මුදිත ස්ථවිරගාථා වර්ණනාව
“පබ්බජිං” යනු ආයුෂ්මත් මුදිත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පැමිණියහ. දිනක් ඒ ශාස්තෲන් වහන්සේ දැක සිත පහදවාගත් ඒ සිටුකුමරු එක් පැසක් පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට ගහපති පවුලක මුදිත නමින් ඉපිද නුවණැති බවට පැමිණියේ ය. ඒ කාලයේ දී එම ගහපති පවුල කිසියම් කරුණක් නිසා රජුගේ කෝපයට ලක්ව පළිගැනීම් සිදුවිය. ඊට බියවූ මුදිත එනුවරින් පලාගොස් එක් අරණ්‍යයකට පිවිස, එක්තරා රහත් තෙර නමක් වසන තැනකට පිවිසියේය. ඔහුගේ බියසුළු බව දුටු තෙරණුවෝ “දරුව, බිය නොවව” යි ඔහු අස්වසාලූහ. ඔහු ස්වාමීනි! මේ භය කවර කාලයකින් සන්සිඳේද”යි විමසූ විට තෙරණුවෝ “සත් අට මසකින් සන්සිඳේ” යැයි වදාළහ. “එපමණකල් ඉවසා සිටීමට නොහැක. මම පැවිදි වන්නෙමි. ස්වාමීනි! මා පැවිදි කළ මැනවි”යි ජීවිත ආරක්‍ෂාව සඳහා පැවිද්ද ඉල්ලීය. තෙරණුවෝ ඔහු පැවිදි කළහ. පැවිදිව බුදුසසුන පිළිබඳ උපදවාගත් ශ්‍රද්ධා ඇති මුදිත හිමියෝ රාජභය සන්සිඳුණු කල්හි ද මහණකමෙහිම ඇලී කමටහන් ගෙන විදසුන් භාවනාව වඩමින්, “රහත් නොවී මේ මම වසන කුටියෙන් පිටතට නො නික්මෙමි” යන ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව, විදසුනෙහිම සිත පිහිටුවා නොබෝ දිනකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ලොවට එකම ජ්‍යෙෂ්ඨ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇති මම සියතින්ම එක් පැසක් පූජා කළෙමි.
එහි විපාක වශයෙන් සසරදී මා හට ඇත්, අස්, දිව යානා පහළ විය. ගී නැටුම් ආදී උත්සව ශ්‍රීයෙන් සැප විඳි මම දැන් සියලු ආශ්‍රව ක්‍ෂය කළෙමි.
මීට කල්ප අනූ එකකට පෙර දී යම් පැසක් පූජා කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියකට නොගියෙමි. පැස දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටු කළෙමි.”
රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් කල් යැවූ මුදිත තෙරුන්ගෙන් යහළු භික්‍ෂූහු, අවබෝධ කළ මාර්ගඵල පිළිබඳව විමසූහ. එවිට තමන් වහන්සේ පිළිපැදි ආකාරය හා අවබෝධ කළ අර්හත්භාවය පෙන්වා දෙමින් මේ සිවු ගාථා වදාළහ.
“පබ්බජිං ජීවකත්‍ථෙහ ලද්ධාන උපසම්පදං,
තතො සද්ධං පටිලභිං, දළ්හවිරියො පරක්කමිං’
“කාමං භිජ්ජතුයං කායො මංසපෙසී විසීයරුං,
උභොජණ්ණුකසන්‍ධීහි ජංඝායො පපතන්තු මෙ”
“නාසිස්සං න පිවිස්සාමි විහාරා ච න නික්ඛමෙ,
නපි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලෙ අනූහතෙ”
“තස්සමෙවං විහරතො පස්ස විරියපරක්කමං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං”
එහි “ජීවිකත්‍ථො”, ජීවිතය සඳහා ජීවිතයෙන් ප්‍රයෝජන ඇතිව, මෙහි පැවිදි වී බිය නොමැතිව සුවසේ වෙහෙසට පත් නොවී ජීවත්වෙමියි යනුවෙන් ජීවත්වීම සඳහාම පැවිදිවී යන අර්ථයයි. “ලද්ධාන උපසම්පදං” පළමුව සාමණේරයකු පැවිදි වී, පසුව ඤත්ති චතුත්‍ථ කර්මයෙන් උපසම්පදාව ලැබ, “තතො සද්ධං පටිලභි” එසේ උපසපන් වූ කාලයේ සිටම කළණ මිතුරු ඇසුර ලැබීමෙන් උභය ප්‍රාතිමොක්‍ෂය, ත්‍රිවිධ අනුමෝදනා සහිත එක් සූත්‍රයක්, සමථ-විදසුන් ආදී කමටහන් විධි උගෙන බුද්ධාදී මහෝත්තමයන් මහානුභාවය දැක, “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. ධර්ම මනාව දේශනා කරන ලදහ. සංඝයා මනාවූ පිළිවෙත් ඇත්තෝය” යනුවෙන් තුණුරුවන් විෂයෙහි ශ්‍රද්ධාව උපදවා ගත්තෙමි. “දළ්හවිරියො පරක්කමිං” මෙසේ ලැබූ ශ්‍රද්ධාවෙන් විදසුන් භාවනා කමටහනෙහි දැඩි වීර්යයෙන්, ස්ථිර වීර්යයෙන් නොබෝ දිනකින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ කළෙමි. අකුසල් දහම් ප්‍රහාණයටත් කුසල් දහම් වැඩිදියුණු කර ගැනීමටත් මනාව උත්සාහ කළෙමි.
ඒ පරාක්‍රම වීර්යයේ ආකාරය පැවසීම සඳහා “කාමං” යන ගාථාව වදාළහ. එහි “කාම” ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම, “භිජ්ජතුං කායො” මේ මාගේ කුණුකය, මේ වීර්ය උපක්‍රමයෙන් බිඳී යේවා, සිඳී-බිඳී වැනසී යේවා. “මංසපෙසී විසීයරුං” මේ දැඩි වීර්ය හේතුවෙන් මගේ මේ කයින් මාශපේශී විසිරී යේවා, ඔබිනොබ පැතිරීයේවා. “උභො ජණ්ණුක සන්‍ධීහි ජංඝායො පපතන්තු මෙ” දෙදණ සන්‍ධියෙන් මගේ දෙකළවා, කෙන්ඩා බිඳී බිම වැටේවා. “මං” යන පාඨය ද යෙදේ. එහි අර්ථය ද එයම වේ. සෙසු පදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදිම දත යුතුයි.
මුදිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
චතුක්ක නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.