චන්‍දන ස්ථවිරගාථා වර්ණනාව
“ජාතරූපෙන” යනු ආයුෂ්මත් චන්දන තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස්කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර දී බුද්ධ ශූන්‍ය වූ ලෝකයෙහි රුක් දෙවියෙක්ව උපන්හ. සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ එක් පර්වත පාදයක වෙසෙනු දැක, පහන් සිත් ඇතිවූ ඒ දෙවියා උන්වහන්සේට කෙළින්ද මලින් පූජා කළේය. ඒ පින්කමේ බලයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර මහ සම්පත් ඇති පවුලක ඉපිද චන්දන නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් චන්දන කුමරු ගිහිගේ වසමින්ම ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කොට සෝවාන් ඵලයෙහි පිහිටියේය. එක් පුතෙකු ලැබුණු පසු ගිහිගෙයින් නික්ම පැවිදි වූ ඔහු විදසුන් කමටහනෙහි සිත පිහිටුවා අරණ්‍යයෙහි විසීය. දිනක් ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැවැත් නුවරට පැමිණි චන්ද තෙරණුවෝ සුසාන භූමියේ විසූහ. උන්වහන්සේ එහි වෙසෙන බව දැනගත් පැරණි (ගිහි කල) භාර්යාව තම එකම පුතු ද රැගෙන ඉතා අලංකාරව සැරසී මහත් පිරිවරින්, “මොහු ස්ත්‍රී මායම්වලින් රවටාගෙන සිවුරු හරවා ගන්නෙමි”යි තෙරුන් සමීපයට පැමිණියාය. තෙරණුවෝ ඇයගේ පැමිණීම දුරදීම දැක “දැන් මැයට වසඟ නොවන්නෙක් වන්නෙමි”යි උත්සාහවත්ව විදසුනෙහි සිත පිහිට වූ සේක් රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“හිමවතට නුදුරෙහි වසල නම් පර්වතයක් ඇත. සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ එහි පර්වත අතුරෙහි විසීය.
හිමවතේ හටගත් මල් ගෙන අහසින් යන මම කෙලෙස් දූවිලි නැති ඕඝයන් තරණය කළ ආශ්‍රව විරහිත බුදුරදුන් දුටුවෙමි.
එකල මම කෙළින්ද මල් හිසෙහි තබාගෙන මම ම සියල්ල බුදුරදුන්ට පිදුවෙමි.
මීට කල්ප තිස් එකකට පෙර සියල්ල තමාම අවබෝධ කළ, මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේට යම් මල් පූජාවක් කළෙම්ද ඒ බුදුපුදෙහි විපාක ලෙස මම දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ අහසේ සිට ඇයට දහම් දෙසා සරණ සිල්හි පිහිටුවා, තමන් වහන්සේ පෙර විසූ තැනටම ගියහ. එහි විසූ සහායක භික්‍ෂූහු “ඇවැත්නි! නුඹගේ ඉන්‍ද්‍රියයෝ ප්‍රසන්නයහ. කිම නුඹ විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සේක් ද?”යි විචාළහ. එවිට චන්දන තෙරණුවෝ -
“ජාතරූපෙන පච්ඡන්නා දාසී ගණ පුරක්ඛතා,
අංකෙන පුත්තං ආදාය භරියා මං උපාගමී”
“තංච දිස්වාන ආයන්තිං සකපුත්තස්ස මාතරං,
අලංකතං සුවසනං මච්චපාසංව ඔඩ්ඩිතං”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහූ, නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්ම සුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”
යන ගාථා සතරින් තම පිළිවෙත් මඟ පහදමින් සිය රහත්භාවය ප්‍රකාශ කළ සේක.
එහි “ජාතරූපෙන පච්ඡන්නා” රන්රිදී වලින් කළ හිස, ගෙල ආදියේ පළඳින අලංකාර වූ ආභරණයන්ගෙන් වැසුණු ශරීර ඇති, සර්වාභරණවලින් සැරසුණු. “දාසී ගණපූරක්ඛතා” ඉතා සුදුසු සේ අලංකාරව සැරසුණු සිය දාසී සමූහයා විසින් පෙරටු කරගත් දාසී සමූහයා පිරිවරාගත් “අංකෙන පුත්තං ආදාය” මොහු පුතු දැකවත් ගිහිගේ වාසයට නැවත එනු ඇත” යන හැඟීමෙන් පුතු තම ඇකයේ රුවාගෙන,
“ආයන්තිං” එන්නාවූ. “සකපුත්තස්ස මාතරං” මගේ එකම ඖරස පුත්‍රයාගේ මව වූ, මගේ ගිහිකල භාර්යාව යන අර්ථයයි. මෙම ගාථා දෙකින්ම තෙරුන් වහන්සේ සිය කාමරාගය මුලිනුපුටා දැමූ බව කියැවේ. “යොනිසො උදපජ්ජථ” ඒ ස්ත්‍රියගේ ස්වරූපය දුටු මට නුවණැස පහළ විය. මෙබඳු සම්පත්තියෙන් අනූන මේ ස්ත්‍රීහුද ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වෙති. අහෝ! ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. එහි ආශ්වාදයක් සැනසීමක් නොමැත. මෙසේ නුවණින් විමසා බැලීමෙන් යථාර්ථය අවබෝධ විය. ඉතිරි පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ ලෙසම දත යුතුයි.
චන්දන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ධම්මික ස්ථවිරගාථා වර්ණනාව
“ධම්මො හවෙ” යනු ආයුෂ්මත් ධම්මික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් කෙරෙහි තැබූ ප්‍රාර්ථනා මහිම ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් “සිඛි” නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ මුව වැද්දෙක්ව උපන්හ. දිනක් ශාස්තෲන් වහන්සේ ආරණ්‍යයේ වෙසෙමින් දෙව්පිරිසකට දහම් දෙසනු දුටු මේ වැදි පුරුෂයා “මෙතෙම ධර්ම දේශනා කරන්නේය” යනුවෙන් දහම් දෙසුම පිළිබඳව සිත පහදවා ගත්තේය. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව්-මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද ධම්මික නමින් ප්‍රකටව වැඩිවියට පත්විය. අප තථාගතයන් වහන්සේ ජේතවනාරාමය පිළිගත් උත්සවශ්‍රීය දැකීමෙන් පහන් සිත් ඇතිව ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ ඔහු එක්තරා ග්‍රාමවාසියෙකුව ගමක වූ ආවාසයක විසීය. ධම්මික හිමියන් ආගන්තුක භික්‍ෂූන්ගේ වතාවත් කිරීමෙහි දොස් පවසමින් උන්වහන්සේලාට බණිමින් කල් යැවූ නිසා ඒ භික්‍ෂූහු විහාරය හැර දමා ගියහ. උන්වහන්සේ තනිවම එහි විසූහ. විහාරය කරවා දුන් උපාසකයා එකරුණ අසා භාග්‍යවතුන් වහන්සේට එපුවත දැන්වීය. ශාස්තෲන් වහන්සේ ධම්මික හිමියන් කැඳවා, මෙය සත්‍යද?යි විමසූහ. “එසේය ස්වාමීනි!යි වරද පිළිගත් කල්හි තථාගතයෝ, “මොහු අනුන්ට දොස් කියන්නෙකු වූයේ දැන් පමණක් නොව පෙරත් එසේම වීය”යි වදාරා භික්‍ෂූන්ගේ ඇරයුම අනුව රුක්ඛධම්ම ජාතකය දේශනා කළ සේක්. ධම්මික හිමියන්ට අවවාද කරමින් මේ සතර ගාථා වදාළහ.