ධම්මික ස්ථවිරගාථා වර්ණනාව
“ධම්මො හවෙ” යනු ආයුෂ්මත් ධම්මික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් කෙරෙහි තැබූ ප්‍රාර්ථනා මහිම ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් “සිඛි” නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ මුව වැද්දෙක්ව උපන්හ. දිනක් ශාස්තෲන් වහන්සේ ආරණ්‍යයේ වෙසෙමින් දෙව්පිරිසකට දහම් දෙසනු දුටු මේ වැදි පුරුෂයා “මෙතෙම ධර්ම දේශනා කරන්නේය” යනුවෙන් දහම් දෙසුම පිළිබඳව සිත පහදවා ගත්තේය. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව්-මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද ධම්මික නමින් ප්‍රකටව වැඩිවියට පත්විය. අප තථාගතයන් වහන්සේ ජේතවනාරාමය පිළිගත් උත්සවශ්‍රීය දැකීමෙන් පහන් සිත් ඇතිව ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ ඔහු එක්තරා ග්‍රාමවාසියෙකුව ගමක වූ ආවාසයක විසීය. ධම්මික හිමියන් ආගන්තුක භික්‍ෂූන්ගේ වතාවත් කිරීමෙහි දොස් පවසමින් උන්වහන්සේලාට බණිමින් කල් යැවූ නිසා ඒ භික්‍ෂූහු විහාරය හැර දමා ගියහ. උන්වහන්සේ තනිවම එහි විසූහ. විහාරය කරවා දුන් උපාසකයා එකරුණ අසා භාග්‍යවතුන් වහන්සේට එපුවත දැන්වීය. ශාස්තෲන් වහන්සේ ධම්මික හිමියන් කැඳවා, මෙය සත්‍යද?යි විමසූහ. “එසේය ස්වාමීනි!යි වරද පිළිගත් කල්හි තථාගතයෝ, “මොහු අනුන්ට දොස් කියන්නෙකු වූයේ දැන් පමණක් නොව පෙරත් එසේම වීය”යි වදාරා භික්‍ෂූන්ගේ ඇරයුම අනුව රුක්ඛධම්ම ජාතකය දේශනා කළ සේක්. ධම්මික හිමියන්ට අවවාද කරමින් මේ සතර ගාථා වදාළහ.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි ධම්මො සුචිණ්ණෙ සුඛමාවහාති,
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”
“නහි ධම්මො අධම්මොච උභො සම විපාකිනො,
අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගතිං”
“තස්මාහි ධම්මෙසු කරෙය්‍ය ඡන්‍දං, ඉති මොදමානො සුගතෙන තාදිනා,
ධම්මෙඨිතා සුගතවරස්ස සාවකා, නීයන්ති ධීරා සරණ වරග්ග ගාමිනො”
“විප්ඵොටිතො ගණ්ඩමූලො, තණ්හාජාලොසමූහතො,
සො ඛීණසංසාරො න චත්‍ථි කිඤ්චනං, චන්‍දො යථා දොසිනා පුණ්ණමාසියා”තී.
එහි “ධම්මො” යනු ලෞකික - ලෝකෝත්තර සුචරිත ධර්මයයි. “රක්ඛති” අපායේ අපාය දුකින් ද සසරින් මිදීම වූ නිවණින් සංසාර දුකින් ද ආරක්‍ෂාව ලබාදෙයි. “ධම්මචාරී” ධර්මය අනුව හැසිරෙන, පිළිපදින පුද්ගලයා ධර්මයෙන් ආරක්‍ෂා වේ. “සුචිණ්ණො” මනාව රැස්කළ, කර්මඵල අදහාගෙන මනාව, ගෞරවයෙන් රැස්කළ. “සුඛං” ලෞකික-ලෝකෝත්තර සුවය. එහි ලෞකික සැපය නම් ෂඩ් කාමාවචර (සදෙව්) ලෝකයන්හි විඳින සුවයයි. ස්වකීය සුවය දිට්ඨධම්මිකව (මෙලොවම) හෝ ලැබේ. වෙනත් ක්‍රමයකින් එළවයි. උපදියි. අන්‍යයන්ට සසරින් මිදීම නම් නිවණෙහි පිහිටා සිත් පරපුරින් අවබෝධ කර ගැනීමෙන් සැප ගෙන දෙයි. උපනිශ්‍රය සම්පත් නැත්තන්ට ලෞකික සැප ලැබේ. උපනිශ්‍රය සම්පත් ඇත්තන් නිවන් සැප (ලෝකෝත්තර) ලැබේ. “එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි” ධර්මයේ හැසිරෙන පුද්ගලයා, ධර්මය මනාව පුරුදු කරන ලද්දේ, ඒ හේතුවෙන් දුගතියට නොයන්නේය. මෙය ධර්මය මනාව පුරුදු කිරීමෙහි ආනිසංසය ය, (එයින් ගෙන එන) වෘද්ධිය ය යන අර්ථ යි.
ධර්මයේ හැසිරීමෙන් සුගතියටම යන්නේය. අධර්මයෙන් පුද්ගලයා දුගතියට පමුණුවයි. එනිසා ධර්මයේ හා අධර්මයේ අමිශ්‍ර වූ, වෙන් වෙන් වූ විපාක ඇති බව දැක්වීමට “නහි ධම්මො” යන දෙවන ගාථාව වදාළහ. එහි “අධම්මො” ධර්මයට විරුද්ධ වූ දුශ්චරිතය. “සමවිපාකිනො” සමාන වූ විපාක, සම ප්‍රතිඵල.
“තස්මා” යම් හෙයකින් ධර්ම අධර්මයන්ගේ මෙසේ කියන ලද ආකාරයෙන් එකිනෙකට වෙනස් විපාක ඇත්තේ ද. එහෙයින්. “ඡන්‍දං” කරනු කැමැත්ත. ආශාව. “ඉති මොදමානො සුගතෙන තාදිනා”, මෙසේ කියන ලද ආකාරයෙන් අවවාද දීමෙන් මනාවූ ගමන් ඇති, මනාව නිවණට පිළිපන්නා වූ සුගතයන් වහන්සේ නිසා සිතට මනාව වූ අරමුණු පිළිබඳ කෙලෙස් දුරු කිරීමට පැමිණි, තාදී ගුණමහිම හේතුවෙන් සතුටුවෙමින්, සතුටට-ප්‍රීතියට පත්ව, ධර්මයෙහි ආශා කරන්නේය” යන අර්ථයයි. මෙපමණකින් සසර පැවැත්ම දක්වා දැන් නිවණ-සසරින් මිදීම දක්වමින් “ධම්මෙ ඨිතා” යන දෙපදය දැක්වූහ. එහි අර්ථ - “යම් හෙයකින් උතුම් වූ මනා වූ ගමන් ඇති හෙයින් සුගත නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, උන්වහන්සේ දෙසූ දහමෙහි පිහිටා අතිශයින්ම අග්‍ර වූ සරණයෙහි පිහිටියා හුද එම සරණයෑමෙන් ද එම සරණාගමන නම් වූ ධර්මයෙහි පිහිටි බැවින් ද සියලුම සංසාර දුක්ඛයෙන් ඔවුහු මිදෙත් ද එහෙයින් ධර්මයෙන් ඇලීම - ආශාව කරන්නේය”