සප්පක ස්ථවිරගාථා වර්ණනාව
“යදා බලාකා” යනු ආයුෂ්මත් සප්පක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින් දහම් රැස්කරමින් අවුත් මීට කල්ප තිස් එකකට පෙර දී මහානුභාව සම්පන්න නාගරාජයකුව උපන්හ. සම්භවක නම් පසේ බුදුරජාණන් වහන්සේ එළිමහනේ සමවත් සුවයෙන් සිටිනු දැක, උන්වහන්සේගේ හිස මත මහත් වූ පියුමක් දරමින් බුද්ධ පූජාවක් සිදු කළ ඒ නා රජු එම පින්කමේ බලයෙන් දෙව් මිනිස් යන කාම සුගතීන්හිම ඉපිද සැප වින්දේය. මේ අපගේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු පවුලක සප්පක නමින් ඉපිද නුවණැති බවට පත් හෙතෙම, අප භාග්යවතුන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. සප්පක තෙරණුවෝ කමටහන් රැගෙන අජකරණී නම් නදී තෙර වූ ලෙන් විහාරයේ වෙසෙමින් විදසුන් වඩා නොබෝ දිනකින්ම උතුම් රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“හිමවතට නුදුරෙහි රෝමස නම් පර්වතයක් ඇත. එකල එහි සම්භව නම් පසේ බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි වැඩ සිටි සේක.
භවනයෙන් නික්ම පැමිණි මම උන්වහන්සේට පියුමක් දැරීමි. එක දිනක් එය දැරූ මම නැවත භවනයට ගියෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් සප්පක තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැවැත් නුවරට පැමිණියහ. ඤාතීන්ගේ පුද සත්කාර සම්මාන විඳිමින් එහි දින කිහිපයක් විසූ උන්වහන්සේ දහම් දෙසා ඤාති සමූහයා සරණ සිල්හි පිහිටුවා, පෙර විසූ තැනට ම යනු කැමති වූහ. ඒ ඤාතීහු “ස්වාමීනි! මෙහිම වසනු මැනවි. අපි සත්කාර කරන්නෙමු”යි ආරාධනා කළහ. යායුතු බවම හඟවමින් සප්පක තෙරණුවෝ තමා පෙර විසූ ස්ථානය ද විවේක සුවය ද වර්ණනා කරමින් සිය ඤාතීන්ට මේ ගාථා සතර දෙසූහ.
“යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා, කාලස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා,
පලෙහතී ආලයමාලයෙසිනී, තදා නදී අජකරණී රමෙති මං.
පලෙහතී ආලයමාලයෙසිනී, තදා නදී අජකරණී රමෙති මං.
“යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා, කාලස්ස මෙඝසස්ස භයෙන තජ්ජිතා,
පරියෙසතී ලෙනමලෙන දස්සිනී, තදා නදී අජකරණී රමෙති මං”
පරියෙසතී ලෙනමලෙන දස්සිනී, තදා නදී අජකරණී රමෙති මං”
“කන්නු තත්ථ න රමෙන්ති ජම්බුයො උභතො තහිං,
සොභෙන්ති ආපගා කූලං මම ලෙනස්ස පච්ඡතො”
සොභෙන්ති ආපගා කූලං මම ලෙනස්ස පච්ඡතො”
“තාම තම දසංඝසුප්පහීණා, භෙකා මන්දවතී පනාදයන්තී,
නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො ඛෙමා අජකරණී සිවා සුරම්මා”
නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො ඛෙමා අජකරණී සිවා සුරම්මා”
එහි “යදා” යනු යම් කලෙක “බලාකා” කෙකනියෝ, “සුචිපණ්ඩරච්ඡදා” ඉතා පිරිසිදු සුදුපාට පියාපත් ඇති, “කාලස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා” ජල සමූහයක් දරන බැවින් කළු පාට වූ අඳුන් ගිරි සමූහයක් වත් වැහිවලාවන්ගේ මේඝ ගර්ජනාවෙන්, දැන් වැසි වසීය යන බියෙන්, තැති ගත්. “පලෙහීතී” මෙතෙක් ආහාර ගනිමින් සිටි ගොදුරු බිම් හැර දමා යති. “ආලයං” වාසස්ථානයන්ට, තමාගේ කැදලිවලට, සිය වාසස්ථානයේ හිඳියි. එහි විසීම කැමති වේ යන අර්ථයයි. “තදා නදී අජකරණීරමෙති මං” ඒ වැසි කාලයේ අප්කරණී නම් ලද නදිය නව දිය පිරී, උතුරා යමින්, ඉවුරු තෙමා දමමින් මා සතුටු කරයි. මගේ සිත පිනවයි. විශේෂයෙන් සෘතු සම්පත්තිය පැවසීමෙන් සප්පක තෙරුන්ගේ විවේකයේ කැමති බව ප්රකාශ වේ.
“සුවිසුද්ධපණ්ඩරා” ඉතා පිරිසිදු සුදුපාට, පඬුවන් වෙනත් පාටක් හා මිශ්ර නොවූ සියළුම ශරීරය සුදුපාට වූ. “පරියෙසතී” සොයයි. “ලෙනං” විසීමට තැන් “අලෙනදස්සිනී” වාසයට සුදුසු තැනක් නොදක්නී, පෙර නිතරම වසන තැනක් නොමැති හෙයින් සැඟවෙන තැනක් නොදක්නී. දැන් වැසි කාලයේ මේඝ ගර්ජනාවෙන් නූපන් ගැබ් ඇති බැවින් “පරියෙසතී ලෙනං” සැඟවෙන තැන් සොයයි. නිතරම වෙසෙන තැන කැදැල්ලක් සාදයි යන අරුතයි.