3. තිකනිපාතය
සාමා ථේරීගාථා වර්ණනාව
තුන්වන නිපාතයෙහි පණ්ණවීසතිවස්සානි යනු අනෙක් සාමා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි චන්ද්රභාගා ගංතෙර කිඳුරියක් වී උපන්නාය. ඕ එහි කිඳුරන් සමග කෙළිදෙළෙන් පසුවෙයි. ඉක්බිති එක් දවසක් ශාස්තෲන් වහන්සේ ඇයගේ කුසලබීජය රෝපණය කරවනු පිණිස එහි ගොස් ගංඉවුරෙහි සක්මනෙහි යෙදුණහ. ඕතොමෝ බුදුන් දැක තුටු පහටුවූවා සළලමල් දෝතක් ගෙන බුදුන් සමීපයට ගොස් වැඳ ඒ මල්වලින් බුදුන් පිදුවාය. ඕ ඒ පිනින් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි කොසඹෑ නුවර කුලගෙයක ඉපිද වයසින් වැඩුණු පසු සාමාවතියගේ යෙහෙළියක වී ඇය මළ කල්හි සංවේගයට පැමිණ පැවිදිව විසිපස් වසරක් යන තෙක්ම චිත්ත සමාධානයක් නොලැබ මහලුකල බුදුන්ගෙන් අවවාද ලබා බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම එකල චන්ද්රභාගා නදීතෙර කිඳුරියක් වීමි. ඉක්බිති මම දේවාතිදේව වූ මිනිසුන් අතර ශ්රේෂ්ඨයා වූ බුදුන් ගං ඉවුරෙහි සක්මණෙහි යෙදී සිටිනු දිටිමි.
එවේලෙහි මම සළලමල් නෙලා බුදුන් පිදුවෙමි. ‘මහාවීරයන් වහන්ස, මනා සුවඳ ඇති මේ සළලමල් පිළිගන්න’.
ලෝකනායක වූ විපස්සී බුදුන්වහන්සේ ඒ මල් පිළිගෙන මා බලාසිටියදීම එහි සුවඳ බැලූහ.
මම එකෙණෙහිම ඇදිලි බැඳ වැඳ උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පර්වතයට නැගීමි.
මෙයින් අනුඑක්කපකට පෙර යම් මල් පූජාවක් කෙළෙම්ද එහි අනුසස් විසින් මම දුගතිය නොහඳුනමි. බුද්ධ පූජාවෙහි ඵල විපාක මෙවැනිය.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ- බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
රහත්බවට පැමිණ තමාගේ ප්රතිපත්තිය නැවත බලා උදාන වශයෙන්
පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතාය මෙ,
නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන.
නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන.
අලද්ධං චෙතසො සන්තිං චිත්තෙ අවසනවක්තිනී,
තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ,
තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා -
තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා -
පැවිද්දන් විසිපස්වසක් යනතුරු කිසිදිනෙකත් සිතෙහි සන්සුන් බවක් නොහැඳිනෙමි. (සෙස්ස පෙර පරිදිය).
එහි චිත්තස්ස සමං - සිතෙහි සමනයයි, සිත හසුරුවා ගැනීමෙන් ලැබෙන සමාධියයි යන තේරුමය.
තතො - එහෙයින්, සිත වසඟයෙහි තබාගැනීමට නොහැකිවූ හෙයින්, සංවෙගමාපාදි - බුදුන් ජීවත්වන කල්හිදු සමණකිස ඉටුකරගැනීමට නොහැකිනම් පසුව කෙසේ සපුරන්නෙම්දැයි, සංවෙගං - නුවණෙහි කැළඹීමට පත්වීමි. සරිත්වා ජිනසාසනං - කණකැසුබ් ආදී උපමා කතාවලින් දුන් ඔවා බස් සිහිකර. සෙස්ස කියනලද පරිදිමය.
අනෙක් සාමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
උත්තමා ථේරීගාථා වර්ණනාව
චකුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං - මෙය උත්තමා තෙරණියගේ ගාථාවය. ඕ තොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර එක්තරා කෙළෙඹියෙකුගේ ගෙයි ප්රවේණිගත දාසියක වී උපන්නාය. ඕතොමෝ තමාගේ වැඩිමහලු අයට උපස්ථාන කරමින් වෙසෙයි. එකල බන්ධුම රජ පුන්පොහෝදින පෙහෙවස් සමාදන්ව දහවල් දානාදිය දී අහර කිසෙන් පසු බණ අසයි. මහජනයා ද රජුගේ පිළිවෙතට අනුව එසේම පොහෝදින පෙහෙවස් සමාදන්ව වෙසෙති. ඉක්බිති ඔහුගේ දාසියට මෙවැනි අදහසක් ඇතිවිය ‘මෙකල රජතුමා ඇතුළු මහජනයා පෙහෙවස් සමාදන්ව වෙසෙති. මමද පොහෝ දිනවල පෙහෙවස් සමාදන්ව වෙසෙන්නෙම් නම් යෙහෙකි.’ අනතුරුව ඕතොමෝද පිරිසුදු සිල් රැක තව්තිසා දෙවිවරුන් අතර උපන්නී කලින් කල දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුපතෙහි සැවැත්නුවර සිටුකුලයක උපත ලබා දැන හැඳිනගත් පසු පටාචාරා තෙරණිය සමීපයෙහි බණ අසා පැවිදිව බවුන් වඩාත් මෙහෙණිදම මුදුන් පමුණුවා ගැනීමට නොහැකි විය. පටාචාරා ස්ථවිරී තොමෝ ඇයගේ සිත්හසර දැන අවවාද කළාය. ඕතොමෝ ඇයගේ අවවාදයෙහි පිහිටා පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එහෙයින් කියන ලද අපදානයෙහි:
බන්ධුමතී නුවර බන්ධුමා නම් ක්ෂත්රියයෙක් විය. හෙතෙම පුණුපසළොස්වක් පොහෝදින සිල් සමාදන් විය.
එකල මම කුම්භදාසියක් වීමි. එදින එහි සිටි රජු සහිත සේනාව දුටු මම මෙසේ සිතුවෙමි:
රජතුමා ද රාජ්යය අතහැර පෙහෙවස් සමාදන්වී ඇත. එය සාර්ථකය, ජනතාව කැමැතිය.
නුවණින් මෙනෙහිකර බලා දුක්බර වූ මගේ සිත සොම්නස් කරවා පෙහෙවස් සමාදන්වීමි.
සම්බුදුන් වහන්සේගේ පෙහෙවස් රැක, ඒ පිනෙන් මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
එහි මට යොදුන් ගණන් උස්වූ, සියගණන් කුළුගෙවලින් හෙබි, මහඟු යහන්වලින් යුත් විමන් පහළ විය.
දහස්ගණන් අප්සරාවෝ මා සේවනය කරත්. අනෙක් සියලු දෙවිවරුන් ඉක්මවා මම බෙහෙවින් බබළමි.
සිවුසැටක් දෙව්රජවරුන්ට මෙහෙසිය වීමි. තෙසැටක් සක්විත්තන්ට අගමෙහෙසිය වීමි.
රන්වන් සිරුරු ලබමින් මම සසරෙහි සැරිසරමි. ඒ හැම තැනකදීම මම සෙස්සන්ට උත්තරීතරව වෙසෙමි. පෙහෙවස්හි විපාක මෙවැනිය.