චාපා ථේරීගාථා වර්ණනාව
ලට්ඨිභත්ථො පුරෙ ආසිං යනාදී ගාථා චාපා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් ක්රමයෙන් රැස්කරනලද කුසල්මුල් ද ලබාගත් නිර්වාණගාමී පුණ්යසම්භාරයෙන් අනූනව මේ බුදුපතෙහි වංගහාර ජනපදයෙහි එක්තරා මුව වැදිගමක දෙටු මුවවැද්දාගේ දියණියක වී උපන්නාය. චාපා යනු ඇයගේ නම විය. එසමයෙහි ධර්මචක්රය පැවැත්වීමට බෝධිය වෙතින් නික්ම බරණැසට යන බුදුන්වහන්සේ මුණගැසුණු උපක ආජීවකයා ‘ඇවැත්නි, ඔබගේ ඉඳුරන් සුපසන්ය, සිරුරෙහි පැහැය පිරිසුදුය, නිකැළැල්ය, ඔබ කවරෙකු උදෙසා පැවිදිවීද, ඔබගේ ගුරුවරයා කවුද? ඔබ කවරෙකුගේ දහමක් කැමතිවෙහි’ද යනුවෙන් ඇසූවිට බුදුහු මෙසේ පිළිතුරු දුන්හ.
‘සියලු කෙලෙස් මැඩපැවැත්වූ මම සියල්ල දන්නෙක් වෙමි. කිසිම දෙයක් කෙරෙහි නොඇලෙමින්, සියල්ල අත්හැර, තෘෂ්ණාවෙන් මිදී, තමා විසින්ම අවබෝධකරගත් ධර්මය ඇති මම කවරෙකු නිර්දේශ කරම්ද?
මට ගුරුවරයෙක් නැත, මට සමාන කෙනෙක්ද නැත, දෙවියන් සහිත ලෝකයෙහි මට සමවන කිසිම පුද්ගලෙයක් නැත.
මම ලෙව්හි රහත් කෙනෙක්මි, උතුම් ගුරුවරයෙක්මි, සම්මා සම්බුදුවරයෙක් වෙමි. නිවන් සිසිලස ලැබුවෙක් වෙමි.
ධර්මචක්රය පැවැත්වීම පිණිස කාසිපුරයට යමි. අන්ධ වූ මේ ලෝකයෙහි දහම්බෙරය ගසමි.’
තමා සවුනේ දත් බවද දම්සක් පැවැත්වීමද බුදුහු දැන්වූ කල්හි පැහැදුණාවූ හෙතෙම ‘ඇවැත්නි, රහතෙක් වේවා, අනන්ත ජිනවේවා’යි කියා අනෙක් මාර්ගයකට පිවිසියේ වංගහාර ජනපදයට ගියේය. හෙතෙම එහි එක්තරා මුවවැදි ගමක් ඇසුරුකොට වාසය කළේය. එහිදී දෙටුමුවවැද්දා ද ඔහුට සත්කාර කළේය. හෙතෙම දිනක් මුවදඩයම් සඳහා ඈත පෙදෙසෙකට යන්නේ ‘මගේ රහතන් වහන්සේ කෙරෙහි ප්රමාද නොවව’ යනුවෙන් දියණියට අණකර පුතුන් හා සොහොයුරන් සමග පිටත්ව ගියේය. ඔහුගේ දියණිය ශෝභාසම්පන්න දර්ශනීය තැනැත්තියක් වූවාය.
ඉක්බිති උපක ආජීවකයා පිඬුසිඟා යන වේලාවෙහි මුව වැද්දාගේ ගෙදරට ගියේ ඔහු වැළඳවීමට සමීපයට පැමිණි චාපා දැක රාගයෙන් මැඩුණෙ වැළඳීමට පවා නොහැකි වූයේ බඳුනෙන් බත් ගෙන වසන තැනට ගොස් බත් පැත්තක තබා ‘ඉදින් චාපා ලබන්නෙම් නම් ජීවත් වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි’යි අදිටන්කොට අහර නොගෙනම, නිදාගත්තේය. සත්වන දින පෙරළා පැමිණි මුවවැද්දා දියණිය අමතා තම රහතන් කෙරෙහි සැලකිලිමත් වීදැයි ඇසුවේය. ඔහු එක දවසක් පමණක් පැමිණ ඉන්පසු නොපැමිණි බව කීවාය. මුවවැද්දා ද එකෙණෙහිම ඔහු වසන තැනට ගොස් ඔහුගේ පා පිරිමදිමින් ඔහුට කිසියම් අපහසුවක්දැයි විමසුවේය. උපකතෙමේ කෙඳිරිගාමින් ඒ අතට මේ අතට පෙරළෙන්නේමය. තමාට කළහැකි දෙයක් වේ නම් ඒ සියල්ලක්ම නොපිරිහෙළා කරන බව පවසා අපහසුව කුමක්දැයි දන්වන ලෙස අයැද සිටියේය. උපක තෙමේ එක් උපායයකින් තම අදහස දැන්වීය. වැද්ද, ඔහු යම්කිසි ශිල්පයක් දන්නේදැයි උපකගෙන් ඇසීය. එවැනි කිසිවක් තමා නොදන්නා බව හේ කීය. කිසි ශිල්පයක් නොදැන ගිහිගෙයි විසීමට නොහැකි බව වැද්දා කීය. එසේ නම් ඔහු වැද්දාගේ මස් ගෙනෙන්නෙකු ද මස් විකුණන්නෙකු ද වියහැකිබව උපක කීවේය. වැද්දා ද කැමැත්තේ එවැනි දෙයක්ම යයි කියා උතුරුසළුව ඔහුට දී කිහිප දිනක් තමාගේ යහලුවෙකුගේ ගෙදරක නවත්වා සුදුසු දිනයක ගෙදරට කැඳවාගෙන අවුත් දියණිය පාවාදුන්නේය.
ඉක්බිති කල්යත්ම ඔවුන්ගේ සංවාසයෙන් පුතෙක් උපන්නේය. ඔවුහු ඔහුට සුභද්ද යන නම තැබූහ. ඔහු අඬන කල්හි චාපා ‘උපකගේ පුත, ආජීවකයාගේ පුත, මස් අදින්නාගේ පුත, නොහඬන්න, නොහඬන්න?’ ආදී නැලවිලි ගීයකින් උපක හෙළාදකියි. හෙතෙම ‘චාපා, තී මා අනාථයෙකැයි නොසිතන්න, මට අනන්තජින නම් යහලුවෙක් ඇත, මම ඔහු වෙත යන්නෙමි’යි කීවේය. ඕතොමෝ ද එයින් ඔහු කලකිරෙන්නේ යයි සිතා එයම නැවත කියන්නීමය. හෙතෙම එක දවසක ඇය එසේ කී කල්හි කිපී නික්ම යන්ට සුදානම් විය. එවිට ඇය ඒ මේ දෙය කියමින් ඔහු සැනසීමට තැත්කළ නමුදු ඒ සැනසීම නොසලකමින් බටහිර දෙස බලා නික්මුණේය.