නන්‍දුත්තරා ථේරීගාථා වර්ණනාව
‘අග්ගිං චන්‍දඤ්ච’ යන මෙය නන්දුත්තරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ ආත්මභාවයන්හි දී පින් රැස්කරමින් අවුත් මේ බුදුපතෙහි කුරුරට කම්මාස්ස දම්ම නම් නිගමෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද ඇතැම් විද්‍යා ස්ථානයන්හි හා ශිල්පායතනවල ඉගෙනගෙන නිගණ්ඨ පැවිද්ද ලබා වාදකිරීමෙහි දක්‍ෂවූවා දඹ අත්තක් ගෙන භද්දා කුණ්ඩලකේසා මෙන් දඹදිව පුරා හැසිරෙන්නී මහමුගලන් තෙරණුවන් වෙත එළඹ ප්‍රශ්න අසා පැරදී තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සසුනෙහි පැවිදිව මහණදම් සපුරා නොබෝකලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත බලා උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
අග්ගිං චන්‍දඤ්ච සූරියඤ්ච දෙවතා ච නමස්සිහං,
නදීතිත්‍ථානි ගනත්‍වාන උදකං ඔරුහාමහං.
බහු වත සමාදානා අඩ්ඪං සීසස්ස ඕලිඛිං,
ජමාය සෙය්‍යං කප්පෙමි රත්තිභත්තං න භුඤ්ජිහං.
විභූසාමණ්ඩනරතා නහාපනුච්ඡාදනෙහි ච,
උපකාසිං ඉමං කායං කාමරාගෙන අට්ටිතා.
තතො සද්ධං ලභිත්‍වාන පබ්බජිං අනගාරියං,
දිස්වා කායං යථාභූතං කාමරාගො සමූහතො.
සබ්බෙ භවා සමුච්ඡින්තා ඉච්ඡාව පත්‍ථනාපි ච,
සබ්බ යොගවිසංයුත්තා සන්තිං පාපුණි චෙතසො-
මම, ගින්න, ඉර සඳ දෙවිදේවතාවන් පිදුවෙමි, ගඞ්ගාතොටුපලවල දියෙහි ගිලුණෙමි.
බොහෝ ව්‍රතයන් සමාදන්වීමි. හිසෙහි අඩක් මුඩුකළෙමි. බිම නිදාගතිමි, රාත්‍රි ආහාරය නොගතිමි.
අබරණවලින්ද, නෑම සිරුරට සාත්තු කිරීම ආදියෙන්ද, කාමරාගයෙන් වෙළුණාවූ මම මේ සිරුරට සැලකුවෙමි.
ඉක්බිති ශ්‍රද්ධාව උපදවාගෙන සසුනෙහි පැවිදිවීමි, ශරීරයෙහි යථාස්වභාවය හැඳිනගෙන කාමරාගය සිඳලීමි.
සියලු භවයන් ආශා හා ප්‍රාර්ථනා සියල්ලම සිඳලීමි, සියලු යෝගයන් විසංයෝගකර සිතෙහි ශාන්තිය ලබාගතිමි.
එහි, අග්ගිං චන්‍දඤ්ච සූරියඤ්ච දෙවතා ව නමස්සි හං - දෙවිවරු ගින්න මුඛය කොට ඇත්තාහු වෙත්ය යන ප්‍රකාශයට අනුව ඉන්ද්‍රාදි දෙවිවරුන් සතුටු කරවීම පිණිස යාගද්‍රව්‍ය ගෙන ගින්නද, මසක් පාසා පූර්‍ණපක්‍ෂයෙහි දෙවන දින සඳුදා, දවසක් පාසා උදේ සවස හිරුද අනෙකුත් බාහිර භිරණ්‍යගර්‍භාදි දෙවිවරුන් ද විෂයයෙහි විශුද්ධ මාර්ගය සොයන්නී, නමස්සිහං - මම ඔවුන්ට නමස්කාර කළෙමි. නදීතිත්‍ථානි ගනත්‍වාන උදකං ඔරුහාමහං - ගඞ්ගාවල පුණ්‍ය තීර්ථයන් කරා ගොස් උදසන හා සවස ද දියට බසිමි. දියෙහි ගිලී ගත තෙත්කර ගනිමි.
බහුවත සමාදානං - පඤ්චතාපන (ගිනි පහකින් තවා ගැනීම) ආදිය ප්‍රධාන කොට ඇති විවිධ වුතසමාදානයෝ, ගාථාවෙහි සමතාව සඳහා බහු යනුවෙන් දීර්ඝ වර්‍ණය යෙදී ඇත. අඩ්ඪං සීසස්ස ඕලිඛිං - මගේ හිසද අඩක් මුඩුකරගනිමි. සමහරෙක් ‘අඩ්ඪං සීසස්ස ඕලිඛිං’ යනු කෙස්වැටියෙන් අඩක් කොණ්ඩය වශයෙන් බැඳ අනෙක් අඩ විහිදුවා දමා ගතිමි යනුවෙන් තේරුම කියත්. ජමාය සෙය්‍යං කප්පෙමි - වැල්ලෙහි නිදාගන්නියක වී, (සතණ්ඩිල ශායිකා) අනාවරණ භූමියෙහි නිදමි. රත්තිභත්තං න භුඤ්ජිහං - රාත්‍රි භෝජනයෙන් වෙන්වී රෑකල ආහාර නොවැළඳුවෙමි.
විභූසාමණ්ඩනරතා - බොහෝ කලක් අත්තකිලමථානුයෝගයෙන් ක්ලාන්ත වූ ශරීරය ඇතී ක්ලාන්තයෙන් නුවණ පිරිසිදුවීමක් නොවේ. ඉදින් ඉඳුරන් සතුටුකිරීම් වශයෙන් ශරීරය පිළිදැගුම් කිරීමෙන් ශුද්ධියක් වේයයි සිතා මේ සිරුරට අනුග්‍රහය දක්වන්නී අබරණවලින් සරසා ගැනීමෙහි යෙදී, වස්ත්‍රාලංකාරයෙන් ද විසිතුරු කිරීමෙහි යෙදී, ගඳමල් පැළඳීමෙහි ද ඇලුම් කළෙමි. නහාපනුච්ඡාදනෙහි ච - පිරිමැදීම් ආදිය කර නෑමෙන්ද ඇඟ ඉලීමෙන්ද, උපකාසිං ඉමං කායං - මේ මගේ සිරුර සැතැප්වීමි, අනුග්‍රහ කළෙමි. කාමරාගෙන අට්ටිතා - මෙසේ සිරුර දැඩි ලෙස ගෙන නුනුවණින් මෙනෙහි කිරීමෙන් කාමරාගයෙන් මඩනා ලද්දී, අට්ටිතා - බෙහෙවින් අන්තරායට ගොදුරුවීමි.
තතො සද්ධං ලභිත්‍වාන - එසේ සමාදන් වූ ව්‍රතයන් බිඳදමා වාදයෙහි දක්‍ෂ වී ඒ ඒ තැන්වල හැසිරෙන්නී, තතො - පසුකලෙක මහමුගලන් තෙරණුවන් සමීපයෙන් අවවාදානුශාසනා ඇතිව ශ්‍රද්ධාව ලැබ, දිස්වා කායං යථාභූතං - විදර්‍ශනා වඩා මාර්ග ප්‍රඥාවෙන් මගේ සිරුර යථාභූත වසයෙන් හැඳිනගෙන අනාගාමී මාර්ගයෙන් සර්‍වප්‍රකාරයෙන්ම කාමරාගය නැතිකර එයින් පසුව අග්‍රමාර්ගයෙන්, සබ්බෙ භවා සමුච්ඡින්තා ඉච්ඡා ච පත්‍ථනාපි ච - වර්‍තමානය යොමු කොට ඇත්තා වූ අභිලාෂ සංඛ්‍යාත ආශාවන් ද මතු බවයන් පිළිබඳව පවතින්නා වූ අභිලාෂ සංඛ්‍යාත ප්‍රාර්ථනාද සියලු භවයන්ද, සමුච්ඡින්නා - (විනාශ කරන ලදි) යනුවෙන් යොදාගත යුතුය. සන්තිං පාපුණි චෙතසො - අත්‍යන්ත ශාන්තිය වූ රහත්ඵලයට පැමිණියෙමි, අවබෝධ කරගතිමි යනු අර්ථයයි.