උත්තමා ථේරීගාථා වර්ණනාව
චකුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං - මෙය උත්තමා තෙරණියගේ ගාථාවය. ඕ තොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර එක්තරා කෙළෙඹියෙකුගේ ගෙයි ප්‍රවේණිගත දාසියක වී උපන්නාය. ඕතොමෝ තමාගේ වැඩිමහලු අයට උපස්ථාන කරමින් වෙසෙයි. එකල බන්ධුම රජ පුන්පොහෝදින පෙහෙවස් සමාදන්ව දහවල් දානාදිය දී අහර කිසෙන් පසු බණ අසයි. මහජනයා ද රජුගේ පිළිවෙතට අනුව එසේම පොහෝදින පෙහෙවස් සමාදන්ව වෙසෙති. ඉක්බිති ඔහුගේ දාසියට මෙවැනි අදහසක් ඇතිවිය ‘මෙකල රජතුමා ඇතුළු මහජනයා පෙහෙවස් සමාදන්ව වෙසෙති. මමද පොහෝ දිනවල පෙහෙවස් සමාදන්ව වෙසෙන්නෙම් නම් යෙහෙකි.’ අනතුරුව ඕතොමෝද පිරිසුදු සිල් රැක තව්තිසා දෙවිවරුන් අතර උපන්නී කලින් කල දෙව්ලෝවලම හැසිරෙන්නී මේ බුදුපතෙහි සැවැත්නුවර සිටුකුලයක උපත ලබා දැන හැඳිනගත් පසු පටාචාරා තෙරණිය සමීපයෙහි බණ අසා පැවිදිව බවුන් වඩාත් මෙහෙණිදම මුදුන් පමුණුවා ගැනීමට නොහැකි විය. පටාචාරා ස්ථවිරී තොමෝ ඇයගේ සිත්හසර දැන අවවාද කළාය. ඕතොමෝ ඇයගේ අවවාදයෙහි පිහිටා පිළිසිඹියා සහිත රහත්බවට පැමුණුනාය. එහෙයින් කියන ලද අපදානයෙහි:
බන්ධුමතී නුවර බන්ධුමා නම් ක්ෂත්රියයෙක් විය. හෙතෙම පුණුපසළොස්වක් පොහෝදින සිල් සමාදන් විය.
එකල මම කුම්භදාසියක් වීමි. එදින එහි සිටි රජු සහිත සේනාව දුටු මම මෙසේ සිතුවෙමි:
රජතුමා ද රාජ්‍යය අතහැර පෙහෙවස් සමාදන්වී ඇත. එය සාර්ථකය, ජනතාව කැමැතිය.
නුවණින් මෙනෙහිකර බලා දුක්බර වූ මගේ සිත සොම්නස් කරවා පෙහෙවස් සමාදන්වීමි.
සම්බුදුන් වහන්සේගේ පෙහෙවස් රැක, ඒ පිනෙන් මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
එහි මට යොදුන් ගණන් උස්වූ, සියගණන් කුළුගෙවලින් හෙබි, මහඟු යහන්වලින් යුත් විමන් පහළ විය.
දහස්ගණන් අප්සරාවෝ මා සේවනය කරත්. අනෙක් සියලු දෙවිවරුන් ඉක්මවා මම බෙහෙවින් බබළමි.
සිවුසැටක් දෙව්රජවරුන්ට මෙහෙසිය වීමි. තෙසැටක් සක්විත්තන්ට අගමෙහෙසිය වීමි.
රන්වන් සිරුරු ලබමින් මම සසරෙහි සැරිසරමි. ඒ හැම තැනකදීම මම සෙස්සන්ට උත්තරීතරව වෙසෙමි. පෙහෙවස්හි විපාක මෙවැනිය.
ඇත් අස්, රිය යන මේ සියලු යානවාහන ලබමි. සිල් රැකීමෙහි විපාක මේය.
රන්මුවා රිදිමුවා පලිඟුමුවා භාණ්ඩ ලබමි. පෙහෙවස්හි ඵලවිපාක මෙවැනිය.
කොසෙය්යකම්බිලි කපුපිලි ආදී මහාර්ඝ වස්ත්‍ර ලබමි.
ආහාරපාන ඛාද්යභාද්ය වස්ත්‍ර සේනාසන යන මේ සියලු දෙය ලබමි. පෙහෙවස්හි ඵලවිපාක මේය.
සුවඳමල් වත්සුණු විලවුන් රිසිසේ ලබමි. මේ පෙහෙවස්හි පළවිපාකය. කුළුගෙවල්, ප්‍රාසාද, මණ්ඩප, මහල්ගෙවල්, ගුහා - මේ සියල්ලම ලබමි. මේ පෙහෙවස්හි ඵලවිපාකය.
උපතින් සත්වන වියෙහි මම සසුනෙහි පැවිදිවීමි. අඩමසක්වත් අවසන් වීමට පෙර මම රහත්ඵලයට පැමිණියෙමි-
[missing trans]
මෙයින් අනූඑක් කපකට පෙර යම් සීලයක් රැකියෙම් ද එහි අනුසස් විසින් දුගතියක් නොදනිමි. මේ ඒ සීලයෙහි විපාකය.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ ඔවදන පිළිපැදීමි.
රහත්බවට පැමිණ තමාගේ ඒ පිළිවෙත දැක උදන් විසින්:
චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං,
අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
සා භික්ඛුනිං උපගඤ්ඡිං යා මෙ සද්ධායිකා අහු,
සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
තස්සා ධම්මං සුණිත්වාන යථා මං අනුසායි සා,
සත්තාහං එකපල්ලඞ්කෙ නිසීදිං සුඛසමප්පිතා,
අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය-
සත්තාහං එකපල්ලඞ්කෙ නිසීදිං සුඛසමප්පිතා,
අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය-
සිතේ සමතාව නොලබා සිත වසඟකරගත නොහැක්කී සිවුවරක්, පස්වරක් විහාරයෙන් පිටත්ව ගියෙමි,
මා පැහැදී සිටි එක්තරා භික්ෂුණියක් වෙත මම ගියෙමි. ඕතොමෝ මට ඛන්ධ ධාතු ආයතන වශයෙන් ධර්මය දේශනා කළාය.
ඇයගේ ධර්මයට සවන් දුන් මම දිනසතක් පලඟ බැඳ සුවසේ සිටියෙමි. අටවනදින රෑ පා දික්කෙළෙමි. මම මගේ මොහොඅඳුර නැතිකළෙමි-
යන ගාථා ප්‍රකාශ කළාය.
එහි සා භික්ඛුනිං උපගඤ්ඡිං යා මෙ සද්ධායිකාඅහු - යම්කිසි තැනැත්තියක් මා විසින් ඇදහියයුතු වූවාද යමක් තොමෝ ඇදහිය හැකි වචන කථාකළා ද ඒ භික්ෂුණිය වෙත මම එළඹියෙමි. මෙයින් කියවෙන්නේ පටාචාරා තෙරණිය ගැනය. ‘සා භික්ඛුනී උපගඤ්ඡි, යා මෙ සාධයිකා’ යනුවෙන් ද පාඨයක් පෙනේ. ඒ පටාචාරා භික්ෂුණිය අනුකම්පාවෙන් මා වෙත පැමිණියාය. ඕතොමෝ මගේ අර්ථසාධනයට ආධාරවිය යනු එහි තේරුමය. සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො - ඒ පටාචාරා ස්ථවීරී තොමෝ ‘මේ ස්කන්ධයෝ පස්දෙනය, මේ දොළොස් වැදෑරුම් ආයතනයෝය. මේ අටළොස් ධාතුහුය ආදී වශයෙන් ස්කන්ධයන් විග්රහකර දක්වන්නී මට ධර්මය දේශනා කළාය.
තස්සා ධම්මං සූර්ණත්වාන පිළිසිඹියා ලබා සිටි ඒ තෙරණිය සමීපයෙහි ස්කන්ධ විභාග පූර්වකොට ඇත්තා වූ ආර්යමාර්ගයට පමුණුවා දේශනා කරන ලද සූක්ෂ්ම විදර්ශනා ධර්මය අසා. යථා මං අනුසාසි සා - ඒ තෙරණියෝ යම් අයුරකින් මට අවවාද දුන්නාහුද, එසේ පිළිපදින්නා වූ මම අරමුණ මුදුන් පමුණුවාගෙන ද සත්දිනක් පලක්බැඳ සිටියෙමි. කෙසේද? සුඛසමප්පිකා - ධ්‍යානගත ප්‍රීති සුඛයෙන් සමන්විත වූයෙම්, අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලිය - ශේෂ නොකොට සියලු මොහොඅඳුර අවිද්‍යා අන්ධකාරය අග්රමාර්ගයට එළඹීමෙන් බිඳදමා අටවනදින පර්යඞ්කයෙන් නැගී සිටියෙම් මගේ දෙපා දිගුකළෙමි. මෙයම ඇයගේ අධිගම ප්‍රකාශය විය.