සෝමා ථේරීගාථා වර්ණනාව
යං තං ඉසීහි පත්තබ්බං - මෙය සෝමා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් සිඛී බුදුන්ගේ කාලයෙහි කැත්මහසල් කුලයක ඉපිද වැඩිවිය පැමිණි කල්හි අරුණවන්ත රජුගේ අගමෙහෙසිය වූවාය. මෙහි සියලු විස්තර අභය තෙරණියගේ අතීත කථාවට සමානය. වර්‍තමාන කථාව වනාහී මේ තෙරණිය දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුරෝහිතයාගේ දියණිය වී උපන්නාය. ඇගේ නම සෝමාය. ඕ බුදුන්වහන්සේ රජගහනුවරට පිවිසෙන අවස්ථාවේ දී ශ්‍රද්ධාව හටගෙන උපාසිකාවක් වී පසු කලෙක සංවේගයට පැමිණ භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදි වී කරන ලද පෙරකිස ඇත්තී, විදසුන් වඩා නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
නගරෙ අරුණවතියා අරුණවා නාම ඛත්තියො,
කස්ස රඤ්ඤො අහං භරියා චාරිකං චාරයාමහං.
අරුණවතී නම් නගරයෙහි අරුණවන්ත නම් රජෙක් විය. මම ඔහුගේ බිරිඳ වී චාරිකාවෙහි යෙදුණෙමි.
යාවතා-පෙ-කතං බුද්ධස්ස සාසනං -
යම්තාක්-පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
සෙසු සියල්ල අභය ස්ථවිරියගේ චරිත කථාවට සමානය. රහත් බවට පැමිණ විමුක්ති සුවයෙන් වෙසෙන්නී දිනක් දවල් කාලය ගතකරනු පිණිස අන්‍ධ වනයට පිවිස එක්තරා ගස්මුලක හුන්නාය. එවිට මාරයා ඇය විවේකයෙන් තොරකරනු කැමැතිව නොපෙනී අහසෙහි සිට:
යං තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභිසම්භවං,
න තං ද්වඞ්ගුලපඤ්ඤාය සත්තා පප්පොතුමිත්‍ථියා-
සෘෂිවරුන් විසින් පැමිණිය යුතු ලබාගැනීමට අපහසු වූ යම් ස්ථානයක් වේද එය දෑඟුලක් පමණ නුවණැති ස්ත්‍රීන් විසින් ලබාගත නොහැකිය.
යන ගාථාව ප්‍රකාශ කළාය.
එහි තේරුම - ශීලස්කන්‍ධාදිය සෙවීමෙහි යෙදුණු යන අර්‍ථයෙන් සෘෂි යන නාමය ලැබූ බුදුන් ආදී මහා පැණවතුන් විසින් පැමිණියයුතු, අනෙක් අයට දුරභිසම්භවං - ලබාගත නොහැකි, යංතං - රහත්බව නමැති පරම නිෂ්ඨාව. ද්වඞ්ගුල පඤ්ඤාය - හීනප්‍රඥාව ඇති ස්ත්‍රි විසින් ලබාගත නොහැකිය. ගැහැණු වූකලී වයස අවුරුදු හත අටේ සිට සදහටම බත් පිසන්නී, රත්වූ ජලයෙහි සහල් දමා, එපමණකින්ම බත් ඉදී ඇද්දැයි නොදනිති. තැම්බෙන්නා වූ සහල් ඇට හැන්දෙන් ගෙන ඇඟිලිවලින් පොඩිකර දැනගනිති. එහෙයින් ද්වඞ්ගුලපඤ්ඤාය යනුවෙන් කියන ලදී.
එය ඇසූ ස්ථවිරීතොමෝ මාරයා පිටුමං කරන්නී:
ඉත්‍ථිභාවො නො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ,
ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතො.
සබ්බත්‍ථ විහතා නන්‍දි තමොක්‍ඛන්‍ධො පදාලිතො,
එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකා.
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
සිත එකඟ වූ කල්හි, ප්‍රඥාව පවත්නා කල්හි, ධර්‍මය මැනැවින් දැනගත් කල්හි, ස්ත්‍රීභාවය අපට කුමක් කරයිද?
සෙස්ස සේලා තෙරණියගේ වස්තුවෙහි මෙනි.
යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
එහි ඉත්‍ථිභා වො කිං කයිරා - ගැහැනියක වීමෙන් අපට කුමක් කෙරේද? රහත් බවට පැමිණීම පිණිස කවර නොබැඳුමක් ඇතිකරගතයුතුද? චිත්තම්හි සුසමාහිතෙ - අග්‍රමාර්ග භාවනාවෙන් සිත මනාකොට එකඟ වූ කල්හි, ඤාණම්හි වත්තමානම්හි - එහෙයින් අර්හත් මාර්‍ගඥානය පවත්නා කල්හි, සම්මා ධම්මං විපස්සතො - චතුරාර්‍යය සත්‍යය නිරවශේෂයෙන් මනා ලෙස දන්නා තැනැත්තාට. මෙහි ලුහුඬු අදහස මෙසේය, පාපිෂ්ඨය, ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා අග්‍රමාර්‍ගයට පැමිණි කල්හි ඔහුට හෝ ඇයට රහත්බව අත්පත්වූවාක් මෙනි.
දැන් ඕතොමෝ රහත්බව ලබාගෙන සිටින බව එක එල්ලේම දක්වමින් ‘සබ්බත්‍ථ විහතානන්‍දි’ යන ගාථාව ප්‍රකාශ කළාය.
සෝමා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
තිකනිපාත වර්‍ණනාව සමාප්තය.
4. චතුක්කනිපාතය
භද්දාකාපිලානී ථේරීගාථා වර්ණනාව
සිවුවන නිපාතයෙහි පුත්තො බුද්ධස්ස දායාදො යනුවෙන් පටන්ගන්නා ගාථාව භද්දා කාපිලානි තෙරණියගේය. ඕතොමෝ පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වියපත් වූ කල්හි බුදුන්ගෙන් බණ අසන්නී, එක්තරා භික්‍ෂුණියක් පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන්නියන්ගෙන් අගතැනට පත්කරනු දැක අධිකාර්‍යය කොට තමාද තනතුර පතා ජීවිතාන්තය දක්වා පින්කම් කොට එයින් චුතව දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, බුදුන් නූපන් අවධියක බරණැස් නුවර කුලගෙයක උපත ලබා විවාහ වීමෙන් පසු දිනක් තම නැන්දනිය සමග කලහ කරන්නී, ඇය විසින් පසේ බුදුවරයෙකුට පිණ්ඩපාතය පුදනු දැක මෝතොමෝ දන් දී බොහෝ සම්පත් ලබන්නී යයි සිතා පසේබුදුවරයාගේ අතින් පාත්‍රය ගෙන බත් ඉවත්කර මඩ පුරවා දුන්නාය. මෙය දුටු මහජනයා ඇය හෙළා දකින්ට වූහ. ‘මෝඩ තැනැත්තිය, පසේ බුදුහු තිට කවර වරදක් කළහුද’ යනුවෙනි. ඕ බයින් ලජ්ජාවට පත්වී නැවත පසේ බුදුන්ගෙන් පාත්‍රය ගෙන මඩ ඉවත්කර පාත්‍රය සෝදා සුවඳසුණින් මැද චතුමධුර පුරවා එයට උඩින් පියුම්ගැබ්වන් ගිතෙල් ඉස දිලෙමින් සිටි පසේ බුදුන්ගේ අතෙහි තබා මේ පිණ්ඩපාතය ප්‍රභාවත්වීද එසේම මගේ සිරුරද පැහැපත් වේවා’ යනුවෙන් පැතුවාය. ඕතොමෝ ඒ අත්බැවින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර මහත් සැපසම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක්ව උපන. පෙර කළ කර්‍ම බලයෙන් සිරුර දුගඳ වී මිනිසුන්ගේ පිළිකුලට භාජන වී සංවේගයට පැමිණ සිය අබරණවලින් රන්ගඩොලක් තනවා බුදුන්ගේ සෑයෙහි තැබුවාය. උපුල්මල් පූජාවක් ද කළාය. එහෙයින් ඇයගේ සිරුර ඒ අත්බැව්හිම සුවඳවත් විය. සැමියාට ප්‍රියමනාප වූ ඕ තොමෝ ජීවිතාන්තය දක්වා කුසල් රැස්කර එයින් චුතව ගොස් දෙව්ලොව උපන්නාය. එහි දිවි ඇතිතාක් දෙව්සුව විඳ එයින් චුතව බරණැස් රජුගේ දියණියක්ව ඉපද දෙව්සැප සමාන සිට සැප විඳින්නී, බොහෝ කලක් පසේ බුදුවරුන්ට උපස්ථානකර උන්වහන්සේලා පිරිනිවන් පෑ කල්හි සංවේගයට පැමිණියා තවුස් පැවිද්දෙන් පැවිදිව උයනෙහි වෙසෙන්නී, දැහැන වඩා බඹලොව ඉපිද එයින් චුතව සාගලනුවර කෞශික ගෝත්‍රයෙහි බමුණු පවුලක උපත ලබා මහත් පිරිවරින් වැඩී මහාතිත්‍ථගම පිප්ඵිලී කුමාරයා සමග විවාහ වූවාය. ඇය පැවිදිවීමට නික්මුණු අවස්ථාවේ විශාල සැපසම්පත් රාශියක් ද නෑ පිරිසක් ද අත්හැර තීර්ථක ආශ්‍රමයකට ගොස් පස්වසක් එහි වැස පසුකලෙක මහාප්‍රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් වූවාය. එහෙයින් කියන ලදී අපදානයෙහි: