4. චතුක්කනිපාතය
භද්දාකාපිලානී ථේරීගාථා වර්ණනාව
සිවුවන නිපාතයෙහි පුත්තො බුද්ධස්ස දායාදො යනුවෙන් පටන්ගන්නා ගාථාව භද්දා කාපිලානි තෙරණියගේය. ඕතොමෝ පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වියපත් වූ කල්හි බුදුන්ගෙන් බණ අසන්නී, එක්තරා භික්ෂුණියක් පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන්නියන්ගෙන් අගතැනට පත්කරනු දැක අධිකාර්යය කොට තමාද තනතුර පතා ජීවිතාන්තය දක්වා පින්කම් කොට එයින් චුතව දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, බුදුන් නූපන් අවධියක බරණැස් නුවර කුලගෙයක උපත ලබා විවාහ වීමෙන් පසු දිනක් තම නැන්දනිය සමග කලහ කරන්නී, ඇය විසින් පසේ බුදුවරයෙකුට පිණ්ඩපාතය පුදනු දැක මෝතොමෝ දන් දී බොහෝ සම්පත් ලබන්නී යයි සිතා පසේබුදුවරයාගේ අතින් පාත්රය ගෙන බත් ඉවත්කර මඩ පුරවා දුන්නාය. මෙය දුටු මහජනයා ඇය හෙළා දකින්ට වූහ. ‘මෝඩ තැනැත්තිය, පසේ බුදුහු තිට කවර වරදක් කළහුද’ යනුවෙනි. ඕ බයින් ලජ්ජාවට පත්වී නැවත පසේ බුදුන්ගෙන් පාත්රය ගෙන මඩ ඉවත්කර පාත්රය සෝදා සුවඳසුණින් මැද චතුමධුර පුරවා එයට උඩින් පියුම්ගැබ්වන් ගිතෙල් ඉස දිලෙමින් සිටි පසේ බුදුන්ගේ අතෙහි තබා මේ පිණ්ඩපාතය ප්රභාවත්වීද එසේම මගේ සිරුරද පැහැපත් වේවා’ යනුවෙන් පැතුවාය. ඕතොමෝ ඒ අත්බැවින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර මහත් සැපසම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක්ව උපන. පෙර කළ කර්ම බලයෙන් සිරුර දුගඳ වී මිනිසුන්ගේ පිළිකුලට භාජන වී සංවේගයට පැමිණ සිය අබරණවලින් රන්ගඩොලක් තනවා බුදුන්ගේ සෑයෙහි තැබුවාය. උපුල්මල් පූජාවක් ද කළාය. එහෙයින් ඇයගේ සිරුර ඒ අත්බැව්හිම සුවඳවත් විය. සැමියාට ප්රියමනාප වූ ඕ තොමෝ ජීවිතාන්තය දක්වා කුසල් රැස්කර එයින් චුතව ගොස් දෙව්ලොව උපන්නාය. එහි දිවි ඇතිතාක් දෙව්සුව විඳ එයින් චුතව බරණැස් රජුගේ දියණියක්ව ඉපද දෙව්සැප සමාන සිට සැප විඳින්නී, බොහෝ කලක් පසේ බුදුවරුන්ට උපස්ථානකර උන්වහන්සේලා පිරිනිවන් පෑ කල්හි සංවේගයට පැමිණියා තවුස් පැවිද්දෙන් පැවිදිව උයනෙහි වෙසෙන්නී, දැහැන වඩා බඹලොව ඉපිද එයින් චුතව සාගලනුවර කෞශික ගෝත්රයෙහි බමුණු පවුලක උපත ලබා මහත් පිරිවරින් වැඩී මහාතිත්ථගම පිප්ඵිලී කුමාරයා සමග විවාහ වූවාය. ඇය පැවිදිවීමට නික්මුණු අවස්ථාවේ විශාල සැපසම්පත් රාශියක් ද නෑ පිරිසක් ද අත්හැර තීර්ථක ආශ්රමයකට ගොස් පස්වසක් එහි වැස පසුකලෙක මහාප්රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් වූවාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මෙයින් කල්ප සියක්දහසකට පෙර ලෝකනායක වූ සියලු දහම් දන්නා වූ පදුමුත්තර නම් වූ බුදුන්වහන්සේ උපන්හ.
එකල හංසවතී නම් නුවර මහා ධනභෝගසම්පත් ඇති සිටුවරයෙක් විය. මම ඔහුගේ බිරිඳවීමි.
සමහර දිනක හෙතෙම පිරිවර ජනයා සහිත මා බුදුන් වෙතට යවා සියලු දුක් කෙළවර කරවන ධර්මය ඇසීමට සැලැස්වීය.
බුදුන්වහන්සේ එක්තරා ශ්රාවකයකු ධූතවාදීන්ගෙන් අගතැනට පත්කරනු දැක සත්දිනක් බුදුන්ට දන් දී උන්වහන්සේගේ දෙපා වැඳ ඒ තනතුර පැතුවෙමි.
සිටුවරයාට අනුකම්පාවෙන් මේ ගාථා ප්රකාශ කළහ: ‘දරුව, ඔබ ඒ තනතුර ලබා නිවුණේ වෙහි.
මෙයින් කල්ප සියක්දහසකට පසු ඉක්ෂවා කුලයෙහි ඉපදෙන, නමින් ගෞතම නම් වූ බුදුවරයෙක් ලෙව්හි උපදින්නේය.
උන්වහන්සේගේ ධර්මය දායාදකොට ඇත්තා වූ ධර්මයෙන්ම නිමවූවාක් වැනි කාශ්යප නම් වූ ශ්රාවකයෙකුව පහළවන්නෙහිය.’
එය අසා සතුටට පත්ව බුදුන්වහන්සේ ජීවත්ව සිටි තාක් සිවුපසයෙන් උපස්ථාන කළේය.
ඒ බුදුන් සසුන බබුළුවා මිසදිටුවන් මැඩ පවත්වා විනේජනයන් හික්මවා පිරිනිවි සේක.
උන්වහන්සේ පිදීම පිණිස නෑදෑ මිතුරන් රැස්කරවා යොදුනක් උස ඇති ථූපයක් කළහ.
ඒ ථූපය බබළන්නා වූ, සුපිපි සල්රුකක් වැනිවූ රුවන්මුවා එකක්විය.
ඒ වටා සත්දහසක් භාජන සප්ත රතනවලින් සාදා තැන්පත් කළහ.
ඒ බුදුන් පිදීම පිණිස සුවඳ තෙලින් පුරවා පහන් දැල්වූහ.
සත්දහසක් පූර්ණකුම්භයන් තැබූහ. ඒ සියල්ලම රන්රුවන්මුවා විය.