සෙලා ථේරීගාථා වර්ණනාව
නත්‍ථි නිස්සරණං ලොකෙ - මෙය සේලා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී, ඒ ඒ භවයන්හි කුසල් රැස්කර හංසවතී නගරයෙහි කුලගෙයක උපත ලබා වැඩිවිය පැමිණිකල මවුපියන් විසින් සමජාතික කුලපුතෙකුට දෙන ලද්දී ඔහු සමග අවුරුදු සියගණනක් සතුටින් විසුවාය. පසු කලෙක සැමියා මළ කල්හි තමාද මහලුවියට පැමිණ සංවේග බහුලව උසස්ම පින සොයමින් බණ අසනු පිණිස අරමින් අරමට, විහාරයෙන් විහාරයට යයි. ඕ දිනක් බුදුන්ගේ බෝරුක වෙත එළඹ ‘ඉදින් බුදුන්වහන්සේ අසමසම නම් අසම පුද්ගලයෙකු නම්, මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්‍යයක් පානසේක්වා’යි ඉටා එතැන හිඳගත්තාය. ඇයගේ ඒ අධිෂ්ඨානයත් සමගම බෝධිය බැබළෙන්ට විය. ස්වර්‍ණවර්‍ණශාඛා පැනනැගිණ. සියලු දිශාවෝ දිලුණහ. ඕ ඒ පෙළහර දැක පැහැදුණු මනසින් ගරුසිත් ඇතිකරගෙන දොහොත්මුදුන් දී සත්දිනක් එහිම සිටියාය. සත්වන දවස්හි ඕ විශාල පජාසත්කාරයක් පැවැත්වූවාය. ඕතොමෝ ඒ පින්කම හේතුකොටගෙන දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි අළව්නුවර අළව් රජුගේ දියණියක වී උපන්නාය. ඈ සේලා නම් වූවාය. ආළවක රජුගේ දියණිය වූ හෙයින් ආළවිකා යනුවෙන් ද හැඳින්විණ. කලකට පසු ඕතොමෝ, ශාස්තෲන් වහන්සේ ආළවක දමනයකර ඔහුගේ අතට පාසිවුරු දී ඔහු සමග ආළවි නගරයට පිවිසි අවස්ථාවේ දී ඈ රජු සමග ගොස් බුදුන්ගෙන් බණ අසා සැදැහැතිව උපාසිකාවක් වූවාය. ඕ පසු කලෙක සංවේගබහුලව භික්‍ෂුණීන් වෙත පැවිදිව පෙරකිස නිමවා විදසුන් පිහිටුවා සංස්කාරයන්හි යථාස්වභාවය දැක උපනිශ්‍රය සම්පත් ඇති හෙයින් ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලෙකින්ම රහත්වූවාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම හංසවතී නගරයෙහි එකල ඇවිදින්නියක් වීමි. කුසල් බලාපොරොත්තුවෙන් මම අරමෙන් අරමට හැසිරෙමි.
අවපක්‍ෂයෙහි දිනක මම බෝධිය වැඳීමට ගියෙමි. මම සිත පහදවාගෙන බෝමුල හිඳ ගතිමි.
ගරුසිත පිහිටුවාගෙන දොහොත් මුදුන් දී සොම්නස පවසා මෙසේ සිතුවෙමි:
‘ඉදින් බුදුන්වහන්සේ අප්‍රමාණ ගුණ ඇත්තේ නම්, අසමසම පුද්ගලයෙක් නම්, මට පෙළහරක් දක්වා. මේ බෝධිය බබළාවා.
‘මා මෙසේ සිතත්ම බෝධිය බැබළිණ. සියල්ලම රන්වන් වූ හෙයින් හැම දිසාවම ආලෝකවත් විය.
මම සත්දිනක් පුරා එහි සිටියෙමි. ‘සත්වන දින මම පහන් පූජාවක් කළෙමි.
අසුන වටා පහන් පහන් දැල්වීමි. පසුදින හිරු උදාවන තෙක් මගේ පහන් දැල්විණ.
ඒ යහපත් ක්‍රියාවෙහි අනුසස් විසින් මිනිස් සිරුර අතහැර තව්තිසාවට ගියෙමි.
මගේ ඒ පින්කම නිසා මම පඤ්චදීපි යනුවෙන් ද හඳුන්වනු ලැබුවෙමි. හැටයොදුනක් උස ඇති තිස්යොදුනක් පළල ඇති-
‘අසඞ්ඛ්‍ය ගණන් ප්‍රදීපයෝ මා වටා දැල්වෙති. දිව්‍ය භවනය යම් පමණක්ද එපමණම දීපාලෝකය පැතිර පවතී.
‘පිටුපස හරවා හිඳගෙන සිටිනවිට මට බැලීමට අදහසක් ඇතිවුවහොත් උඩ යට හරහ යන හැම දිසාවක්ම පෙනෙයි.
‘යහපත් අයහපත් ක්‍රියා දකිනු කැමැත්තෙම් නම් එහිලා ගස්වල හෝ පර්‍වතවල හෝ බාධාවක් නැත.
‘අසූවක් දෙව්රජවරුන්ට මෙහෙසිබව දැරුවෙමි, සක්විත්තන් සත්දෙනෙකුට මෙහෙසිය වීමි.
‘දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ වේවා යම් ආත්මභාවයක උපනිම්ද ඒ හැමතන්හිම දහසක් පහන් හා පිරිවරයි.
‘දෙව්ලොවින් චුතව මම මවුකුසෙහි උපනිමි. මවුකුසෙහි වෙසෙනකල මගේ නෙත් නොපියවෙයි.
පහන් සියක්දහසක් මේ පින්කමට සහභාගි වෙමින් තිඹිරිගෙයි දැල්වේ. පහන් පහක් පිදීමේ ආනිසංස මේය.