සීහා ථේරීගාථා වර්ණනාව
අයොනිසො මනසිකාරා - මෙය සීහා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි විසාලා නුවර සිංහ සේනාපතියාගේ නැගණියගේ දුව වී උපන්නාය. ඇයගේ මාමාගේ නමම යෙදිය යුතුයයි සිතා ඕ සීහා යන නමින් හඳුන්වනු ලැබුවාය. ඈ වියපත් වූ පසු දිනෙක බුදුරදුන් සිංහ සේනාපතිට දෙසූ ධර්මයක් අසා සැදැහැ ඇතිව මවුපියන්ගේ අනුදැනුම ලබා පැවිදිවුවාය. පැවිදිවීද විදසුන් වඩන්නී බැහැරින් පැමිණෙන දළ අරමුණු කෙරෙහි දුවන්නා වූ සිත නවත්වා ගැනීමට නොහැකිව සත්වසරක් පුරා අයහපත් සිතුවිලිවලින් බාධා කරනු ලබන්නී සිත් සැනසීමක් නොලැබ මට මේ පව්කාර ජීවිතයෙන් ඇති ප්රයෝජනය කුමක්දැයි ගෙල වැල්ලා මැරෙන්නෙමි සිතා ලණුවක් ගෙන ගසක අත්තක බැඳ අනෙක් කොණ තමාගේ ගෙලවටා බඳින්නී පෙර කළ පුරුදු විසින් භාවනාවෙහි සිත නියැලුණි. මෙය ඇයගේ අන්තිම භවය හෙයින් මද්ද ගෙලෙහි පිහිටියේය. එකෙණෙහිම නුවණ මුහුකුරා ගිය හෙයින් විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත් බවට පැමිණෙත්ම මද්ද බෙල්ලෙන් මිදී ඉවත්විය. රහත් වූ ඕතොමෝ උදාන වශයෙන් මේ ගාථා ප්රකාශ කළාය:
අයොනිසො මනසිකාරා කාමරාගෙන අට්ටිතා,
අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී.
අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී.
පරියුට්ඨිතා කිලෙසෙහි සුභසඤ්ඤානු වත්තිනී,
සමං චිත්තස්ස නලභිං රාගචිත්තවසානුගා.
සමං චිත්තස්ස නලභිං රාගචිත්තවසානුගා.
කිසා පණ්ඩු විවණ්ණා ච සත්තවස්සානි චාරිහං,
නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා.
නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා.
තතො රජ්ජුං ගහෙත්වාන පාවිසිං වනමන්තරං,
වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ.
වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ.
දළ්හං පාසං කරිත්වාන රුක්ඛසාඛාය බන්ධිය,
පක්ඛිපිං පාසගීවාය අථ චිත්තං විමුච්චි මෙ-
පක්ඛිපිං පාසගීවාය අථ චිත්තං විමුච්චි මෙ-
නුනුවණින් මෙනෙහි කරමින්, කාමරාගයෙන් පෙළුණේ පෙර සිත වසඟයෙහි නොපිහිටන්නේ උඩඟුවීමි.
හැම දෙයක්ම සුභ වසයෙන් බලමින් කෙලෙස්වලින් පෙළුණෙමි රාගසිතට වසඟ වී සිතෙහි සාමයක් නොලදිමි.
සත්වසරක් පුරා කෘශව දුර්වර්ණව පඬුවන් පැහැවී හැසිරෙන්නී, දිවා රෑ දෙකේම දුකට පත්වී සුවයක් නොවින්දෙමි.
ඉක්බිති මම රැහැනක් ගෙන එක්තරා වනයකට පිවිසියෙමි. නැවත හීනබවට පැමිණෙනවාට වඩා මෙහි ගෙල වැලලා මියයාම යෙහෙකි.
තද මද්දක් සාදා ගසක අත්තක බැඳ තොණ්ඩුව ගෙලෙහි දමා ගතිමි. එකෙණෙහිම මගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.
එහි අයොනිසො මනසිකාරා - අනුචිත මෙනෙහි කිරීමෙන් අසුභ දෙය සුභ වසයෙන් වරදවා ගැනීමෙන්, කාමරාගෙන අට්ටිතා - කාමගුණයන් කෙරෙහි කාමරාගයෙන් පෙළි, අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී - පෙර මගේ සිත මගේ වසඟයෙහි නොපවත්නේ, උද්ධතා - නොයෙක් අරමුණු කෙරෙහි විසිරීගිය සිත ඇති හෙයින් මම නොසන්සුන් වීමි.
පරියුට්ඨිතා කිලෙසෙහි සුභසඤ්ඤානුවත්තිනී - දැඩි ලෙස ගත්තා වූ කාමරාගාදී ක්ලේශයන් විසින් මැඩලනු ලැබීමෙන් රූපාදීන් කෙරෙහි සුභ වසයෙන් පැවති කාමහැඟීම් අනුව පවත්නාසුලු, සමං චිත්තස්ස න ලභිං රාගචිත්ත වසානුගා - කාමරාගයෙන් මැඩුණු සිතෙහි වසඟයට පැමිණියෙන් සිතෙහි සුලු වූ හෝ සාමයක්, සිතෙහි දමනයක්, සිතෙහි එකඟබවක් නොලදිමි.
කිසා පණ්ඩු විවණ්ණා ච - මෙසේ කලකිරීම් ස්වභාවය හේතුකොට ගෙන කෙට්ටු වී නහර පෑදුණු සිරුර ඇත්තී, පඬුවන් පැහැවූවා එහෙයින්ම, විවණ්ණා - පහව ගිය ඡවිවර්ණයෙන්, සත්තවස්සානි - සත්වසරක්, වාරීහං - මම හැසුරුණමි. නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා - මෙසේ මම සත්වසක් පුරා කෙලෙස් දුකින් දුකට පත්වී එකම දවාලක් හෝ රැයක් හෝ මහණ සුවය නොලදිමි.
තතො - කෙලෙස්වලින් වැඩුණු හෙයිනුත් මහණ සුවයක් නොලද හෙයිනුත්, රජ්ජුං ගහෙත්වාන පාවිසිං වනමන්තරං - රැහැන් තොණ්ඩුව රැගෙන වනයට පිවිසියෙමි. කුමක් සඳහා පිවිසියේදැයි කීවාය. වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ - මට ශ්රමණධර්මය පිරීමට නොහැකි නම්, හීනං - ගිහිබවට නැවත, ආචරෙ - පැමිණෙන්නෙම් නම් අනුව සිටින්නෙම් නම්, එයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් මේ වනයෙහි, උබ්බන්ධං - රැහැනෙන් බැඳ මරුමුවට පැමිණීම වඩා යෙහෙක යනු තේරුමය. අථ චිත්තං විමුච්චි මෙ - යම් මොහොතක ගසේ අත්තක බඳිනු ලැබූ තොණ්ඩුව බෙල්ලෙහි දමාගත්තාද, අථ - එකෙණෙහිම අන්තයට පමුණුවන්නා වූ විපස්සනා මාර්ගයෙන් සමන්විත වීම නිසා මග පිළිවෙළින් සියලු ආශ්රවයන්ගෙන් මගේ සිත, විමුච්චි - නිදහස් විය.
සීහා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
සුන්දරීනන්දා ථේරීගාථා වර්ණනාව
ආතුරං අසූචිං - මේ ගාථාව සුන්දරී නන්ද තෙරණියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද කල්යාමේ දී බුදුන්ගේ බණ අසමින් සිටියදී බුදුහු එක් තෙරණියක් ධ්යාන ලාභිනීන්ගෙන් අගතන්හි තබනු දැක ඒ තනතුර පතා කුසල් රැස් කරන්නී, කල්ප සියදහසක් දෙව්මිනිස් ලෝවල හැසිර මේ බුදුපතෙහි ශාක්යරාජ කුලයක උපන්නාය. ඕ නන්දා නම් වූවාය. පසු කලෙක ඇයගේ රූපසම්පත්තිය නිසා සුන්දරී නන්දා යනුවෙන් ද ජනපදකල්යාණි යනුවෙන් ද පළට වූවාය. (භද්දකාපිලානී මෙන් ගනඳුරෙහි දොළොස්රියන් දිග පළල ගර්භාගාරයකට පහනක් වුවමනා නොවීය. ඇයගේ ශරීර කාන්තියෙන්ම මුලු ගැබම ආලෝකවත් වෙයි. මොවුන්ට වඩා සිය ගුණයකින් යශෝධරා හොබී). අප බුදුහු බුදුබවට පැමිණ ක්රමයෙන් කපිලවත් පුරයට ගොස් නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදිකරවා ගිය කල්හි සුදොවුන් මහරජුද පිරිනිවි කල්හි මහප්රජාපතීගෞතමිය හා රහල්මව ද පැවිදි වූ කල්හි ඕතොමෝ මෙසේ සිතුවාය: ‘මගේ දෙටුසොහොයුරා සක්විති පදවිය අත්හැර පැවිදි වී ලෙව්හි අග්රපුද්ගලයා වූ බුදුවරයෙක් විය. ඔහුගේ පුත් රහල් කුමරා ද පැවිදි විය. මගේ සැමියා වූ නන්ද රජු ද මව මහා ප්රජාපතීගෞතමිය ද, සොහොයුරිය වූ රාහුලමාතා ද පැවිදිවූහ. මම දැන් ගෙදරට වී කුමක් කරම්ද? ‘පැවිදි වන්නෙමි සිතා භික්ෂුණී ආරාමයකට ගොස් නෑදෑයන් කෙරෙහි වූ ස්නේහය නිසා පැවිදි වූවා විනා සැදැහැයෙකින් නොවේ. එහෙයින් පැවිදිවීමෙන් පසුවද රූපය නිසා උපන් ගර්වය ඇත්තී ‘බුදුහු රූපය හෙළාදකිති, ගරහති, නොයෙක් අයුරින් රූපයෙහි ආදීනව පෙන්වයි’ යනුවෙන් සිතමින් බුදුන්ට උවටැන් කිරීමට නොයයි. මේ පිළිබඳ සෙසු විස්තර යට කියනලද අභිරූපනන්දාගේ වස්තුවෙහි සඳහන් වූ අයුරින් දතයුතුය. වෙනස මෙපමණි, බුදුන් විසින් මවනු ලැබූ ස්ත්රී රූපය ක්රමයෙන් ජරාවට පැමිණෙනු දැක තෙරණියගේ මනස කමටහනට යොමු විය. එය දුටු බුදුන්වහන්සේ ඇයගේ චිත්තාචාරය වශයෙන් ධර්මය දේශනා කරන්නාහු-