දන්තිකා ථේරීගාථා වර්ණනාව
දිවා විහාරා නික්‍ඛම්ම - මෙය දන්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී, ඒ ඒ භවයන්හි කළ කුසල් ඇත්තී, බුදුවරයෙකු නැති කාලයක චන්‍දභාගා ගංතෙර කිඳුරු යෝනියෙහි උපන්නාය. ඕ දිනක් කිඳුරන් සමග ක්‍රීඩා කරමින් හැසිරෙන්නී, රුක්මුලක දවල් කාලය ගතකරන එක්තරා පසේබුදුවරයෙකු දුටුවාය. උන්වහන්සේ දැක පැහැදුණු ඕතොමෝ සල්මල් පුදා වැඳ ගියාය. ඈ ඒ පින්කමෙන් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර කොසොල් රජුගේ පෙරෙවි බමුණාගේ ගෙදර උපන්නාය. වයස මුහුකුරා ගිය කල්හි ජේතවනාරාමය පිළිගැනීමේ අවස්ථාවේ දී ලැබුණු සැදැහැයෙන් උපාසිකාවක් වී පසු කලෙක මහා ප්‍රජාපතීගෝතමිය සමීපයෙහි පැවිදි වී රජගහනුවර වෙසෙන්නී, දිනක් දහවල් ආහාරයෙන් පසු ගිජුකුළු පවුවට නැගී දහවල් කාලය ගතකරන්නී, පිටඋඩට නැගීමට ඇතරුවෙකුට පය දික්කරන්නා වූ ඇතෙකු දැක එයම අරමුණක් කොට බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම එකල චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. දිනක් මම පසේ බුදුවරයෙකු දිටිමි.
උන්වහන්සේ කෙරෙහි පැහැදුණු මම සමල් කඩාගෙනවුත් පූජාකළෙමි.
ඒ යහපත් ක්‍රියාව හේතුකොටගෙන ද සිත එහිලා පිහිටුවීම නිසා ද මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
සතියක් දෙව්රජවරුන්ට මෙහෙසිබව කළෙමි. මා යමක් සිතාද ඒ සියල්ල ඉටුවෙයි.
සක්විත්තන් දසදෙනෙකුට මෙහෙසිය වීමි, නොදැමුණු සිත් ඇතිතාක් මම හවයෙහි හැසිරෙමි.
කුසල් රැස්කරගත් පසු මම සසුනෙහි පැවිදිවීමි. අද මම ශාක්‍ය පුත්‍රයන්ගේ සස්නෙහි පූජාවට සුදුසු තැනැත්තියක් වී සිටිමි.
අද පිරිසිදු මනසින් පහකරනලද පාප ධර්‍මයන් ඇත්තේ සියලු අසවු සිඳිණ, මෙයින් මතු මට උපතක් නැත.
[missing trans]
මා විසින් කෙලෙස් දවනලදී -පෙ-බුදුන්ගේ ඔවදන් පිළිපැදීමි.
රහත් බවට පැමිණ තමාගේ පිළිවෙත දැක උපන් සොම්නසින් උදාන වශයෙන්
දිවාවිහාරං නික්‍ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතෙ,
නාගමොගාහමුත්තිණ්ණං නදීතීරම්භි අද්දසං.
පූරිසො අඞ්කුසමාදාය දෙහි පාදන්තියාචති,
නාගො පසාරයී පාදං පුරිසො නාගමාරුහි.
දිස්වා අදන්තංදමිතං මනුස්සානං වසං ගත,
තතො චිත්තං සමාධෙසිං ඛලු තාය වනං ගතා-
දිවාවිහාරය සඳහා ගිජුකුළු පවුවට නැග සිටින අතර ගං ඉවුරෙහි ඇතෙකුගෙන් බැස කෙනෙකු එතෙරවනු මම දිටිමි.
පුරුෂයෙක් අකුස්ස ගෙන පාදය දෙවයි යදියි, ඇතා පය දිගුකළේය, මිනිසා ඇතු පිටට නැංගේය.
අදාන්තයකු දමනය කිරීමෙන් මිනිසුන්ගේ වසඟයට පැමිණ සිටින අයුරු මම දුටුවෙමි. එයින් මගේ සිත එකඟ කරගතිමි. ඒ ක්‍රියාව හේතුකොටගෙනම මම වනයට ගියෙමි.
යන මේ ගාථා ප්‍රකාශ කළාය.
එහි නාගමොගාහමුත්තිණ්ණං - ඇතා ගඟට බස්වා නැවත ගොඩට ගෙන. ‘ඔරුය්හ මුත්තිණ්ණං’ යනුවෙන් තවත් පාඨයක් ද වෙයි. මෙහි ‘ම’ කාරය සන්‍ධි වීමේදී පැමිණි වර්‍ණයකි. නදීතීරම්හි අද්දසං - සප්පිනිකා ගංඉවුරෙහි දිටිමි.
කුමක් කරමින් සිටියදී දැයි පෙන්වීමට කියනලදී ‘පුරිසො’ යනුවෙන්. එහි දෙහි පාදන්ති යාචති - පා දෙවයි යනුවෙන්, පිටට නගිනු පිණිස පාදය දික්කිරීමට සංඥාව දෙයි. පුරුදු පරිදි සංඥාව දීම මෙහි ඉල්ලයි යනුවෙන් කියන ලදී.
දිස්වා අදන්තං දමිතං - ස්වභාවයෙන්ම දමනය කිරීමට දුෂ්කර වූ සතා දැන් ඇතරුවා විසින් හස්ති ශික්‍ෂණ න්‍යායට අනුව හික්මවා ඇත. කවර හික්මීමෙක්ද? මනුස්සානං වසංගතං - මිනිස්සු යම් යම් දෙයක් අණකරත්ද, ඒ ඒ දෙය දැක යනුවෙන් යොදාගත යුතුය. තතො චිත්තං සමාධෙසිං ඛලු තාය වනං ගතා. ඛලූ - අවධාරණර්‍ථයෙහි නිපාතයකි. තතො- ඇතා දැකීමෙන් පසුව, තාය - ඇතාගේ ක්‍රියාව හේතුකොටගෙන, වනං - කැලයට ගොස් සිත එකඟ කරගතිමි. කෙසේද? මේ තිරිසන් සතා පවා ඇතුන් පුහුණුකරවන්නාගේ වචනයෙන් හික්මවා ගනී. මිනිසත් බව ලබාගත් මේ අය පුරුෂයන් හික්මවන තැනැත්තා වශයෙන් බුදුන්ගේ වචනයෙන් නොහික්මෙන්නේ ඇයි? මෙසේ සංවේගයට පැමිණ විදසුන් වඩා අග්‍රාමාර්‍ගසමාධියෙන් මගේ සිත එකඟකරගතිමි. එයින් සහමුලින්ම කෙලෙස් නැසූ බව අභිප්‍රේතාර්ථයයි.
දන්තිකා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
උබ්බරී ථේරීගාථා වර්ණනාව
අම්ම ජීවති - මෙය උබ්බීරි තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී පුදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වයස මුහුකුරා ගිය පසු එක් දිනක් දෙමාපියන් අනෙක් ගෙදරක මඞ්ගලෝත්සවයක් සඳහා ගිය විටෙක ඕ හුදෙකලාවම ගෙදර සිටියාය. ආසන්න වූ වේලාවෙහි බුදුන්ගේ ශ්‍රාවක රහත්නමක් ගෙදොර සමීපයෙන් යනු දැක දනක් දෙනු කැමැත්තී ස්’වාමීනි, මෙහි වැඩමවනු මැනව’යි කියා තෙරුන් ගෙට පිවිසි කල්හි පසඟ පිහිටුවා වැඳ දිග ලෝමාදියෙන් අසුනක් පනවා පිළිගැන්වූවාය. තෙරණුවෝ පැනවූ අසුනෙහි හුන්සේක. ඕ පාත්‍රය ගෙන ආහාර පුරවා තෙරණුවන්ගේ අතෙහි තැබුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියහ. ඕ ඒ පිනින් තව්තිසාවෙහි ඉපිද දිවි ඇති තාක් මහත් සැපසම්පත් විඳ එයින් චුතව දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර ගැහැවිමහසල් කුලයක ඉපදුණාය. උබ්බරී නම් වූ ඕතොමෝ පරම රූපසම්පත්තියෙන් සමන්විත වූවා, දැකුම්කලු පහදවනසුලු තැනැත්තියක් වූවාය. ඈ වැඩිවියට පැමිණි කල්හි කොසොල් රජුගේ මාලිගයට ගෙනෙනු ලැබුවාය. එයින් වසර කිහිපයකට පසු ඕ දියණියක ලැබුවාය. ඇයට ජීවන්ති යන නම භාවිත විය. රජ ඇයගේ දියණිය දැක සින් සතුටු වූයේ උබ්බේරියට අභිෂේකය දුන්නේය. ඇයගේ දියණි තොමෝ දුව ඇවිදින වියේ දී කලුරිය කළාය. ඇයගේ මව ඇය මිහිදන් කළ ස්ථානයට දිනපතා ගොස් වැළපෙයි. ඕ දිනක් බුදුන් වෙත ගොස් වැඳ ටිකවේලාවක් හිඳ පෙරළා ගියාය. එතැනින් අවිරවතී ගංතෙර සිට දියණිය ඇරබ වැළපෙයි. බුදුන්වහන්සේ ඇය දැක ගඳකිළියෙහි හුන්නේම තමා සමීපයෙහි සිටින බව දක්වා ඇය අමතා ‘කුමක් හෙයින් වැළපෙන්නීදැ’යී ඇසූ සේක. ‘ස්වාමීනි, මගේ දියණිය උදෙසා වැළපෙමි.’ මේ සොහොනෙහි දවනු ලැබුවා වූ ඔබේ දියණියෝ සුවාසුදහසක් පමණි, ඔවුනතරෙන් කවරක් උදෙසා වළපිහිදැ’යි අසා ඒ සොහොන්කළ තැන් පෙන්වා-