සෝණා ථේරීගාථා වර්ණනාව
දසපුත්තෙ විජායිත්‍වා - මෙය සෝණා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපද වැඩී එක දවසක් බුදුන් සමීපයෙහි බණ අසන්නී බුදුන් එක්තරා භික්‍ෂුණියක් අත්නොහළ වීර්‍ය ඇති භික්‍ෂුණීන්ගෙන් අගතැනට පත්කරනු දැක අධිකාර්‍යකර්‍ම කොට තමාද ඒ තනතුරු පතා දිවිතෙක් පින්කම් කොට එයින් චුතව කප් සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිර මේ බුදුපතෙහි සැවැත්නුවර කුලයක ඉපිද වැඩිවියට පැමිණ පතිකුලයට ගොස් පුතුන් දසදෙනෙකු ලබා, බහුපුත්‍රිකා - යන නමින් පළට වූවාය. ඕ සැමියා පැවිදිවූ කල්හි දූ දරුවන් වැඩිවිය පැමිණි කල්හි විවාහ ජීවිතයෙහි පිහිටුවා සියලු ධනය ඔවුන් අතර බෙදාදී කිසිවක් තමා සන්තකව තබා නොගත්තාය. ඒ දූපුත්තු දින කිහිපයක් ඇයට උවටැන්කොට පරිභව කළහ. ඕ මෙවැනි පරිභව විඳිමින් මෙහි විසීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා භික්‍ෂුණීන් වෙත ගොස් පැවිද්ද ඉල්ලුවාය. භික්‍ෂුණීහු ඇය පැවිදි කළහ. ලබනලද උපසම්පදාව ඇති ඕතොමෝ ‘මා මහඑකල පැවිදි වූ හෙයින් අප්‍රමාදව මහණදම් පුරන්නෙමැයි ප්‍රාසාදයෙහි පහළ කණුවක් අල්වාගෙන එය අල්වාගෙනම භාවනාවෙහි යෙදෙන්නී, පසුව සක්මණෙහි යෙදී සිටිනවිට අඳුරු තැන්වලදී ඇගේ හිස ගස් ආදියෙහි හැපෙතැයි ගහ අතින් අල්වාගෙනම භාවනා කරයි. එතැන් පටන් ඕතොමෝ දැඩිවීර්‍ය ඇත්තියකැයි ප්‍රකටවිය. බුදුහු ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැක ගඳකිළියෙහි හුන්නාහුම ආලෝක ධාරාවක් විහිදුවා ඇයගේ අභිමුවෙහි සිටින්නාක් මෙන් තමා දක්වා:
යො ච වස්සසතං ජීවෙ අපස්සං ධම්මමුත්තමං,
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො ධම්මමුත්තමං-
යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත්වේද එහෙත් උතුම් දහම දකිමින් එක දිනක් හෝ වෙසෙන තැනැත්තාගේ ජීවිතය එයට වඩා ශ්‍රේෂ්ඨ වේ,
යන ගාථාව දෙසූහ. ගාථාව නිමවෙත්ම ඕතොමෝ රහත්පෙළෙහි පිහිටියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්‍මයන්ගේ කෙළවරට පැමිණියා වූ දීපඞ්කර නම් බුදුවරයෙක් ලොව පහළ වූහ.
එකල මම සුඛිතමුදිත වූ සිටුකුලයෙක ඉපදී දිනක් ඒ බුදුවරයාගේ මිහිරි ධර්‍මය ඇසීමි.
එහිදී වීර්‍යවන්ත භික්‍ෂුණියක් අගතනතුරෙහි පිහිටුවනු දැක මම ඒ සඳහා ප්‍රාර්ථනා කළෙමි. බුදුන්වහන්සේට වැඳ මමද ඒ තනතුර ප්‍රාර්ථනා කළෙමි.
ඒ මහාවීරයානන් වහන්සේ මගේ ප්‍රණිධිය සමෘද්ධවන බව ප්‍රකාශ
‘මෙයින් කල්ප සියක්දහසක් ගතවූ කල ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළවන්නාහ.’
‘ඔබ එකල ඒ බුදුන්ගේ සසුනෙහි ධර්‍මයට දායාද වී සෝණා නමින් ශ්‍රාවිකාවක් වන්නීය.’
එය අසා අතිශය සතුටට පැමිණි මම ජීවිතාන්තය දක්වා මෙත් සිතින් ඒ බුදුන්වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කළෙමි.
ඒ පින්කමෙහි අනුසසින් මම මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
මගේ මේ අවසාන අත්බැවෙහි සැවැත් නුවර ධනවත් වූ සමෘද්ධිමත් සිටුකුලයක උපනිමි.
යෞවනයට පැමිණියා වූ මම පතිකුලයට ගොස් සුරූපී දරුවන් දසදෙනෙක් ලදිමි.
සියලු සැපසම්පත් දී ඇතිදැඩි කරනු ලැබූ ඔවුහු සියලුදෙනාට, සතුරන්ට පවා ප්‍රිය වූහ, මාගැන කියනුම කවරේද?
ඉක්බිති මගේ කැමැත්තක් නැතිවම මගේ සැමියා බුදුන්ගේ සසුනෙහි පැවිදි විය.
එයින් හුදෙකලා වූ මම මගේ ජීවිතයෙන් පලක් නැතැයි සිතුවෙමි. සැමියා හා දරුවන්ගෙන් වෙන්වූ තලතුනාවූ අවාසනාවන්ත තැනැත්තියක් වීමි.
මගේ සැමියා ගියාවූ ඒ ස්ථානයටම මමද යන්නෙමැයි සිතා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.
ඉක්බිති භික්‍ෂුණීහු එක්තරා මෙහෙණ අරමක වෙසෙන මට වතුර ටිකක් උණු කරන්ට කියා ගියහ.