උත්තමා ථේරීගාථා වර්ණනාව
යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා - මෙය අනෙක් උත්තමා තෙරණියකගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී විපස්සී බුදුන්ගේ කාලයෙහි බන්‍ධුමතී නුවර කුල දාසියක වී උපන්නාය. ඕතොමෝ දිනක් බුදුන්ගේ ශ්‍රාවක රහත් නමක් පිඬුපිණිස යනු දැක පැහැදුණු සිත් ඇත්තී මෝදක (රසගුළා) තුනක් පිදුවාය. ඕ ඒ පින්කමින් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී, මේ බුදුපතෙහි කොසොල්රට එක්තරා බමුණු මහසල් කුලයක ඉපිද කල්යාමේ දී දනව්වල හැසිරෙන බුදුන් වෙතින් බණ අසා හටගත් සැදැහැ ඇත්තී පැවිදිව නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
බන්‍ධුමතී නුවර මම කුම්භ දාසියක් වීමි. මම මගේ කොටස ගෙන වතුර ගෙන ඒමට ගියෙමි.
අතුරතුරමගදී භික්‍ෂුවක් දැක ඔහු කෙරෙහි සිත පැහැදී මෝදක තුන පිදුවෙමි.
ඒ පින්කමේ අනුසසින් සිත පිහිටුවා ගැනීමේ බලයෙන් ද අනූඑක් කපක් පුරා දුගතියක් නොදනිමි.
එදාමෙදා තෙක් මම සියලු සැප අනුභව කළෙමි. මෝදක තුනක් පුදා මම ස්ථිර පදවියට පැමිණියෙමි.
මා විසින් කෙලෙස් දවනලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකෙළෙමි.
රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහිකර බලා උදාන වශයෙන් -
යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා,
භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතං.
සුඤ්ඤතස්සා තිමිත්තස්ස ලාභිනීහං යදිච්ඡකං,
ඔරසා ධීතා බුද්ධස්ස නිබ්බානාභිරතා සදා.
සබ්බෙකාමා සමුච්ඡින්තා යෙ දිබ්බා යෙ ච මානුසා,
වික්‍ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ්භවො.
නිවනට පමුනුවන්නා වූ මාර්ගයන් වන සප්ත බොධ්‍යඞ්ගධර්‍මයෝ බුදුන් දෙසූ අයුරින්ම මා විසින් වඩන ලදහ.
ශුන්‍යතා හා අනිමිත්තකා වසයෙන් සමාපත්තිලාභීව බුදුගේ උරදා දියණියක්ව උන්වහන්සේගේ නිවණෙහි ඇළුණමි.
සියලු දිව්‍ය මනුෂ්‍යකාමයන් සිඳලූයෙමි. සසර නැවැත්වූයෙමි, මෙයින් මතු මතු උපතක් නැත.
යන මේ ගාථා ප්‍රකාශ කළාය.
එහි සුඤ්ඤතස්සානිමිත්තස්ස ලාභිනීහං යදිච්ඡකං - ශුන්‍යතා සමාපත්තියෙන් හා අනිමිත්තතා සමාපත්තියෙන් ද කැමති දෙය ලබන්නී, එහි යමකට සමවැදීමට කැමතිවෙම්ද යම්කලෙක යම්තැනෙක වෙම්ද එකල්හි එහිදී සමවැද වෙසෙමි යනු මෙහි අදහසය. ඉදින් ශුන්‍යත්‍වය පිහිටුවාගෙන මනස වැඩීමෙන් යම්කිසි මාර්ගයක ශුන්‍යතාදි භේදයෙන් යුත් ත්‍රිවිධ ඵලය ලබයිද, මේ තෙරණියෝ ශුන්‍යතා හා අනිමිත්ත යන සමවත් දෙකට පමණක් සමවදියි. එහෙයින් ‘සුඤ්ඤකස්සානිමිත්තස්ස ලාභිතීහං යදිච්ඡකං’ යනුවෙන් කියන ලදී. බහුල වශයෙන් හෝ මෙය කියන ලදි. මෙය හුදෙක් නිදසුන් පමණෙකැයි සමහරෙක් කීහ.
යෙ දිබ්බා යෙ ච මානුසා - දිව්‍යලෝකයට අයත්වූත් මනුෂ්‍ය ලෝකයට අයත්වූත් යම් වස්තු කාමයෝ වෙද්ද, ඒ සියල්ලම ඒ පිළිබඳව වූ ඡන්‍දරාගය ප්‍රහීණ කිරීමෙන් මා විසින් සහමුලින්ම සිඳදමන ලදී. පරිභෝගයට නුසුදුසු කරන ලදී. කියන ලදමැයි, ‘ඇවැත්නි, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව පෙර විසූ ගිහියා මෙන් කම්සුව විඳීම නොයෙදේ’. සෙස්ස යට කියනලද පරිදිමය.
අනෙක් උත්තමා තෙරණියකගේ ගාථා වර්‍ණනාව නිමි.
දන්තිකා ථේරීගාථා වර්ණනාව
දිවා විහාරා නික්‍ඛම්ම - මෙය දන්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී, ඒ ඒ භවයන්හි කළ කුසල් ඇත්තී, බුදුවරයෙකු නැති කාලයක චන්‍දභාගා ගංතෙර කිඳුරු යෝනියෙහි උපන්නාය. ඕ දිනක් කිඳුරන් සමග ක්‍රීඩා කරමින් හැසිරෙන්නී, රුක්මුලක දවල් කාලය ගතකරන එක්තරා පසේබුදුවරයෙකු දුටුවාය. උන්වහන්සේ දැක පැහැදුණු ඕතොමෝ සල්මල් පුදා වැඳ ගියාය. ඈ ඒ පින්කමෙන් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී, මේ බුදුපතෙහි සැවැත්නුවර කොසොල් රජුගේ පෙරෙවි බමුණාගේ ගෙදර උපන්නාය. වයස මුහුකුරා ගිය කල්හි ජේතවනාරාමය පිළිගැනීමේ අවස්ථාවේ දී ලැබුණු සැදැහැයෙන් උපාසිකාවක් වී පසු කලෙක මහා ප්‍රජාපතීගෝතමිය සමීපයෙහි පැවිදි වී රජගහනුවර වෙසෙන්නී, දිනක් දහවල් ආහාරයෙන් පසු ගිජුකුළු පවුවට නැගී දහවල් කාලය ගතකරන්නී, පිටඋඩට නැගීමට ඇතරුවෙකුට පය දික්කරන්නා වූ ඇතෙකු දැක එයම අරමුණක් කොට බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම එකල චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. දිනක් මම පසේ බුදුවරයෙකු දිටිමි.
උන්වහන්සේ කෙරෙහි පැහැදුණු මම සමල් කඩාගෙනවුත් පූජාකළෙමි.
ඒ යහපත් ක්‍රියාව හේතුකොටගෙන ද සිත එහිලා පිහිටුවීම නිසා ද මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
සතියක් දෙව්රජවරුන්ට මෙහෙසිබව කළෙමි. මා යමක් සිතාද ඒ සියල්ල ඉටුවෙයි.
සක්විත්තන් දසදෙනෙකුට මෙහෙසිය වීමි, නොදැමුණු සිත් ඇතිතාක් මම හවයෙහි හැසිරෙමි.
කුසල් රැස්කරගත් පසු මම සසුනෙහි පැවිදිවීමි. අද මම ශාක්‍ය පුත්‍රයන්ගේ සස්නෙහි පූජාවට සුදුසු තැනැත්තියක් වී සිටිමි.
අද පිරිසිදු මනසින් පහකරනලද පාප ධර්‍මයන් ඇත්තේ සියලු අසවු සිඳිණ, මෙයින් මතු මට උපතක් නැත.
[missing trans]