30. තිංසති නිපාතය
ජීවකම්බවනික සුභා ථේරීගාථා වර්ණනාව
තිස්වන නිපාතයෙහි ජීවකම්බවනං රම්මං යනාදී ගාථා ජීවකම්බවනික (ජීවකගේ අඹවනයෙහි වෙසෙන) සුභා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරමින් පිහිටුවන ලද කුසල්මුල් ඇතිව ක්‍රමයෙන් දියුණු කරගනු ලැබූ නිර්‍වාණගාමී කුශල සම්භාරයෙන් යුක්තව මුහුකුරා ගිය නුවණැතිව මේ බුදුපතෙහි රජගහනුවර බමුණු හසල් කුලයක උපන්නාය. ඇයට සුභා යන නම ලැබිණ. ඇයගේ සියලු අඟපසඟ මනහර පැහැයෙන් යුක්තවිය. එහෙයින් සුභා යන නම අන්‍වර්‍ථ විය. බුදුහු සැවතට පිවිසෙන අවස්ථාවෙහි හටගත් ශ්‍රද්ධාව ඇති ඕතොමෝ උපාසිකාවක වී පසු කලෙක සසර පැවැත්ම කෙරෙහි සංවේගය පහළ වී කාමයන්හි ආදීනව දැක නෛශ්ක්‍රම්‍යය ක්‍ෂේම භූමිය වශයෙන් හැඳිනගෙන මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදි වී විදසුන් වඩන්නී දින කිහිපයකින්ම අනාගාමී ඵලයෙහි පිහිටියාය.
ඉක්බිති එක් දිනක රජගහනුවර වැසි එක් තරුණ ධූර්තයෙක් දිවාකාලය ගතකරනු පිණිස ජීවකගේ අඹඋයනට යන ප්‍රථම යෞවනයෙහි සිටියා වූ සුභා දැක ඇය පිළිබඳ සිතක් ඇතිවී මග අවුරා සිට කාමයෙන් ඇරයුම් කළේය. ඕතොමෝ නොයෙක් ආකාරයෙන් ඔහුට කාමයෙහි ආදීනවද තමාගේ පැවිදිවීමේ අභිප්‍රාවද පැහැදිලි කරමින් ධර්‍මය දේශනා කළාය. හෙතෙම ධර්‍මය අසාද ඉවත්ව නොයයි, එහිම ලැගෙයි. තමාගේ වචනය නොපිළිගන්නා වූ ඔහු ඔහුගේ දෙනෙතින් පිටවන අනුරාගයද දැක ‘හොඳයි, ඔහු අගය කරන ඇස’ යයි ඇයගේ එක ඇසක් උපුටා ඔහු වෙත දිගුකළාය. ඉක්බිති ඒ පුරුෂයා බියපත්ව සංවේගය හටගත් හෙයින් එහිදීම පහවූ රාගය ඇතිව තෙරණිය සමාකරවාගෙන පිටත්ව ගියේය. තෙරණියෝ බුදුන් වෙතට ගියහ. බුදුහු දකිත්ම ඇයගේ ඇස පියෙවි ගතියට පත්විය. එයින් බුදුන් කෙරෙහි ඇති වූ සොම්නස මුලු සිරුර පුරා පැතිර සිටියේය. බුදුහු ඇයගේ සිත්හසර හැඳිනගෙන බණ කියා අග්‍රමාර්‍ගය දක්වා කමටහන් දෙසූහ. ඕතොමෝ ප්‍රීතිය යටපත්කර එකෙණෙහිම විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත්බව ලබා පලසුවයෙන් හා නිවන්සුවයෙන් වෙසෙන්නී තමාගේ පිළිවෙත දෙස පෙරළා බලා තමා හා ඒ ධූර්ත පුරුෂයා කියූ ගාථා උදාන වශයෙන් මෙසේ ප්‍රකාශ කළාය.
ජීවකගේ මනහර අඹවනයට යන සුභා භික්‍ෂුණිය දුටු ධූර්රයෙක් ඇයගේ ගමන වැළැක්වීය. සුභා ඔහුට මෙසේ කීවාය:
මගේ මග අවුරාගෙන සිටින ඔබට මා කළ වරද කුමක්ද? මිත්‍රය, පුරුෂයෙකුට භික්‍ෂුණියකගේ සිරුර ස්පර්‍ශ කිරීම නොයෙදෙයි.
මගේ ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි උන්වහන්සේ දෙසූ පිරිසිදු කෙලෙස් රහිත ධර්‍මයෙහි හික්මෙන්නාවූ මා අවුරාගෙන සිටින්නේ ඇයි?
[missing trans]
ඔබ තරුණය, නිකැළැල්ය, පැවිද්දෙන් ඔබට ඇති ඵලය කුමක්ද? කහ සිවුර ඉවත්කර එන්න, සුපිපි වනරොදෙහි කෙළිදෙලෙන් පසුවෙමු.
මිහිරි පවන් හමයි. කුසුම්රෙදෙන් වැසුණු රුක්ගොමුවය. වසත්කල උදාවූවා පමණි, සුවපහස් දෙන කාලගුණයයි, එන්න සුපිරි වනයෙහි අභිරමණය කරමු.
අග පිපුණු මලින් බර ගස්ය, පවනින් සැලෙන ඒ ගස් ගොරවන්නාක් මෙනි. ඔබ හුදෙකලාවම මෙවැනි වනරොදකට පිවිසෙන්නී නම් එයින් ඔබ ලබන විනෝදය කුමක්ද?
ව්‍යාඝ්‍රමෘගාදීන් වෙසෙන මතැතුන් හා ඇතින්නන්ගෙන් කැළඹුණු බිය ගෙනදෙන මේ මහා වනයට ඔබ අනෙකෙකුගේ සහායයක් නොමැතිව තනිවම යනු කැමත්තීද?
රන්මුවා පෙතැලි රුවක් වැනිවූ, චිත්‍රරථා අප්සරාව වැනිවූ අසමසම තැනැත්තිය, විසිතුරු කසී ඇඳුම්වලින් හොබනෙහිය.