රාහුලභද්‍ර ස්ථවිරගාථා වර්ණනාව
“උභයෙන” යනු ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත් වූහ. දිනක් ධර්ම ශ්‍රවණය කරමින් සිටි ඔහු ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක් ශික්‍ෂාකාමීන් අතර අග තනතුරෙහි තබනු දැක තමාද එම තනතුර ප්‍රාර්ථනා කරමින් සෙනසුන් පිරිසිදු කිරීම්, බැබළවීම් ආදියෙන් මහත් වූ පින්කම් කළේය. ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී අපගේ බෝසතුන් නිසා යසෝදරා දේවියගේ කුස පිළිසිඳ ගෙන, “රාහුල” යන නම ලැබ මහත් ක්‍ෂත්‍රිය ආරක්‍ෂා විධිවිධාන යටතේ වැඩුනේය. රාහුල කුමරුගේ පැවිදිවීම මහා ඛන්‍ධකගේ පැමිණි ලෙසම දත යුතුයි. පැවිදි වූ රාහුල තෙරණුවෝ, අප ශාස්තෲන් වහන්සේගේ සමීපයේදී නොයෙක් සූත්‍ර දේශනා මගින් ලැබූ අවවාද ඇතිව නුවණ මුහුකුරා ගොස්, විදසුනෙහි සිත පිහිටුවීමෙන් රහත් බවට පත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්මහල් ප්‍රාසාදයක කැඩපතක් මෙන් ශෝභාමත් ඇතිරියක් අතුරා පූජා කළෙමි.
දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ මහාමුනි වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් පිරිවරා ගෙන ගඳ කිළියට පිවිසි සේක.
දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ ගඳකිළිය බබුළුවමින් බික් සඟන මැද වැඩ හිඳ මෙසේ වදාළහ.
“යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැඩපතක් මෙන් ප්‍රභාමත් ඇතිරිල්ලක් මනාව මෙහි අතුරන ලද්දේද මම ඔහුගේ අනාගතය පවසමි. ඒ මාගේ වදන් සාවධානව අසවු.
මොහුට සිත සතුටු කරන රන්, රිදී, වෙරළුමිණිවලින් කළ කැඩපත් පහළ වේ.
ශක්‍ර දේවේන්‍ද්‍ර සැට සතර වරක් දෙව්රජය කරන මෙතෙම දහස් වරක් සක්විති රාජ්‍යය කරන්නේය.
මෙයින් විසි එක්වන කල්පයේදී සිවුමහා දිවයින හා සිවුමහා සාගරය සහිත පෘථිවියම පාලනය කරන, සතුරු රජුන් ජයගන්නා වූ විමල නම් සක්විති රජව උපදින්නේය.
ඔහුගේ ගඩොලින් කළ නගරය රේණුවතී නමි. එය දිගින් යොදුන් තුන්සීයකි. හතරැස් හැඩයෙන් යුක්තය.
උතුම් වූ කුළු ගෙවලින් යුත් සත් රුවනින් අලංකාර කරන ලද විශ්ව කර්මයා විසින් මැවූ සුදර්ශන නම් ප්‍රාසාදයක් මොහුට පහළ වේ.
නීති විද්‍යාධරයන් ගැවසී එය දශවිධ ශබ්දයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් ශෝභාමත්ය.
එම ප්‍රාසාදයේ ශෝභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුව හාත්පස අටයොදුන් තැන බබළන්නේය.
මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.
කුසල බල මහිම ඇති මෙතෙම තුසී පුරයෙන් නික්ම, උන්වහන්සේගේ ඖරස පුත්‍රව උපදින්නේය.
ඔහු ඉදින් ගිහි ගේ වෙසේ නම් සක්විති රජ වන්නේය. තාදී ගුණ සහිතයෝ ගිහිගෙයි ඇලීමට යාම සිදු නොවන දෙයකි.
සුශික්‍ෂිත වූ මෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වන්නේය. ඔහු රාහුල නමින් රහත් වන්නේය.”
ඒ විවරණය එසේම සිදු විය. රාහුල හිමියෝ මෙසේ වදාළහ. “මහාමුනි වූ ගෞතම බුදුරජාණන් වහන්ස! කිරලා බිජුවට රකින්නාක් මෙන් ද සෙමෙර මුවා වලිගය රකින්නාක් මෙන් ද ශීලයෙන් යුක්ත වූ මම මනාව එය ආරක්‍ෂා කළෙමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන සසුනෙහි ඇලුනෙම් සියලු ආශ්‍රව ප්‍රහාණය කොට, අනාශ්‍රවව වෙසෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”