රෝහිණී ථේරීගාථා වර්ණනාව
සමණාසි හොති ත්වං සයසි ආදී ගාථා රෝහිණී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ භවයන්හි කුසල් රැස්කරමින් මෙයින් කල්ප අනූඑකකට පෙර පහළ වූ විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳින ගැනීමෙන් පසු එක් දවසක් බන්ධුමතී නගරයෙහි පිඬු පිණිස වඩින බුදුන් දැක පාත්‍රය (පුරවා) බුදුන්ට පූජා කොට සොම්නසට පැමිණ පසඟ පිහිටුවා වැන්දාය. ඒතොමෝ ඒ පින්කමේ අනුසසින් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී රැස්කරනලද කුසල් ඇතිව මේ බුදුපතෙහි විසාලා නුවර ධන සම්පත්තියෙන් ආඪ්‍ය වූ බ්‍රාහ්මණයෙකුගේ ගෙදර උපත ලබා රෝහිණී යන නම ලැබ කලෙකට පසු ශාස්තෲන් වහන්සේ විශාලා නුවර වැඩසිටි අවස්ථාවක විහාරයට ගොස් බණ අසා සෝවාන් ඵලයට පැමිණ දෙමවුපියන්ට බණ කියා සසුනෙහි පැහැදී මවුපියන්ගේ අනුමැතිය ලබා තමාම පැවිදිවී විදසුන් වඩන්නී නොබෝ කලකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
විපස්සි බුදුන්වහන්සේ බන්ධුමතී නුවර පිඬු පිණිස හැසිරෙන විට මම උන්වහන්සේට කැවුම් පිළිගැන්වීමි.
ඒ පින්කමේ හා චේතනාවෙහි යහපත්බවෙන් එහිලා සිත පැහැදීමෙන් මම තව්තිසාවට ගියෙමි.
දෙව්රදවරුන් තිස්හයදෙනෙකුගේ මෙහෙසිය විමි. සක්විති රජවරුන් පණස්දෙනෙකුගේ අගමෙහෙසිය වීමි.
මා මනසින් පැතු හැම දෙයක්ම ඉටුවිය. දෙව්මිනිස් ලෝකවල සියලු සැප විඳ අවසාන ආත්මභාවය පැමිණි කල්හි බමුණු කුලයක උපත ලැබූ මම නෑදයන් විසින් රෝහිණී යන නමින් අමතනු ලැබීමි.
භික්ෂුණීන් වෙත ගොස් තත්වාකාරයෙන් ධර්මය අසා සසරෙහි කලකිරී සසුනෙහි පැවිදිවීම,
නුවණින් මෙනෙහි කිරීමෙන් රහත් බවට පැමිණියෙමි. මෙයින් කල්ප අනුඑකකට පෙර මම යම් දානයක් දුනිම්ද, ඒ කැවුම් දානයෙහි ප්‍රතිඵල වශයෙන් මම දුගතියක් ගැන නොදනිමි.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
රහත්බව ලබාගත් පසු තමාගේ පිළිවෙත පෙරළා බලන්නී පෙර ආත්මයකදී සෝවාන් ඵලයට පැමිණි කල පියා හා තමා අතර ඇති වූ වදන්පිළිවදන් ඇතුළත්වූ ගාථා පසුව උදාන වශයෙන් ප්‍රකාශ කරන්නී මේ ගාථා කීවාය.
පිනැත්තිය, ඔබ නින්දට යනවිට හා අවදිවනවිට ද ශ්‍රමණ යනුවෙන් කියයි. නිතරම ශ්‍රමණ යන්නම කියයි, ඔබ ඒකාන්තයෙන්ම මතු මෙහෙණක් වන්නෙහිය.
බොහෝ ආහාරපාන භික්ෂූන්ට දෙන්නෙහිය. රෝහිණී මම දැන් ඔබෙන් මෙය අසමි: ‘ඔබ භික්ෂූන් මෙතරම් ප්‍රියකරන්නේ ඇයි?’
කිසි වැඩක් කිරීමට නොකැමැති, අලසවූ අනුන් දෙන දෙයින් ජීවත්වන බලාපොරොත්තු සහිත වූ මිහිරි දේ කැමැති මහණන් ඔබ මෙතරම් ප්‍රියකරන්නේ ඇයි?
පියාණෙනි, ඔබ බොහෝ කලකින් භික්ෂූන් ගැන විමසන්නෙහිය. ප්‍රඥාවෙන් හා ශීලයෙන් සමන්විත උන්වහන්සේලා ගැන මම කියා දෙන්නෙමි.
ඔවුහු වැඩි කැමැත්තෝය, අනලස්ය, ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන්නෝය, රාගය හා ද්වේශය දුරුකරති. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.
පවිත්‍ර ක්‍රියා කරන්නාවූ ඔවුහු තෙවැදෑරුම් පව්මුල් දුරුකරති. සියලු පාපයන් ප්‍රහීණ කරති, එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.
මුන්වහන්සේලාගේ කායකර්ම පිරිසිදුය, වචීකර්ම ද එසේමය, මනෝකර්ම ද පිරිසිදුය, එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.