උබ්බරී ථේරීගාථා වර්ණනාව
අම්ම ජීවති - මෙය උබ්බීරි තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී පුදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වයස මුහුකුරා ගිය පසු එක් දිනක් දෙමාපියන් අනෙක් ගෙදරක මඞ්ගලෝත්සවයක් සඳහා ගිය විටෙක ඕ හුදෙකලාවම ගෙදර සිටියාය. ආසන්න වූ වේලාවෙහි බුදුන්ගේ ශ්රාවක රහත්නමක් ගෙදොර සමීපයෙන් යනු දැක දනක් දෙනු කැමැත්තී ස්’වාමීනි, මෙහි වැඩමවනු මැනව’යි කියා තෙරුන් ගෙට පිවිසි කල්හි පසඟ පිහිටුවා වැඳ දිග ලෝමාදියෙන් අසුනක් පනවා පිළිගැන්වූවාය. තෙරණුවෝ පැනවූ අසුනෙහි හුන්සේක. ඕ පාත්රය ගෙන ආහාර පුරවා තෙරණුවන්ගේ අතෙහි තැබුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියහ. ඕ ඒ පිනින් තව්තිසාවෙහි ඉපිද දිවි ඇති තාක් මහත් සැපසම්පත් විඳ එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර ගැහැවිමහසල් කුලයක ඉපදුණාය. උබ්බරී නම් වූ ඕතොමෝ පරම රූපසම්පත්තියෙන් සමන්විත වූවා, දැකුම්කලු පහදවනසුලු තැනැත්තියක් වූවාය. ඈ වැඩිවියට පැමිණි කල්හි කොසොල් රජුගේ මාලිගයට ගෙනෙනු ලැබුවාය. එයින් වසර කිහිපයකට පසු ඕ දියණියක ලැබුවාය. ඇයට ජීවන්ති යන නම භාවිත විය. රජ ඇයගේ දියණිය දැක සින් සතුටු වූයේ උබ්බේරියට අභිෂේකය දුන්නේය. ඇයගේ දියණි තොමෝ දුව ඇවිදින වියේ දී කලුරිය කළාය. ඇයගේ මව ඇය මිහිදන් කළ ස්ථානයට දිනපතා ගොස් වැළපෙයි. ඕ දිනක් බුදුන් වෙත ගොස් වැඳ ටිකවේලාවක් හිඳ පෙරළා ගියාය. එතැනින් අවිරවතී ගංතෙර සිට දියණිය ඇරබ වැළපෙයි. බුදුන්වහන්සේ ඇය දැක ගඳකිළියෙහි හුන්නේම තමා සමීපයෙහි සිටින බව දක්වා ඇය අමතා ‘කුමක් හෙයින් වැළපෙන්නීදැ’යී ඇසූ සේක. ‘ස්වාමීනි, මගේ දියණිය උදෙසා වැළපෙමි.’ මේ සොහොනෙහි දවනු ලැබුවා වූ ඔබේ දියණියෝ සුවාසුදහසක් පමණි, ඔවුනතරෙන් කවරක් උදෙසා වළපිහිදැ’යි අසා ඒ සොහොන්කළ තැන් පෙන්වා-
අම්ම ජීවනීති වනම්හි කන්දසි අත්තානං අධිගච්ඡ උබ්බිරී,
චූළාසීති සහස්සානි සබ්බා ජීවසනාමිකා,
එතම්හාළාහනෙ දඩ්ඪා තාසං කමනුසොවසී -
චූළාසීති සහස්සානි සබ්බා ජීවසනාමිකා,
එතම්හාළාහනෙ දඩ්ඪා තාසං කමනුසොවසී -
‘මෑණියනි, ජීවතී යයි කියමින් ඔබ වනයෙහි වැළපෙන්නෙහිය. උබ්බිරි, ඔබ තමාම අවබෝධ කරගන්න. ඔබට ජීවතීට සමාන වූ නමින් යුත් දියණියෝ අසූසතර දහසක් වූහ. ඒ සියල්ලෝම මේ සොහොනෙහි දවනු ලැබූහ. ඔබ ඒ අයගෙන් කවර දියණියක් උදෙසා වැළපෙන්නෙහිද?
යන ගාථා එකහමාර වදාළහ.
එහි අම්ම ජීවතී - මව සඳහන් කරන දියණිය සඳහා යෙදූ ඇමතුමය. මෙය ඇයගේ වැළපෙන ආකාරය පෙන්වීමකි. වනම්හි කන්දසි - වනමැද වැළපෙයි, අත්තානං අධිගච්ඡ උබ්බිරි - උබ්බිරි, ඔබ ඔබම අවබෝධ කර ගන්න, තත්වාකාරයෙන් දැනගන්න. චූළාසීති සහස්සානි - අසූසතරදහසක්, සබ්බා ජීවසනාමිකා - ඒ සියල්ලෝම ජීවන්තියට සමාන වූ එකම නමක් ඇත්තියෝ වූහ. එතම්හාළාහනෙ දඩ්ඪං - මේ සොහොනෙහි දවනු ලැබූහ. තාසං කමනුසොචසි - ජීවන්ති යන නමින් යුත් එකී සුවාසුදහස අතරෙන් කවර එකියක සඳහා ඔබ, අනුසොචසි - අනුව සෝකයට පැමිණියෙහිද? මෙසේ බුදුන්වහන්සේ ධර්මය දේශනා කළ කල්හි දේශනාව අනුව නුවණ මෙහෙයවා විදසුන අරඹා බුදුන්ගේ දේශනා විලාශයෙනුත් තමාගේ හේතු සම්පත්තියෙනුත් ඒ සිටි අයුරින්ම භාවනාව දියුණුකර මග පිළිවෙළින් අග්රඵලය වූ රහත්බවෙහි පිහිටියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
එකල මම හංසවතී නගරයෙහි බාලිකාවක් වීමි. දිනක් මගේ දෙමවුපියෝ කිසි කටයුත්තක් උදෙසා බැහැර ගියහ.
හිරු අහස මැදට පැමිණෙන වේලෙහි වීථියෙහි යන්නා වූ භික්ෂුවක් දුටිමි. මම උන්වහන්සේ උදෙසා අසුනක් පැනවීමි.
දිගලෝම විශේෂයන්ගෙන් ඒ අසුන පනවා පහන් සිතින් මෙසේ කීවෙමි.
හිරු අහස මැද සිටී, එහෙයින් බිම උණුසුමෙන් තැවී ඇත, සුළඟ ද නොහමයි, සුදුසු කාලය එළඹ ඇත.
මුනිවරය, ඔබවහන්සේ උදෙසා මම මේ අසුන පැනවීමි, මා කෙරෙහි අනුකම්පාකර මේ අසුනෙහි හිදිනු මැනවි.
මැනැවින්, හික්මුණු පිරිසිදු සිත් ඇති ඒ භික්ෂුව අසුනෙහි හිඳගත්තේය. මම උන්වහන්සේගේ පාත්රය ගෙන ලද පරිදි දානය පිළිගැන්වීමි.
ඒ යහපත් ක්රියාවෙන් හා සිත ඒ කෙරෙහි පිහිටුවීමෙන් මිනිස් සිරුර අත්හැර තිදස් දෙව්ලොවට ගියෙමි.
මට එහිදී මනාකොට නිමවුණු අසුනක් ලැබිණ, එය උසින් සැට යොදුනක, පළලින් තිස්යොදුනෙක,
රන්මුවා මිණිමුවා පළිඟුමුවා රත්මිණිමුවා විවිධ ආසන මට එහි පහළවිය,
විවිධ ලෝමවලින් නිමැවුණු මෙට්ට ද, මැණික් ඔබ්බා කරන ලද කොට්ට උරද, එකපැත්තක එල්ලෙන රැලි ඇති වැසුම් ද යන මේවායින් සැදුණු ආසන බොහෝ විය.
කෙළිසෙල්ලම් සඳහා යම් තැනකට යාමට සිතී නම්, ඒ පර්යඞ්කය පිටින්ම සිතූ තැනට යමි.
දෙව්රජුන් අසූවකට මෙහෙසිය වීමි. සක්විත්තන් සැත්තෑ දෙනෙකුට මෙහෙසිකම් කළෙමි.