සුන්දරී ථේරීගාථා වර්ණනාව
පෙතානි හොති පුත්තානි ආදී ගාථා සුන්දරී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය්ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කරමින් මෙයින් කල්ප තිස්ඵකකට පෙර වෙස්සභූ බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳින ගැනීමෙන් පසු, එක් දවසක් බුදුන් පිඬුපිණිස වඩිනු දැක පැහැදුණු සිතින් දන් දී පසඟ පිහිටුවා වැඳ සිටියාය. බුදුහු ඇයගේ සිත පැහැදුණු බව දැන අනුමෙවෙනි බණ වදාරා වැඩියහ. ඕතොමෝ ඒ පිනින් තව්තිසාවෙහි ඉපිද එහි ආයු ප්‍රමාණය ගෙවා, දිවසැප විඳ එයින් චුතව එකිනෙක ආත්මයන්හි දෙව්ලෝවලම හැසිරෙන්නී නුවණ මුහුකුරා ගොස් මෙම බුද්ධෝත්පාද කාලයෙහි බරණැස් නුවර සුජාතා නම් බ්‍රාහ්මණයෙකුගේ දියණිය වී උපන්නාය. ඇයගේ රූපසම්පත්තිය නිසා ඇයට සුන්දරී යන නම ව්‍යවහාර විය. වැඩිවියට පැමිණි කල්හි ඇයගේ බාල සොහොයුරා කලුරිය කළේය. ඔහුගේ පුතා පුත්‍ර ශෝකයෙන් මඩනා ලද්දේ ඒ ඒ තන්හි හැසිරෙන්නේ වාසෙට්ඨි තෙරණිය හමුව ශෝකය තුනීකරගත හැකි ක්‍රමය විමසුවේය. ‘එයට පිළිතුරු වශයෙන් තෙරණියෝ ‘පෙතානි හොති පුත්තානී’ යන ගාථා දෙක ප්‍රකාශ කළහ. ඔහු ශෝකයෙන් පෙළෙමින් සිටිනු දැක ඒ ශෝකය තුනීකරනු කැමැත්තී ‘බහුනි මෙ පුත්තසතානි’ යන ගාථා දෙක කියා තමා ශෝක නොවන බව කීහ. ඕතොමෝ ඔහුට ත්‍රිවිධ රත්නයෙහි ගුණද පැවසුවාය.
ඉක්බිති බමුණා දැන් ශාස්තෲහු කොතැනෙක වෙසෙද්දැයි අසා මිථිලා නුවර වෙසෙන බව අසා එකෙණෙහිම රියට නැගී මිථිලාවට ගොස් බුදුන් වෙත එළඹ වැඳ සුහද කථාවක් කර එකත්පසෙක හිඳගත්තේය. බුදුහු ඔහුට දහමක් දෙසූහ. හෙතෙම බණ අසා සැදහැය ලබා පැවිදි විදසුන් වඩා වෑයම් කරන්නේ තෙවන දින රහත් බවට පැමිණියේය. අනතුරුව රියැදුරා බරණැස් නුවරට රිය ගෙනගොස් බැමිණියට එපුවත සැලකළේය. සුන්දරිය තම පියා පැවිදි වූ බව අසා ඇයද මහණවීමට කැමැත්තී මවුගෙන් අවසර ඉල්වූවාය. ‘මේ පවුලට අයත් සියලු දායාද පිළිගනුව, සියලු භවභෝග සම්පත් අනුභව කරව, පැවිදි නොවෙනු’ යනුවෙන් ඕ කීවාය. පැවිදි වීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඕතොමෝ එකී භවභෝග සම්පත්වලින් වැඩක් නැතැයි කියා මවගේ අනුමැතිය ලබාගෙන ඒසා විශාල සැපසම්පත් කෙළපිඬක් මෙන් අතහැර ගොස් පැවිදි වූවාය. පැවිදි වී ශික්ෂා පුහුණුවන්නීම විදසුන් වඩා උත්සාහ කරන්නී හේතුසම්පත් ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් තිබුණු බැවින් ද පිළිසිඹියා සහිත රහත්බව ලබාගත්තාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
පිඬුපිණිස වඩනා වෙස්සභූ බුදුන්ට හැන්දක් පමණ ආහාර එකල මම පිදුවෙමි.
ඒ දානය පිළිගත්තාවූ වෙස්සභූ බුදුහු වීථියෙහි සිටියේ මට අනුමෙවෙනි දහමක් දෙසූහ.
හැන්දක් පමණ දන්දී මම තව්තිසාවට ගියෙමි. දෙව්රදවරුන් තිස්හය දෙනෙකුට අගමෙහෙසිකම් කළෙමි.
සක්විති රජවරුන් පණස්දෙනෙකුට අගමෙහෙසිය වීමි. මා මනසින් පැතු හැම දෙයක්ම ලැබිණ.
‘සැප අනුභව කොට කිසිවක් නොමැතිව පැවිදි වන්නෙහිය, සියලු අසවු දුරුකර අසවුවලින් තොරවූ නිවණට පැමිණෙන්නෙහිය’
ලෝකනායක වූ වෙස්සභූ බුදුහු මෙසේ දෙසා හංසරාජයෙක් අහසට නගින්නාක් මෙන් අහසට නැංගාහ.
මා දුන් දානය මනාකොට දෙන ලද්දකි. මගේ යාගය මැනැවින් යැදි එකකි. හැන්දක් පමණ දන් දී මම නිවන්සුවය ලැබුවෙමි.
මෙයින් කල්ප තිස්එකකට පෙර මම යම් දානයක් දුනිම්ද එහි ඵල විසින් මම දුගතියක් නොහඳුනමි. මේ දානයෙහි ප්‍රතිඵලය,
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
රහත්ඵලයට පැමිණ පලසුවයෙන් හා නිවන්සුවයෙන් වෙසෙන්නී පසු කලෙක බුදුන් ඉදිරිපිට සිංහ නාදය කරන්නෙමැයි උපාධ්යායයාගෙන් අවසර ගෙන බරණැස් නුවරින් නික්ම බොහෝ භික්ෂුණීන් සමග ක්‍රමයෙන් සැවතට ගොස් බුදුන් හමුවට එළඹ වැඳ එකත්පස්ව සිටියා, බුදුන් සමඟ කරනලද පිළිසඳරින් පසු බුදුන්ගේ දියණියක බව සැලකීමෙන් අනෙකක් ප්‍රකාශ කළාය. ඉක්බිති ඇයගේ මව පෙරටුකොට ඇති සියලු ඥාති සමුහයාද පිරිවරජනයාද පැවිදිවූහ. ඕතොමෝ පසු කලෙක තමාගේ පෙර පිළිවෙත බලාපියා පැවසු ගාථාව මුල්කර ගනිමින් උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය.
පිනැත්තිය, ඔබ පෙර මළ පුතුන් නමින් දිවාරෑ දෙක්හි බොහෝ කලක් තැවුණෙහිය.
ඕතොමෝ අද සියගණන් පුතුන් කා. වාසෙට්ඨි, කවර කාරණයකින් දැඩි ලෙස නොතැවෙන්නෙහිද?
බොහෝ සියගණන් පුත්තුද, සියගණන් ඤාති සමූහයාද, අතීත භාවයන්හිදි කන ලදහ. බ්‍රාහ්මණය, මා හා ඔබ විසින්
ජාති හා මරණ දෙකේ පිහිටක් නැති බව දැනගෙන ශෝක නොකරමි. නොහඬමි. නොතැවෙමි.
වාසෙට්ඨි, ඔබ කියන මේ වචනය අද්භූත ජනකය. ඔබ කවරෙකුගේ දහමක් ඉගෙන මෙසේ කියන්නෙහිද?
බ්‍රාහ්මණය, බුදුහු මිථිලා නගරයෙහි සියලු දුක් දුරුකිරීම පිණිස සත්ත්වයන්ට ධර්මය දේශනා කරති.