4. චතුක්ක නිපාතය
නාගසමාල ස්ථවිරගාථා වර්ණනාව
“අලංකතා” යනාදී ගාථා සතර ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ඔහු දිනක් ග්‍රීෂ්ම සමයේ සූර්ය තාපයේ තැවුණු බිම වැඩම කරන ශාස්තෲන් වහන්සේ දැක පහන් වූ සිතින් කුඩයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේදී ශාක්‍ය රජ කුලයේ ඉපිද නාගසමාල නමින් ප්‍රකට විය. වැඩිවියට පත් වූ එකුමරු කිඹුල්වත් පුරට වැඩම වූ බුදුරදුන්ගේ ඤාති සමාගමයෙහි දී ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව මද කලක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා ලෙස ද කටයුතු කළේය. නාගසමාල තෙරණුවෝ දිනක් පිඬුපිණිස නගරයට පිවිසි සේක්, අලංකාරව සැරසුණු එක් නිළියක් මහා මාර්ගයේ තූර්යවාදන පවත්වන විට නටනු දුටු සේක. ඒ දැක, “මේ සිතේ ක්‍රියාව අනුව වායෝ ධාතුවේ මෙහෙයවීමෙන් මැගේ සිවුමහා භූතමය කය ඒ මේ අත පෙරැළේ. අහෝ සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ”යි ක්‍ෂයවීම - වැයවීම පිළිබඳව සිහිපත් කරමින් විදසුනෙහි සිත පිහිට වූ උන්වහන්සේ රහත් බවට පත්වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පොළව අඟුරු මෙන් විය. මිහිකත උණු අළු සහිත විය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි සක්මන් කළ සේක.
කුඩයක් ගත් මම එකල මඟට පිවිසියෙමි. අතරමඟදී බුදුරජාණන් වහන්සේ දැක සතුටට සත් වූ මම, භූමිය මිරිඟුවෙන් වැසුණේය. මේ පොළොව රත් වූ අඟුරු මෙනි. ශරීරයේ ප්‍රාණය නසන මහ සුළං හමන්නේය. ශීතල හා උණුසුම නසන, වාතය හා අව්ව වළකන මේ ඡත්‍රය පිළිගනු මැනවි. ඒ හේතුවෙන් මම නිවන් දකින්නෙමි”යි පවසා බුදුරදුන්ට කුඩය පිළිගැන්වූයෙමි.
එකල අනුකම්පා සිත් ඇති කාරුණික වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණෝ මාගේ අදහස දැන, එය පිළිගත් සේක.
කල්ප තිහක් පුරා ශක්‍ර දේවේන්ද්‍රව දෙව්රජය කරවූ මම පන්සිය වාරයක් සක්විති රජව උපන්නෙමි.
මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් පමණ කළ නොහැක. පෙර ම විසින්ම කළ මනා වූ පින්කමේ විපාක අනුභව කරමි.
මේ මාගේ අවසන් ආත්ම භාවයයි. අවසන් සිරුර දරණ මාහට සැමකල්හිම සේසතක් ඇරෙයි.
මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් ඡත්‍ර දානයක් පැවැත්වූයෙම් ද ඒ හේතුවෙන් මේ දක්වාම දුගතියක නො ගියෙමි. ඡත්‍ර දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් නාගසමාල තෙරණුවෝ සිය පිළිවෙත් මග ප්‍රකාශ කිරීම් වශයෙන් රහත් බව විවරණය කරමින් මේ ගාථා සතර වදාළහ.
“අලංකතා සුවසනා මාලිනී චන්‍දනුස්සදා,
මජ්ඣෙ මහාපථෙ නාරී තුරියෙ නච්චති නට්ටකී”
“පිණ්ඩිකාය පවිට්ඨොහං ගච්ඡන්තො නං උදක්ඛිසං,
අලංකතං සුවසනං මච්චුපාසං ව ඔඩ්ඩිතං”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්ම සුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
එහි “අලංකතා” යනු අත්පා අබරණවලින් අලංකාර වූ ශරීරාවයව ඇති, “සුවසනා” යහපත් වස්ත්‍ර ඇඳි, ශෝභන මනස්කාන්ත ඇඳුමින් සැරසුණු. “මාලිනී” මල් දම් පැළඳි, මල් දමින් සැරසුණු. “චන්‍දනුස්සදා” සඳුන් ආලේප කරගත් සිරුරු ඇතිව, “මජ්ඣෙ මහපථෙ නාරී තුරියෙ නච්චති නට්ටකී” නලඟනක්, නිළියක් මාවත මැද හිඳ පසඟතුරු නද පවත්වන කල්හි නටන්නීය. පටන්ගත් මොහොතේ සිටම නටයි.
“පිණ්ඩිකාය” පිඬු පිණිස “පවිට්ඨො” නුවරට පිවිසියෙමි. “ගච්ඡන්තො නං උදික්ඛිසං” නුවර වීථියෙහි පිඬු සිඟා ගිය මම උපද්‍රව වළකා ගැනීම සඳහා පාර දෙස බැලුවෙම්, ඒ නිළිය දුටුවෙමි. කුමක් මෙන් ද? “මච්චුපාසංව ඔඩ්ඩිතං” මාරයාගේ, මෘත්‍යුරාජයාගේ උගුලක් මෙන්. රූපාදී අරමුණු උගුලක් මෙන් ලොව සැරිසරන සත්ත්‍වයන්ට ඒකාන්තයෙන්ම අයහපත සලසයි. ඒ නිළිය ද අනුවණ පුහුදුන් අන්ධ පුද්ගලයන්ට ඒකාන්තයෙන්ම අයහපත, අනර්ථය කැඳවන නිත්‍ය මාරපාශයක් හා සමානය.
“තතො” එසේ මාර උගුලක් බඳු වූ හෙයින්. “මෙ” යනු මාහට. “මනසිකාරො යොනිසො උදපජ්ජථ” මේ ඇට සැකිල්ල නහරවලින් සම්බන්ධ වූයේ, මසින් තවරන ලද්දේ-පිරුණේ, සමින් වැසුනේය. මේ සිරුර අශුචියෙන් පිරි, දුඟඳ හමන ඉතා පිලිකුල් වූවකි. අනිත්‍ය වූ අස්ථිර වූවකි. ඇඟ ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වෙන්වීම් ආදී විකාරයන්ට පත්වෙයි.” යනුවෙන් ශරීරය පිළිබඳ යථාර්ථාවබෝධය නුවණින් මෙනෙහි කිරීමෙන් ලැබුවෙමි. “ආදීනවො පාතුරහූ” මෙසේ කයට සාධාරණ වූ ස්වභාව දැක්වීම් වශයෙන් කය ඇසුරු කරගත් චිත්ත චෛතසිකයන්ගේ ඉපිද නැසී යාම, ක්‍ෂණ භංගුරත්වය, මොහොතක් පාසා වෙනස්වන බව සිහිපත් කරන මාහට ඒවා පිළිබඳව යක්‍ෂරාක්‍ෂාදීන් දුටු කලෙක මෙන් භයක් උපන්නේය. එවිට මා හට මේ පංචාරම්මණයන්ගේ ආදීනව පිළිබඳ නානාප්‍රකාර දෝෂයන් අවබෝධ විය. ඊට විරුද්ධ වූ නිර්වාණයේ ආනිසංස ද අවබෝධ විය. “නිබ්බිදා සමතිට්ඨථ” සංවේගයට පැමිණ ආදීනව පිළිබඳව සිහිපත් කර බැලීමෙන් හටගත් නිර්වේද ඤාණය මාගේ හදවතෙහි පිහිටියේය. මොහොතක් හෝ ඒ ඒ රූපාරූප ධර්මයන්ගේ ගැනීම පිළිබඳ සිතක් නූපන්නේය. ඒකාන්තයෙන් මිදෙනු කැති (කාමුකත්‍වයෙන්) බවට පත් වූ උදාසීන සිතුවිලි උපන්නේය යන අර්ථයයි.