විමලා ථේරීගාථා වර්ණනාව
මත්තා වණ්ණෙන රූපෙන - මෙය විමලා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ භවයන්හි පින් රැස්කර මේ බුදුපතෙහි විසාලා නුවර එක්තරා නගරශෝභනියකගේ දියණියක වී උපන්නාය. ඇයගේ නම විමලා විය. ඕ මුහුකුරා ගිය කල්හි එම වෘත්තියම කරමින් ජීවත්වන්නී දිනක් ආයුෂ්මත් මහමුගලන් හිමියන් විසාලා නුවර පිඬුපිණිස හැසිරෙනු දැක පිළිබඳ සිත් ඇතිවූවා තෙරණුවන් වසන තැනට ගොස් තෙරණුවන් පොළඹවා ගැනීමෙහිලා වෑයම් කළාය. ඇය එසේ කළේ තීර්ථකයන්ගේ මෙහෙයවීමෙකින් යයි ඇතැමෙක් කියති. තෙරණුවෝ ඇයගේ සිරුරෙහි ස්වභාවය පෙන්වාදීම් වශයෙන් කරුණු පැහැදිලිකර අවවාද කළහ. එය යට කියනලද තෙරණුවන්ගේ කථාවෙහි ඇතුළත්වේ. තෙරුන් වහන්සේගේ අවවාද ඇසීමෙන් සංවේගයට පැමිණියා වූ ඕතොමෝ හිරිඔතප් පිහිටුවා සසුනෙහි සැදැහැව ලැබ උපාසිකාවක් වී පසුකලක භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදිව වෑයම්කරන්නී, හේතුසම්පත් ඇති බැවින් තොමෝ කලෙකින්ම රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහිකර උදාන වශයෙන්:
මත්තා වණ්ණෙන රූපෙන සොභග්ගෙන යසෙනච,
යොබ්බනෙන වුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.
විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං,
අට්ඨාසිං වෙසිද්වාරම්හි ඵද්දො පාසමිවොඩ්ඩිය.
පිලන්‍ධනං විදංසෙන්ති ගුය්හං පකාසිතං බහුං,
අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.
සාජ්ජ පිණ්ඩං චරිත්‍වාන මුණ්ඩා සංඝාටිපාරුතා,
නිසින්නා රුක්‍ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.
සබ්බෙ යොගා සමුච්ජින්නා යෙ දිබ්බා යෙ ච මානුසා,
ඛෙපෙත්‍වා ආසවෙ සබ්බෙ සීතිභූතම්හි නිබ්බුතා.
වර්ණයෙන් රූපයෙන් සෞභාග්‍යයෙන් යශසින් මත්වූයෙම් යෞවනයෙන් උදම් වූයෙම් සෙසු කාන්තාවන් ඉක්මවා සිතුවෙමි.
මෝඩයන් පසසන මේ සිරුර විසිතුරු ලෙස සරසා, වැද්දා මල තබා සිටින්නාක් මෙන් මම වේශ්‍යාවගේ දොරටුවෙහි මගේ සිරුර තබා සිටියෙමි,
අබරණ එහාමෙහා කරමින් වැසුණු බොහෝ තැන් විවරමින් බොහෝ දෙනා පොළඹවමින් නොයෙක් මායම් කෙළෙමි.
ඒ මම අද හිස මුඩු කරගෙන සඟළ සිවුරු පෙරවා පිඬුපිණිස හැසිර නිවන් සැප ලබා රුක්මුලක හුන්නී වෙමි.
දෙව්මිනිස් සියලු රෝගයන් සිඳ දමූයෙමි, ආසව නිමකර සිහිල් වූයෙමි, නිවුණෙමි.
එහි, මත්තා වණ්ණෙන රූපෙන - වර්‍ණයෙන් මෙන්ම රූපසම්පත්තියෙන් ද, සොභග්ගෙන - වාසනාවෙන්, යසෙන පිරිවර සම්පත්තියෙන්, මත්තා - වර්‍ණමදය, රූපමදය, ධනමදය, පිරිවරමදය ආදී වශයෙන් මදයට ගර්වයට පැමිණ යනු අර්ථය. යොබ්බනෙන චුපත්‍ථද්ධා - යෞවන මදයෙන් ආඩම්බර වී, තරුණකම නිසා අහංකාරයෙන් දැඩිවී නොසන්සුන් මනසින්, අඤ්ඤාසමතිමඤ්ඤිහං - අනෙක් ගැහැනුන් තමාගේ වර්ණාදි ගුණයන්ගෙන් හැම ආකාරයකින්ම පහත්කොට සැලකුයෙමි. මම අනෙක් ගැහැනුන්ගේ වර්ණාදි ගුණයන් ඉක්මවා සිතුවෙමි. අවමාන කළෙමි.
විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං - නොයෙක් අපවිත්‍ර ද්‍රව්‍යවලින් පිරුණු පිළිකුල් කටයුතු මේ සිරුර මමය, මගේය, යනුවෙන් බාලයන් ලවා කියවන හෙයින්, බාලලාපනං - මගේ, කායං - සම පාට ගැන්වීමෙන් කෙස් සැනහීම් ආදියෙන්, සුචිත්තං -වස්ත්‍රාභරණාදියෙන්, විභූසිත්‍වා - අලංකාරකොට, පහයින්කොට, අට්ඨාසිං වෙසි ද්වාරම්හි එද්දො පාසමිවොඩ්ඩිය - මුවන් අල්වාගනු පිණිස දඬුමුඟුරු ආදියෙන් සාදාගත් මාරයාගේ මද්ද වැනි මුවඋගුල අටවා තබන්නා වූ මුව වැද්දෙකු මෙන් මම ද මගේ සිරුර, වෙසිද්වාරම්හි - වෛශ්‍යාවගේ ගෙදර දොරකඩ, අටවා සිටියෙමි.
පිලන්‍ධනං විදංසෙන්තී ගුය්හං පකාසිකං බහුං - කෙණ්ඩා කලවා පෙන්වීමෙන්ද පාසලම්, නුරුවළා ආදිය පෙන්වමින්ද, රහස්තැන් පෙන්වීමෙන්ද, බහුං - නන්වැදරුම්, පිලන්‍දනං - අබරණද පෙන්වමින්, අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං - යෞවන මදයෙන් මත්වූ බොහෝ බාලජනයා පෙළඹවීමට සිනහසෙමින්, සුවඳමල්දම් වස්ත්‍රාභරණාදියෙන් ශරීරයෙහි ප්‍රකෘතිස්වභාවය වසමින් භාවභාව විලාශාදියෙන් ද නොයෙක් විදියේ වඤ්චා කළෙමි.
සාජ්ජ පිණ්ඩං චරිත්‍වාන-පෙ-අවිතක්කස්ස ලාභිනී - එසේ ප්‍රමාදව වෙසෙන්නාවූ මම අද දන් මහමුගලන් තෙරණුවන්ගේ අවවාදයෙහි පිහිටා සසුනෙහි පැවිදිව හිස මුඩුකර සඟළ සිවුර පෙරවා, පිණ්ඩං චරිත්‍වාන - පිඬුඅහර වළඳා, නිසින්නා රුක්‍ඛමූලම්හි - ගස්මුලක විවේක අසුනෙක හිඳ ද්වීතිය ධ්‍යානය පාදක කොට ඇත්තා වූ අග්‍රඵලය ලබාගැනීමෙන්, අවිතක්කස්ස ලාභිනී අම්හි - යනුවෙන් යොදාගත යුතුය.