චන්ද්රා ථේරීගාථා වර්ණනාව
දුග්ගතාහං පුරෙ ආසිං මෙය චන්දා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කරමින් ක්රමයෙන් එකතුකරගන්නා ලද නිර්වාණගාමී පුණ්යසම්භාර ඇතිව, මුහුකුරා ගිය නුවණින් යුක්තව වෙසෙන්නී මේ බුදුපතෙහි එක්තරා බමුණුගමක අප්රකට බමුණු කුලයක පිළිසිඳ ගත්තාය. ඇය උපන් දින සිට ඒ පවුල භවභෝග සම්පත්තියෙන් පිරිහෙන්ට විය. ඕතොමෝ දැන උගත්කම් ලබාගෙන දුකින් වෙසෙයි. කලෙක ඒ ගෙයි අභිවාතක රෝගය හටගත්තේය. එයින් ඇගේ සියලු ඤාතීහු මරුමුවට පත්වූහ. සියලු නෑදයන් මළ කල්හි ජීවත්වීම දුෂ්කර වූ ඕ කබලක් අතින් ගෙන ගෙයක් පාසා යමින් ලද දෙයකින් යැපෙන්නී දිනක් පටාචාරා තෙරණියගේ සග දන් දෙන තැනට ගියාය. භික්ෂුණීහු දුකට පත් බඩසයින් පෙළෙමින් සිටි ඇය දැක කරුණා සිතින් ප්රියවචනයෙන් කථාකර ඒ අවස්ථාවෙහි ලබාගත හැකිව තිබුණු අහරින් සැතැපවූහ. ඕතොමෝ භික්ෂුණීන්ගේ ආචාරශීල සම්පන්න භාවයෙහි පැහැදී තෙරණියන් වෙත ගොස් වැඳ එකත්පස්ව සිටියාය. තෙරණියක් ඇයට ධර්ම දේශනා කළාය. ඈ ඒ බණ අසා සසුනෙහි පැහැදී සසර කෙරෙහි හටගත් සංවේගය ඇත්තී පැවිදි වූවාය. පැවිදිව භික්ෂුණීන්ගේ බණ අසා ඒ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා භාවනාවෙහි යෙදී, කරන ලද අධිෂ්ඨාන ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් තිබුණු හෙයින්ද නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත බලා උදන් විසින් මේ ගාථා ප්රකාශ කළාය:
දුග්ගතා හං පුරෙ ආසිං විධවා ච අපුත්තිකා,
විනා මිත්තෙහි ඤාතීහි භත්ත චොළස්ස නාධිගං.
විනා මිත්තෙහි ඤාතීහි භත්ත චොළස්ස නාධිගං.
පත්තං දණ්ඩඤ්ච ගණහිත්වා භික්ඛමානා කුලාකුලං,
සීතුණ්භෙන ච ඩය්හන්තී සකතවස්සානි චාරීහං.
සීතුණ්භෙන ච ඩය්හන්තී සකතවස්සානි චාරීහං.
භික්ඛුණිං පුන දිස්වාන අන්නපානස්ස ලාභිනිං,
උපසඞ්කම්මා වොචං පබ්බජ්ජං අනගාරියං.
උපසඞ්කම්මා වොචං පබ්බජ්ජං අනගාරියං.
සා ච මං අනුකම්පාය පබ්බාජෙසි පටාචාරා,
තතො මං ඔවදිත්වාන පරමත්ථෙ නියොජයි.
තතො මං ඔවදිත්වාන පරමත්ථෙ නියොජයි.
තස්සාහං වචනං සුත්වා අකාසිං අනුසාසනිං,
අමොඝොය්යාය ඔවාදො තෙවිජ්ජම්හි අනාසවා.
අමොඝොය්යාය ඔවාදො තෙවිජ්ජම්හි අනාසවා.
පෙර මම දුප්පත් වීමි, දරුවන් නැති වැන්දඹුවක් වීමි. නෑදෑ යහලු මිතුරන්ගෙන් තොරවූ මම කෑමබීම හා ඇඳුම්පැළඳුම් ද නොලදිමි.
කබලක් හා යටියක් අතින් ගෙන ගෙයක් පාසා සිඟමන් යමින් සීතලෙන් උණුසුමෙන් පෙළෙමින් සත්වසරක් සැරිසැරුවෙමි.
දිනක් අහරපැන් ලබන භික්ෂුණියක් දැක ඇය වෙත ගොස් අයැද සසුනෙහි පැවිද්ද ලබාගතිමි.
ඒ පටාචාරාතොමෝ මා කෙරෙහි අනුකම්පාවෙන් මා පැවිදි කළාය. ඉක්බිති මට ඔවා දී පරමාර්ථයෙහි යෙදවූවාය.
මම ඇගේ වචනය අසා ඇගේ අවවාදය පිළිපැදීමි. ඒ ආර්යාවගේ අවවාදය නොසිස්වූවකි. ත්රිවිද්යාව ලබාගතිමි. ආශ්රවයන් ක්ෂය කළෙමි.
එහි දුග්ගතා - දිළිඳුය, පුරෙ - පැවිදිවීමට පෙර පැවිදි බව ලැබූදා සිට පුද්ගලයෙකු භෝගයන්ගෙන් ආඪ්ය හෝ දිළිඳු හෝ යනුවෙන් නොකිව යුතුය. ගුණසම්පත්තියෙන් වනාහි මේ තෙරණිය සමෘද්ධිමත්ය. එහෙයින් දුග්ගතාහං පුරෙ ආසිං - යනුවෙන් කීවාය. විධවා - ධව යනු සැමියාය, ඔහුගෙන් වෙන්වීම විධවාය. සැමියා මළ තැනැත්තිය යන අර්ථයයි. අපුත්තිකා - දරුවන් රහිතවූ විනා මිත්තෙහි - මිතුරන්ගෙන් හා නෑයන්ගෙන් හීනවූ, තොරවූ, භත්ත චොළස්ස නාධිගං - ආහාර හා රෙදිපිළි නොතිබිණ. හුදෙක් සිඟා යාම සඳහා එකම රෙදිකඩක් තිබිණ. බඩසය යටපත් කර ගැනීමට තරම්වන අහරක් ලැබිණ, යනු අදහසය.
එහෙයින් පත්තං දණ්ඩඤ්ච ගණභිත්වා - යනුවෙන් කියන ලදී. එහි පත්තං - යනු මැටි බදුනකි. දණ්ඩං - ගොනුන් බල්ලන් ආදින් වළක්වනු පිණිස ගෙනයන යටියකි, කුලාකුලං - කුලයෙන් කුලයට, සීතුණ්භෙන ච ඩය්හන්ති - විසීමට ගෙයක් නොමැති හෙයින් සීතලෙන් හා උණුසුමෙන් පෙළෙන්නී,
භික්ඛුනිං - පටාචාරා තෙරණිය උදෙසා මෙසේ කියයි, පුන - පසුව, අවුරුදු හතකට පසුව
පරමත්ථෙ - පරමවූ උතුම් වූ අර්ථයෙහි, නිර් වාණගාමිණී ප්රතිපදාවෙන්, නිවණෙහිද, නියොජයි - කමටහන් දෙසමින් යෙදවූවාය. සෙස්ස කියනලද පරිදිමය.
චන්දා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
පඤ්චකනිපාත වර්ණනාව සමාප්තය
6. ඡක්කනිපාතය
පන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා වර්ණනාව
සයවන නිපාතයෙහි යස්ස මග්ගං න ජානාති යන මෙය ආදි ගාථා පන්සියයක් පමණ තෙරණියන්ගේ ගාථාය. මේ තැනැත්තියෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්යය ඇත්තාහු ඒ ඒ භවයන්හි උපත්වලට අනුව පින් රැස්කරමින් ක්රමයෙන් උපයාගත් නිර්වාණගාමී පුණ්යසම්භාර ඇතිව මේ බුදුපතෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණි කල්හි මවුපියන් විසින් පතිකුලවලට පමුණුවනු ලැබුවාහුය. ඒ ඒ ගෙවල පුතුන් ලැබ ගිහිජීවිතය ගතකරන්නාහු සමාන ජාතීන්හි එවැනි කර්මයන් කර තිබෙන හෙයින් සියල්ලන්ගේම දරුවන් නැතිවී පුත්රශෝකයෙන් මඩිනු ලැබුවාහු පටාචාරා තෙරණිය වෙත එළඹ වැඳ හුන්නාහු තමතමාගේ ශෝකයට හේතු වූ කරුණු සැලකළහ. තෙරණියෝ ඔවුන්ගේ ශෝකය පහකරවමින් මේ ගාථා හතරෙන් ධර්මයක් දේශනා කළහ: