සුන්දරීනන්දා ථේරීගාථා වර්ණනාව
ආතුරං අසූචිං - මේ ගාථාව සුන්දරී නන්ද තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද කල්යාමේ දී බුදුන්ගේ බණ අසමින් සිටියදී බුදුහු එක් තෙරණියක් ධ්‍යාන ලාභිනීන්ගෙන් අගතන්හි තබනු දැක ඒ තනතුර පතා කුසල් රැස් කරන්නී, කල්ප සියදහසක් දෙව්මිනිස් ලෝවල හැසිර මේ බුදුපතෙහි ශාක්‍යරාජ කුලයක උපන්නාය. ඕ නන්දා නම් වූවාය. පසු කලෙක ඇයගේ රූපසම්පත්තිය නිසා සුන්දරී නන්දා යනුවෙන් ද ජනපදකල්‍යාණි යනුවෙන් ද පළට වූවාය. (භද්දකාපිලානී මෙන් ගනඳුරෙහි දොළොස්රියන් දිග පළල ගර්භාගාරයකට පහනක් වුවමනා නොවීය. ඇයගේ ශරීර කාන්තියෙන්ම මුලු ගැබම ආලෝකවත් වෙයි. මොවුන්ට වඩා සිය ගුණයකින් යශෝධරා හොබී). අප බුදුහු බුදුබවට පැමිණ ක්‍රමයෙන් කපිලවත් පුරයට ගොස් නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදිකරවා ගිය කල්හි සුදොවුන් මහරජුද පිරිනිවි කල්හි මහප්රජාපතීගෞතමිය හා රහල්මව ද පැවිදි වූ කල්හි ඕතොමෝ මෙසේ සිතුවාය: ‘මගේ දෙටුසොහොයුරා සක්විති පදවිය අත්හැර පැවිදි වී ලෙව්හි අග්‍රපුද්ගලයා වූ බුදුවරයෙක් විය. ඔහුගේ පුත් රහල් කුමරා ද පැවිදි විය. මගේ සැමියා වූ නන්ද රජු ද මව මහා ප්රජාපතීගෞතමිය ද, සොහොයුරිය වූ රාහුලමාතා ද පැවිදිවූහ. මම දැන් ගෙදරට වී කුමක් කරම්ද? ‘පැවිදි වන්නෙමි සිතා භික්ෂුණී ආරාමයකට ගොස් නෑදෑයන් කෙරෙහි වූ ස්නේහය නිසා පැවිදි වූවා විනා සැදැහැයෙකින් නොවේ. එහෙයින් පැවිදිවීමෙන් පසුවද රූපය නිසා උපන් ගර්වය ඇත්තී ‘බුදුහු රූපය හෙළාදකිති, ගරහති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව පෙන්වයි’ යනුවෙන් සිතමින් බුදුන්ට උවටැන් කිරීමට නොයයි. මේ පිළිබඳ සෙසු විස්තර යට කියනලද අභිරූපනන්දාගේ වස්තුවෙහි සඳහන් වූ අයුරින් දතයුතුය. වෙනස මෙපමණි, බුදුන් විසින් මවනු ලැබූ ස්ත්‍රී රූපය ක්‍රමයෙන් ජරාවට පැමිණෙනු දැක තෙරණියගේ මනස කමටහනට යොමු විය. එය දුටු බුදුන්වහන්සේ ඇයගේ චිත්තාචාරය වශයෙන් ධර්මය දේශනා කරන්නාහු-
ආතුරං අසූචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං,
අසූහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
අසූහාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං,
දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං.
දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං.
එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා,
තතො සකාය පඤ්ඤාය අභිතිබ්බිජ්ජ දක්ඛිසී-
තතො සකාය පඤ්ඤාය අභිතිබ්බිජ්ජ දක්ඛිසී-
නන්දා, රෝගී වූ අපවිත්‍ර වූ කුණු වූ මේ සිරුර බලන්න. සිත එකඟ කරගෙන අසුභ නිමිති කෙරෙහි සිත මෙහෙයවන්න.
මෙය යම්සේද මෙය එසේය, එය යම්සේද එය එසේමය, දුගඳ පිළුණුබව හමයි, බාලයෝ එහිලා ඇලෙති.
දිවා රෑ දෙක්හි මෙය මෙසේ බලමින් ඉක්බිති ස්වකීය ප්‍රඥාවෙන් එහිලා කලකිරී යථාර්ථය දකින්න.
යන ගාථා ප්‍රකාශ කළහ.
ඕතොමෝ දේශනාව අනුව ඤාණය යොමුකොට සෝවාන් පෙලෙහි පිහිටියාය. සෙසු මාර්ගඵල සඳහා බුදුහු කමටහන් ප්‍රකාශ කරන්නාහු ‘නන්දා, මේ සිරුරෙහි හරයක් නැත, මස් හා ලෙයින් අලෙව් දුන් ජරාදියට වාසස්ථානයක් වූ මෙය හුදෙක් ඇට ගොඩක් පමණකි’ යනු දැක්වීම පිණිස:
අට්ඨිනං නගරං කත්වා මංසලොහිත ලෙපනං,
යත්ථ ජරාව මච්චුව මානො මක්ඛොච ඔහිතො.
යත්ථ ජරාව මච්චුව මානො මක්ඛොච ඔහිතො.
මස්ලේවලින් ආලේප කරනු ලැබුවා වූ ඇටවලින් සාදන ලද නගරයකි. මෙහි ජරාව, මරණය, මානය, ගුණමකු බවද බැසගෙන ඇත.
ධම්මපදයෙහි එන මේ ගාථාව දෙසූහ.
දේශනාවසානයෙහි ඕ රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මෙයින් කල්ප සියක්දහසකට පෙර සකලධර්ම පාරප්රාප්ත පදුමුත්තර නම් බුදුන් ලොව පහළවූහ.
සියලු සතුන් සසර කතරින් එතෙර කරන්නා වූ ඒ සර්වඥයන් වහන්සේ බොහෝ ජනයාට අමාමහ නිවන්සුව ගෙන දුන්හ.
ඒ කාරුණික බුදුහු සියලු තීර්ථකයන් සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවා පන්සිල් ගැන්වූහ.
මිසදිටුවන්ගෙන් නිදහස් කරනු ලැබුවා වූ සස්න නිරවුල් විය. ඉඳුරන් දැමු තාදී ගුණයෙන් සමන්විත වූ රහතුන්ගෙන් සසුන විචිත්‍ර විය.
ඒ බුදුන්ගේ උස රියන් පණස් අටකි. රන් ඇගෑයක් වැනි වූ උන්වහන්සේ ක්ෂත්රිය ලක්ෂණවලින් හෙබියාහ.
එකල මිනිස් ආයුකාලය අවුරුදු සියක්දහසකි. උන්වහන්සේ එතෙක් කල් ජීවත්වෙමින් බොහෝදෙන සසරෙන් එගොඩ කළහ.
එකල මම හංසවතී නුවර නොයෙක් දරුවලින් පිරුණු සුවපහසු දිවිපෙවෙත් ඇති සිටුකුලයක ඉපදුණෙමි.
මම බුදුන් වෙත එළඹ පරම ආස්වාදය ගෙන දෙන්නා වූ, පරමාර්ථය ප්‍රකාශ කෙරෙන්නා වූ ධර්මය ඇසුවෙමි.
එකල භික්ෂු සඞ්ඝයා සහිත බුදුන්වහන්සේට ආරාධනා කර පහන් සිතින් මහා දානයක් දුනිමි.