සුක්කා ථේරීගාථා වර්ණනාව
කිමෙ කතා රාජගහෙ - මෙය සුක්කා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි දී පින් රැස්කරන්නී, විපස්සී බුදුන්ගේ කාලයෙහි බන්‍ධුමතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණිකල උපාසිකාවන් සමග විහාරයට ගොස් බුදුන් වෙතින් බණ අසා සැදැහැ උපදවා පැවිදිව බොහෝ ඇසූපිරූ තැන් ඇතිව ධර්‍මධරව ප්‍රතිභානයෙන් සමන්විතව වෙසේ. ඕ එහි දහස්වස් බොහෝ ගණනක් බඹසර හැසිර පෘථග්ජන තත්ත්වයෙන්ම මියගොස් තුසිතයෙහි උපන්නාය. එසේම සිඛී බුදුන්ගේ ද වෙස්සභූ බුදුන්ගේ ද යන මේ තුන්බුදුවරුන්ගේ කාලවල සසුනෙහි සිල් රැක බහුශ්‍රැතව ධර්‍මධර වූවාය. එසේම කකුසඳ කෝනාගමන කස්සප යන බුදුවරුන්ගේ කාලවල සසුනෙහි පැවිදිව සුපිරිසිදු සිල් රැක බහුශ්‍රැත ධර්‍මකථිකාවක් වූවාය.
මෙසේ ඕතොමෝ ඒ ඒ ආත්මභාවයන්හි පින් රැස්කරමින් දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි රජගහ නුවර ගැහැවිමහසල් කුලයෙක උපන්නාය. ඇයට සුක්කා යන නම ලැබිණ. වැඩිවිය පැමිණි පසු ඕ බුදුන් රජගහනුවරට පිවිසෙන අවස්ථාවේ දී පැහැදී උපාසිකාවක් වී පසු කලෙක ධම්මදින්නා තෙරණියගෙන් බණ අසා හටගත් සංවේගය ඇත්තී, ඇය වෙතම පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මෙයින් කල්ප අනූඑකකට පෙර විපස්සි නම් වූ සියලු ධර්‍මයන් දන්නා වූ පියකරු පෙනුමක් ඇති බුදුන් උපන්හ.
එකල මම බන්ධුමතී නුවර එක්තරා කුලයක ඉපිද බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැවිදිවීමි.
ඒ මම බුදුසසුනට අයත් කටයුතු කරන, ධර්‍මධර වූ බහුශ්‍රැත වූ ප්‍රතිභා ශක්තියෙන් හෙබියා වූ විසිතුරු ලෙස බණ කියන්නා වූ මෙහෙණක් වීමි,
එකල මම ජනතාවට හිතසුව ගෙනදෙන බණ කතාවක් අසා එයින් චුතව තුසිත දෙව්ලොව ඉපදුණෙමි.
මෙයින් තිස්එක් කපකට පෙර කීර්තියෙන් දිලෙන්නා වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ සිඛී නම් බුදුහු ලොව උපන්හ.
එකල්හි මම පැවිදිව බුද්ධ ධර්‍මය බබුළුවා එයිනුදු චුතව දෙව්ලොව උපත ලැබුවෙමි.
කල්ප තිස්ඵකකට පෙර වෙස්සභූ නම් වූ බුදුහු ලොව උපන් කලද, මම එසේම පැවිදිව ධර්‍මධරව බුදුසසුන බබුළුවා දෙව්ලොව ගොස් මහත්සැප වින්දෙමි.
මේ භද්‍රකල්පයෙහි කකුසඳ නම් බුදුහු උපන්හ. එකලද මම එසේම,
පැවිදිව මුනිසසුන හොබවා ආයුෂ ප්‍රමාණය ගෙවා එයින් චුතව තිදස දිව්‍යලෝකයට ගියෙමි.
මේ කපෙහිම කෝණාගමන නම් වූ නිවන්මග දෙසන්නා වූ බුදුහු උපන්හ.
එකලද ඒ බුදුන්ගේ සසුනෙහි පැවිදිව බහුශ්‍රැතව ධර්‍මධරව බුදුසසුන හෙබවීමි,
මේ කපෙහිම ලෝකයාට පිළිසරණ වූ මරණය ඉක්මවූ කස්සප බුදුන්වහන්සේ උපන් සේක.
ඒ නරවීරයාගේ සසුනෙහිද පැවිදිවී ධර්‍මය මැනැවින් ඉගෙනගෙන ප්‍රශ්න විසදීමෙහි දක්‍ෂව, පිරිසිදු සිල් ඇත්තී, ලජ්ජාශීලී වූ, ත්‍රිවිධ ශික්‍ෂාවන්හි දක්‍ෂ වූ බොහෝ ධර්‍මකථා පවත්වා, එකල රැස්කළ පිනින් සිත පිහිටුවීමෙහි අනුසසින්ද මිනිස් සිරුර අත්හැර ගොස් තව්තිසාවෙහි උපනිමි.