සකුලා ථේරීගාථා වර්ණනාව
අගාරස්මිං වසන්ති - මේ ගාථාව සකුලා තෙරණියගේය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර ආනන්ද රජුන්ගේ දියණිය වී උපන්නාය. ශාස්තෲන් වහන්සේගේ මවගේ සොහොයුරිය නන්දා නම්විය. ඕ වැඩිවියට පැමිණ දිනක් බුදුන්ගෙන් බණ අසන්නී, බුදුන් එක්තරා භික්‍ෂුණියක් දිවැස් ඇත්තියන්ගෙන් අගතැනට පත්කරනු දැක ඒ පිළිබඳව උත්සාහයෙන් අධිකාර්‍ය කර තොමෝද තනතුර පතන්නී අධිෂ්ඨාන කළාය. ඕතොමෝ දිවි ඇති තාක් බොහෝ පින්කම්කර දෙව්ලොව ඉපිද ඉන්පසුද දෙව්ලෝවලම හැසිර කස්සප බුදුන්ගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද පිරිවැජි පැවිද්ද ලබා හුදෙකලාවම හැසිරෙන්නී, දිනක් තෙල් ලබාගැනීම පිණිස හැසිර තෙල් ටිකක් ලැබ එයින් බුදුන්ගේ චෛත්‍යය අබියස පුරා රැයක් පහන් පූජා කළාය. ඕතොමෝ එයින් චුතව තව්තිසා දෙව්ලොව ඉපිද පිරිසිදු දිවැස් ඇත්තියක වී එක බුද්ධාන්තරයක් දෙව්ලෝවලම හැසිර මේ බුදුපතෙහි සැවැත් නුවර බමුණුකුලයෙක උපන්නීය. නමින් සකුලා වී ඈ කල්යාමේදී බුදුන් ජේතවනය පිළිගන්නා අවස්ථාවෙහි සැදැහැව ලබා උපාසිකාවක් වී පසු කලෙක එක්තරා රහත් තෙරනමකගෙන් බණ අසා හටගත් සංවේග ඇත්තී, පැවිදිව විදසුන් වඩා වෑයම්කරන්නී නොබෝ කලෙකින් රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
මෙයින් කල්ප සියදහසකට පෙර සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියාවූ ලෝකයාට නායක වූ පදුමුත්තර බුදුහු ලොව පහළ වූහ.
සියලු සතුන්ගේ හිතසුව පිණිස සුවපහසුව පිණිස වැඩපිණිස දෙවියන් සහිත සියලු ලෝවැස්සන්ගේ නායකයාවූ,
යසසින් අගතැන්පත් වූ ශ්‍රීමත් වූ කීර්ති ප්‍රශංසා ලබන්නා වූ සියලු ලෝවැස්සන්ගේ පූජාවට සුදුසු වූ සියලු දිසාවන්හි ප්‍රකට වූ,
සැකය සිඳදමු ස්ථිර අවබෝධයෙන් සමන්විත වූ සංකල්ප සිද්ධකරගත්තා වූ උතුම් සම්බෝධියට පැමිණියා වූ,
එතෙක් නොදැන සිටි මාර්‍ගය අනාවරණය කළාවූ, කිවනොහැකිවූ දේ කීවාවූ, හට නොගත් දේ හටගැන්වූ,
මාර්‍ගය දන්නාවූ, මාර්ගය ප්‍රකාශ කරන්නාවූ, මාර්‍ගයෙහි දක්‍ෂ වූ ශාස්තෲ වූ රියැදුරන්ගෙන් ශ්‍රේෂ්ඨයා වූ,
මහා කාරුණික වූ ඒ නායකයාණන් වහන්සේ ධර්‍මය දේශනා කරමින් කාම නමැති මඩෙහි එරී සිටින ප්‍රාණීන් ගොඩ ගනිති.
එකල මම හංසවතී නුවර රජුගේ දියණියව උපත ලදිමි. සුරූපී වීමි, ධනවත් වීමි, අනුකම්පාසහගත වීමි. ශ්‍රීමත් වීමි.
ආනන්ද මහරජුගේ පරම රූප සෞන්දර්‍යයෙන් පරිපූර්‍ණ වූ දියණිය වීමි. පදුමුත්තර නමැත්තාගේ අනෙක් මවකගේ දියණියක් වීමි.
සව්අබරණින් සැරසුණු රාජකන්‍යාවන් විසින් පිරිවරණු ලැබූ මම බුදුන් වෙත ගොස් බණ ඇසීමි.
එදවස ඒ බුදුන්වහන්සේ එක්තරා භික්‍ෂුණියක් දිවැස් ඇත්තවුන්ගෙන් අගතනතුරෙහි පිහිටුවූහ.
එය දුටු මම බෙහෙවින් සතුටුවී බුදුන්වහන්සේට දන් දී පූජා පවත්වා දිවැස පැතීමි.
ඉන්පසු බුදුහු මා අමතා ‘ඔබ පැතු පැතුම ඉටුවන්නේය. ප්‍රදීපදානයෙහි ඵලවිපාක මේය.’
‘මෙයින් කල්ප සියක් දහසකට පසු ඔක්කාක කුලයෙහි ගෞතම නම්වූ බුදුවරයෙක් පහළවන්නේය.’
‘ඒ බුදුන්ගේ ධර්‍මයෙහි කොටස්කාරියක් වශයෙන් ඔබ සකුලා නමින් ශ්‍රාවිකාවක් වන්නීය.’