සුභා ථේරීගාථා වර්ණනාව
දහරා අහං යනාදී ගාථා කමුරු දියණියක වූ සුභා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කර ක්‍රමයෙන් වඩන ලද කුසල්මුල් ඇත්තී වඩන ලද නිර්‍වාණගාමී සම්පත් ඇත්තී දෙව්ලෝවලම හැසිරෙමින් පිරිපුන් නුවණ ඇතිව මේ බුදුපතෙහි රජගහ නුවර එක්තරා රන්කරුවෙකුගේ දියණියක වී උපන්නාය. ඇයගේ රූසපුව නිසා ඇයට සුභා යන නම ලැබිණ. ක්‍රමයෙන් දැන ඉගෙනගත් පසු බුදුහු රජගහ නුවරට පිවිසෙන අවස්ථාවෙහි බුදුන් කෙරෙහි හටගත් පැහැදීම ඇත්තී දිනක් බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නාය. ශාස්තෲන් වහන්සේ ඇයගේ ඉඳුරන් මුහුකුරා ගොස් තිබෙන බව දැක අදහසට ගැළපෙන පරිදි සිවුසස් ගැබ්කොට ඇති ධර්‍මයක් දේශනා කළහ. ඕ තොමෝ එකෙණෙහිම දහසක් නයින් හෙබි සෝවාන් පෙලෙහි පිහිටියාය. ඕතොමෝ එයින් මෑත කලෙක ගිහිගෙයි දොස් දැක මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදිව භික්‍ෂුණී ශීලයෙහි පිහිටා මාර්‍ගයෙහි උසස්පල සඳහා භාවනාවෙහි යෙදෙයි. ඇයගේ නෑදැයෝ කලින්කල ඇය වෙත පැමිණ කාමයෙහි පොළඹවමින් බොහෝ ධනධාන්‍ය සම්පත් පෙන්වමින් එහිලා සිත යොදවා ගැනීමට තැත්කරති. ඕ දිනක් තමා වෙත පැමිණි අයට ගිහිගෙවල හා කාමයන්හි ආදීනව දක්වන්නී ‘දහරා අහං’ ආදී ගාථා විසිහතරකින් ධර්‍මයක් කියාදී ඔවුන් නිරපෙක්‍ෂා කර යවා තමා විදසුන්හි යෙදෙන්නී, ඉඳුරන් පිරිසිදු කරන්නී භාවනාව දියුණුකර නොබෝකලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. රහත්බව ලබා මේ ගාථා ප්‍රකාශ කළාය:
පෙර පිරිසිදු ඇඳුමින් යුත් බාලිකාවක්ව සිටි මම බුදුන්ගෙන් යම් ධර්‍මයක් ඇසුවෙම්ද එය මා අප්‍රමාද කරවීමටත් සත්‍යය අවබෝධ කරවීමටත් හේතුවිය.
එයින් පසු මෙම සියලු කාමයන් කෙරෙහි බෙහෙවින් කලකිරුණෙමි. තම සිරුරෙහි භය දැක නික්මයාම කැමැතිවීමි.
නෑසමූහයා, දැසිදස් කම්කරුවන්, මනාව වැඩුණු ගම්කෙත්වත්,
අනල්ප සැපසම්පත් අතහැර ගොස් මම පැවිදිවීමි. මෙසේ සැදැහැයෙන් නික්ම ගොස් මැනවින් දෙසනලද සද්ධර්‍මයෙහි යෙදෙන මම
ඒ සියල්ල නුසුදුසුය. කිසිවක් නොමැති බව ප්‍රාර්ථනා කරමි. යමෙකු රන්රිදී හැර ගොස් නැවත ආපිට පැමිණීම නුසුදුසුය.
රන් හෝ රිදී හෝ සත්‍යාවබෝධය පිණිස හෝ ශාන්තිය පිණිස නොපවතී, මේවා මහණුන්ට නුසුදුසුය, මේවා ආර්‍යධනය නොවේ.
ලෝභකිරීම, ආශාකිරීම, මුළාවීම, කෙලෙස් වැඩීම සැක උපදවනසුලුය, බොහෝ වෙහෙස ගෙනදෙනසුලුය, මෙහි ස්ථිර පැවැත්මක් නැත.
මෙහි ඇලුණාවූ ප්‍රමාදශීලී වූ කිළිටිවූ ජනයා එකිනෙකාට විරුද්ධ වූවාහු බොහෝ කෝලාහල කරගනිති.
වධබන්ධන, අපිරිසිදුවීම, හානිය, ශෝකය හා වැළපීම හා බොහෝ ව්‍යාසනයෝ කාමයන් ඇලුණු පුද්ගලයන් කෙරෙහි දක්නට ලැබෙත්.
මගේ නෑයන් සතුරන් මෙන් මා කාමයන්හි කුමකට යොදවද්ද? කාමයන්හි භය දක්නාවූ මා පැවිද්දක බව දනුව.
රන්රිදීවලින් ආශ්‍රවයන් ක්‍ෂය කළ නොහැකිය. ආශ්‍රවයෝ සතුරෝය, වධකයෝය, කාමයෝය, සපත්නිහුය, හුල්ය.
මගේ මේ ඥාතීන් සතුරන් මෙන් මා කාමයෙහි පොළඹවන්නේ ඇයි? මා මුඩු හිස් ඇති, සඟළ සිවුරු පොරවන මෙහෙණක බව දැනගනුව.
ගෙපිළිවෙළින් ගොස් ලබාගන්නා පිඬු අහර හා පාංසුකූල චීවරය යන මේවා අභිනිෂ්ක්‍රමණය කළ මට සුදුසුය.
දෙව්මිනිස් කම්සුව වූ කලී මහර්ෂීන් විසින් වමාරන ලද දේය. ඔවුහු ක්‍ෂේම භූමියට පැමිණ දුකින් මිදුණෝ වෙති.
නොසැලෙන සුවයට පැමිණියෝ වෙති. ආරක්‍ෂාවක් නොලැබෙන කාමයන් සමග මගේ එකතුවීමක් නැත. ඒ කාමයෝ සතුරෝය, වධකයෝය, ගිනිකඳක් මෙන් දුක් සහිතය.
මෙය උවදුරකි, භීතියකි, විනාශකාරීය, කටුකොහොල් සහිතය, ආශාව ඇතිකරවනසුලුය, විසමය, පලිබෝධ සහිතය, මුසපත්වීමේ දොරටුවය.
අන්තරායදායකය, බිය උපදවනසුලුය, සර්‍පයන්ගේ හිසක් වැනිය, අන්ධ වූ පෘථග්ජන වූ බාලයෝ එයට කැමැති වෙති.