ්ට කළේය. එයින් එතැනම වැටුණු හෙතෙම මියගියේය. මහා දුකකට ගොදුරු වූ ඕතොමෝ සැමියා එනමග බලා සිටින්නී ඔහු නොදැක වාතවේගය දරාගත නොහැකිවූයෙන් දෙදණ හා දෙඅත බිම රඳවා දරුවන් දෙදෙනා කුසයට තබාගෙන මුලු රැයම ඒ ඉරියව්වෙන් ගතකර රාත්රිය පහන් වූ කල මස්පිඬක් බඳු එදින උපන් දරුසිඟිත්තා සළුවෙන් තනාගත් සුඹුළුවෙක බහා උරහිසෙහි එල්වාගෙන අනෙක් දරුවා අනෙක් අතින් අල්ලාගෙන ‘එව දරුව ඔබේ පියා මේ පැත්තෙන් ගියේයයි’ කියා සැමියා ගිය මග යන්නී තුඹස සමීපයෙහි මැරී වැටී සිටි සැමියා දැක මා නිසා මගේ සැමියා මරණයට පැමිණියේ යයි හඬමින් වැළපෙමින් ගමන යන්නී තනමත්තක් පමණ ගැඹුරැති ගඟක් වෙත පැමිණ ඇයගේ මන්දබුද්ධිය හා දුබලබව නිසා දරුවන් දෙදෙනා සමග දියට බැසීමට නොකැමැත්තී දෙටුපුතා මෙතෙර තබා අනෙක් දරුවා රැගෙන ගඟෙන් එගොඩ වී ළදලු අත්තක් කඩා බිම අතුරා සළුසුඹුළුවෙහි දරුවා හොවා අනෙක් දරුවා ගෙන ඒමට පෙරළා යන්නී, කුඩා දරුසිඟිත්තා එහි තනිවම තබා යාම නොඉවසන්නී වරින්වර එදෙස බලමින් ගඟ තරණය කරයි.
ඉක්බිති ගඟ මැදට යත්ම ඒ දරුවා දුටු උකුස්සෙක් මස් පිඬුවකැයි සිතා අහසින් බැස්සේය. ඈ එය දැක දෙඅත ඔසොවා සූ සූ යයි කියමින් අපොළාය. උකුස්සා ඇය ඈත සිටි බැවින් ඒ ගැන නොසලකා දරුවා ඩැහැගෙන අහසට නැංගේය. ගඟේ මෙතෙර සිටි ළදරුවා මව දෙඅත් ඔසොවා හඬ නගනු දැක මට කතාකරතැයි යන හැඟීමෙන් ඉක්මනින් දුවගියේ දියට වැටුණේය. මෙසේ බාල පුතා උකුස්සා ද දෙටු පුතා ගංගා ප්රවාහයද විසින් ගෙනයනු ලැබූහ. ඕතොමෝ පුතු දෙදෙනාද සැමියාද මරණයට පත්වූහ යනුවෙන් හඬමින් වැළපෙමින් යන්නී සැවැත්නුවර සිට එන එක්තරා පුරුෂයෙකු දැක කොහි වෙසෙන්නෙකුදැයි අසා සැවැත් නුවර වැසියෙකැයි කීකල්හි සැවතෙහි අසවල් වීථියෙහි අසවල් සිටුකුලය දන්නේදැයි ඇසුවාය. එය දන්නා බව කී ඔහු ඒ ගැන තවදුරටත් නොවිමසන ලෙසද අනෙක් තොරතුරක් ගැන අසන ලෙසද දැනුම් දුන්නේය. ‘මට අනෙකකින් පලක් නැත, එයම දැනගනු කැමැත්තෙමි’ ඕ කීවාය. ‘නැගණිය, ඔබ ඔබ ගැනම නොකීමට ඉඩ නොදෙයි. ඊයේ මුලු රැය පුරාම වට මහවැස්ස ඔබ දකින්නට ඇතැයි සිතමි’ හේ කීවේය. ‘එසේය දුටුවෙමි, පියාණනි. ඒ වැස්ස මටම වට වැස්සක් විය. ඒ කාරණය පසු කිව හැකිය. දැන් මට සිටුකුලයෙහි තොරතුරු කියන්න’ ඕ කීවාය. නැගණිය, ඊයේ වට මහා වැස්සෙන් සිටුමැදුර කඩාවැටී සිටුවරයා සිටුබිරිඳ හා සිටුපුතා යන තිදෙනම මළහ. ඔවුන් දැවෙන එකම දරසෑයෙහි දුම ඔබ්බෙහි පෙනේ. ‘ඕ එකෙණෙහිම හැඳිවතද බිම හෙන්නේ නොදන්තාය. සොකයෙන් උමතු වූ ඕතොමෝ උපන් සැටියෙන්ම