20. වීංශතිනිපාතය
අම්බපාලී ථේරීගාථා වර්ණනාව
විසිවන නිපාතයෙහි කාලකා හමරවණ්ණ සාදිසා යනාදී ගාථා අම්බපාලි තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරමින් සිටි බුදුන්ගේ කාලයෙහි සසුනෙහි පැවිදිව උපසම්පදාව ලැබ භික්‍ෂුණි ශික්‍ෂා සමාදන්ව වෙසෙන්නී දිනක් බොහෝ භික්‍ෂුණීන් සමග චෛත්‍යය වැඳ පැදකුණු කරන්නී ඇයට ඉදිරියෙන් යන රහත් තෙරණියක් දැමු කෙලපිඬක් සෑමළුවෙහි වැටිණ. ඕ එය නොදැක ගියාය. ඇයට පසුව යන මොතොමෝ කවර නම් ගණිකාවක් මෙහි කෙලපිඬක් දැමුවාදයි බැණවැදුණාය. ඕතොමෝ භික්‍ෂුණී කාලයෙහි සිල් රකින්නී මවුකුසකින් බිහිවීම පිළිකුල්කර ඕපපාතිකව ඉපදීමෙහි සිත යෙදුවාය. එහෙයින් අවසාන ආත්ම භාවයෙහි විශාලා නුවර රජුගේ උයනෙහි අඹරුකක් මුල ඕපපාතිකව උපන්නාය. ඇය දුටු උයන්පල්ලා ඇය නගරයට ගෙන ගියේය. අඹුරුක්මුල උපන් හෙයින් ඕ අම්බපාලී නමින් පළට වූවාය. රූසපුවෙන් හා පහදවන විලාශාදියෙන් හෙබි ඇය දුටු බොහෝ රජකුමරුවෝ ඇය විවාහ කරගැනීමට කැමැත්තාහු එකිනෙකා කෝලාහල කරගත්හ. ඔවුන්ගේ කලහ සමනය කරනු පිණිස කර්‍ම බලයෙන් මෙහෙයවනු ලැබූ විනිසුරුවෝ සියල්ලන්ටම ඇය අයිති වේවායි ගණිකා තනතුරෙහි පිහිටුවා ලූහ. ඕතොමෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැදැහැ උපදවා තමාගේ උයනෙහි විහාරයක් කරවා බුදුන් පෙරටුකොට භික්‍ෂු සංඝයාට පුජාකර පසුව තමාගේ පුත්වූ විමලකොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා පැවිදිව විදසුන් වඩා තමාගේ සිරුරෙහි ජරාජීර්ණභාවය නිසා හටගත් සංවේගයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යතාව සිහිකරන්නී මේ ගාථා ප්‍රකාශ කළාය.
කලුවන් බමර පැහැයෙන් යුත් අක්බඹරු කෙස්කළඹ දැන් දිරා ගොස් හණ ලණු කැරැල්ලක් වැනිය. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
පෙර මගේ කෙස් කළඹ මලින් හා සුවඳින් පිරුණු කරඬුවකි. දිරාගිය එයින් දැන් හාලොම් ගඳ හමයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
මනාකොට වවන ලද උයනක් වැනිවූ, පනාදැති අගින් හොබවන ලද අග ඇති මගේ කේශකලාපය දැන් දිරීමෙන් තැන්තැන්වල ගැලවී ගොස් ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ,
රන්හුයෙන් සරසනු ලැබූ මනා රැළිවලින් හෙබි ඒ හිස දැන් දිරා යෑමෙන් කිළිටි වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
සිත්තරෙකු විසින් මනාකොට අදිනු ලැබූ රේඛා දෙකක් වැනිවූ මගේ ඒ බැමසඟළ දැන් ජරාවෙන් රැළි ගැසී එල්බෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
කැලුම් විහිදුවන බෙහෙවින් ළගන්නාසුලු නිල්මිණි දෙකක් වැනිවූ ඒ මගේ දිගු නෙත් දෙක දැන් ජරාවෙන් මැඩී ඇත්තේ නොහොබී. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
යෞවනයෙහි සියුම්ව උස්ව පිහිටියා වූ මගේ නාසය ජරාවෙන් කිළිටි වී ඇත්තාක් මෙනි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
මනාකොට නිමවනලද රුවන්මුවා වළලු දෙකක් වැනිවූ මගේ කන්පෙති දෙක දැන් රැළි වැටී එල්බෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
කෙසෙල් ගොබයක පැහැයට සමානවූ මගේ මනහර දත් දෙපෙළ දැන් දිරා ගොස් කැඩී බිඳී කහපැහැය ගැන්වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
මිහිරිකොට කුජනය කරමින් වනරොදෙහි සැරිසරණ කෙවුලියක මෙන් මිහිරි ගී ගැයීමි. දැන් එය කැඩීබිඳී ගොස් ඇති හෙයින් හඬ පැකිළෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
මගේ ග්‍රීවය ඔපමට්ටම් කළ රන්සකක් මෙන් ශෝභාසම්පන්න විය. දැන් එය දිරායාම නිසා බිදී නැමී ගොස් ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
වටමටවූ පොලු දෙකක් වැනි වූ මගේ බාහු යුග්මය එකල පියකරු විය. දැන් එය දිරා ගොස් තිබෙන හෙයින් පැළුණු පළොල් දඬු දෙකක් මෙනි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
රන්වළලුවලින් අලංකාර වූ දෙඅත පෙරකල බැබළෙමින් තිබිණ. ජරාව හේතුකොට ගෙන එය දැන් කැඩීගිය මුල් කැබැල්ලක් වැනිය. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
පෙරදින උඩබලා සිටියා වූ මගේ පුන් පියොවුරු දෙක බෙහෙවින් ළගන්නාසුලු විය. දැන් එය වියළි පෙරහන්කඩයක් මෙන් එල්බෙමින් පවතී, බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
පෙර මගේ සිරුර මටසිලිටි වූ රුවන්කඩක් මෙන් කාන්තිමත් විය. දැන් එය වැකරැළිවලින් සලකුණු වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.