මෙත්තාකාළි ථේරීගාථා වර්ණනාව
සද්ධාය පබ්බජිත්‍වාන - මෙය මිත්තාකාලිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී පින් රැස්කරමින් මේ බුදුපතෙහි කුරුරට කම්මාස්සදම්ම නම් නිගමෙහි බමුණුකුලයෙක ඉපිද දැන ඉගෙනගත් පසු මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා හටගත් ශ්‍රද්ධාව ඇත්තී, භික්‍ෂුණීන් වෙත පැවිදිව සත්වසක් පුරා ලාභසත්කාර කෙරෙහි ගිජුව මහණදම් පුරන්නී, ඒ ඒ තන්හි හැසිරෙමින් පසුකලෙක නුවණින් මෙනෙහි කර සංවේගයට පැමිණ විදසුන් වඩා නොබෝ කලෙකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ අතීත පිළිවෙත බලා උදාන වසයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
සද්ධාය පබ්බජිත්‍වාන අගාරස්මානගාරියං,
විචරීහං තෙන තෙන ලාභසක්කාර උස්සුකා.
රිඤ්චිත්‍වා පරමං අත්‍ථං හීනං අත්‍ථමසෙවිහං,
කිලෙසානං වසං ගනත්‍වා සාමඤ්ඤත්‍ථං නබුජ්ඣිහං.
තස්සා මෙ අහුසංවෙගො නිසින්නාය විහාරකෙ,
උම්මග්ග පටිපන්නම්හි තණ්හාය වසමාගතා.
අප්පකං ජීවිතං මය්හං ජරා ව්‍යාධි ච මද්දති,
ජරාය භිජ්ජතෙ කායො න මෙ කාලො පමජ්ජිතුං.
යථාභූතං අවෙක්‍ඛන්තී ඛන්‍ධානං උදයබ්බයං,
විමුත්තචිත්තා උට්ඨාසිං කතං බුද්ධස්ස සාසනං-
අනගාරික සාසනයෙහි සැදැහැයෙන් පැවිදිව ලාභසත්කාරයන්හි ගිජුවී තැන තැන ඇවිද්දෙමි.
පරමාර්‍ථය අත්හැර ලාමක ප්‍රයෝජන ලබාගතිමි.
කලකදී විහාරයෙක සිටියාවූ මා තුළ සංවේගය ඇතිවිය. වැරදි මග ගමන්කළාවූ මම තෘෂ්ණාවට වසඟවීමි.
මගේ ජීවිතය අල්පය, ජරාවෙන් හා ව්‍යාධියෙන් මඩනා ලද්දෙමි. ජරාවෙන් සිරුර වැසෙයි, දැන් පමාවීමට කාලය නොවෙයි.
ස්කන්‍ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සංඛ්‍යාත යථාභූතය දකිමින් චිත්ත විමුක්තිය ලබාගතිමි. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි.
එහි, විචරීහං තෙන තෙන ලාභසක්කාර උස්සුකා - ලාභයෙහි හා සත්කාරයෙහි උනන්දු වී නොයෙක් ධර්‍මානුකූල කථා ආදියෙන් ලාභ උපදවා ගනිමින් හැසුරුණමි.
රිඤ්චිත්‍වා පරමං අත්‍ථං - ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵලාදි උත්තමාර්‍ථයන් අත්හැර, හීනං අත්‍ථමසෙවිහං - සිවුපසය සංඛ්‍යාත ආමිසයන් ලුහුබඳිමින් ලාමක ප්‍රයෝජන සෙවීමි. කිලෙසානං වසං ගනත්‍වා - මානමදතෘෂ්ණා ආදී කෙලෙසුන්ගේ වසඟයට ගොස්, සාමඤ්ඤත්‍ථං මහණකිස, නාබුප්ඣිං - නොදනිමි.
නිසින්නාය විහාරකෙ - මා වෙසෙන කුටියෙහි හුන්නෙමි, අහු සංවෙගො - ඒ කෙසේදැයි කීවාය. උම්මග්ගපටිපන්නම්හි - එහි නොමගට පිළිපන්නෙමි යනු පිරිනිවන්පෑම සඳහා මෙය සසුනය, ඒ සසුනෙහි පැවිදිව කමටහන් මෙනෙහි නොකරන්නී එහිලා නොමගට පිළිපන්නෙම් වෙමි. තණ්හාය වසමාගතා - සිවුපසය ලබාගැනීමේ තෘෂ්ණාවට වසඟවීමි.
අප්පකං ජීවිතං මය්හං - කාලය සීමිතය, එයද උවදුරු සහිතය. එහෙයින් මගේ ජීවිතය ද අල්පය, කෙටිය. ජරා ව්‍යාධි ච මද්දති - එයද හාත්පසින් කඩාවැටී පොඩිවන්නා වූ පර්‍වත මෙන් දිරීම හා ලෙඩරෝග දිවිය කළඹයි. ‘මද්දරෙ’ යනුවෙන් ද පාඨයකි. ජරාය භිජ්ජතෙ කායො - මේ සිරුර දිරායාමෙන් නැසෙයි. යම් හෙයකින් මේ විනාශය ඒකාන්තද එසේ හෙයින්, න මෙ කාලො පමජ්ජිතුං - අවස්ථා අටක් මග හැර ගියාවූ මේ සිරුර නවවන අවස්ථාවෙහි, ක්‍ෂණයෙහි පමාවීමට නුසුදුසුය. ‘එහෙයින් සංවේගය හටගැනිණ’ යනුවෙන් සම්බන්ධ කර ගත යුතුය.
යථාභූතං අවෙක්‍ඛන්ති - මෙසේ හටගත් සංවේගය ඇතිව විදසුන් වඩා අනිත්‍යාදිය මෙනෙහි කරමින් යථා තත්ත්වය බලන්නී, කුමක් බලමින්දැයි ප්‍රකාශ කරන්නී, මෙය දුටුවාය. ඛන්‍ධානං උදයබ්බයං - අවිද්‍යාවෙන් රූපය හටගනී ආදී වශයෙන් සමපණසක් භේදයන් ඇති පස්වැදෑරුම් උපාදනස්කන්‍ධයන්ගේ, උත්පත්තිය නිමකිරීමද, හටගැන්ම හා නැතිවීම අනුව බලමින් විදර්‍ශනාව දියුණුකර මග පිළිවෙළින් සියලු කෙලෙස්වලින් ද භවයන්ගෙන් ද මිදී, උට්ඨාසිං - දෙවැදැරුම් උට්ඨානයෙන් (නැගීසිටීමෙන්) ද භවත්‍රයෙන්ද නැගී සිටියේ වෙමි. සෙස්ස යට කියනලද පරිදිමය.
මිත්තාකාලිකා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
සකුලා ථේරීගාථා වර්ණනාව
අගාරස්මිං වසන්ති - මේ ගාථාව සකුලා තෙරණියගේය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර ආනන්ද රජුන්ගේ දියණිය වී උපන්නාය. ශාස්තෲන් වහන්සේගේ මවගේ සොහොයුරිය නන්දා නම්විය. ඕ වැඩිවියට පැමිණ දිනක් බුදුන්ගෙන් බණ අසන්නී, බුදුන් එක්තරා භික්‍ෂුණියක් දිවැස් ඇත්තියන්ගෙන් අගතැනට පත්කරනු දැක ඒ පිළිබඳව උත්සාහයෙන් අධිකාර්‍ය කර තොමෝද තනතුර පතන්නී අධිෂ්ඨාන කළාය. ඕතොමෝ දිවි ඇති තාක් බොහෝ පින්කම්කර දෙව්ලොව ඉපිද ඉන්පසුද දෙව්ලෝවලම හැසිර කස්සප බුදුන්ගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද පිරිවැජි පැවිද්ද ලබා හුදෙකලාවම හැසිරෙන්නී, දිනක් තෙල් ලබාගැනීම පිණිස හැසිර තෙල් ටිකක් ලැබ එයින් බුදුන්ගේ චෛත්‍යය අබියස පුරා රැයක් පහන් පූජා කළාය. ඕතොමෝ එයින් චුතව තව්තිසා දෙව්ලොව ඉපිද පිරිසිදු දිවැස් ඇත්තියක වී එක බුද්ධාන්තරයක් දෙව්ලෝවලම හැසිර මේ බුදුපතෙහි සැවැත් නුවර බමුණුකුලයෙක උපන්නීය. නමින් සකුලා වී ඈ කල්යාමේදී බුදුන් ජේතවනය පිළිගන්නා අවස්ථාවෙහි සැදැහැව ලබා උපාසිකාවක් වී පසු කලෙක එක්තරා රහත් තෙරනමකගෙන් බණ අසා හටගත් සංවේග ඇත්තී, පැවිදිව විදසුන් වඩා වෑයම්කරන්නී නොබෝ කලෙකින් රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි: