සම්භූත ස්ථවිරගාථා වර්ණනාව
“යො දන්ධ කාලෙ” යන ගාථා සතර ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, බුදුවරුන්ගෙන් ලෝකය ශූන්‍ය වූ කාලයක චන්ද්රභාගා නම් නදී තෙර කිඳුරු යෝනියේ ඉපිද, දිනක් එක් පසේ බුදුවරයකු දැක සිත් පහදවාගෙන. උන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන කුඹුක් මලින් පූජා කළහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සිටුගෙයක සම්භූත නමින් ඉපිද වැඩිවියට පැමිණියේය. අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවණින් පසුව ධර්මභාණ්ඩාගාරික මහ තෙරුන්ගේ ධර්ම දේශනාවක් ඇසූ සම්භූත; ඉන් උපන් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ වෙත පැවිදිව, මහණදම් පුරා විදසුනෙහි සිත පිහිටුවා රහත් විය. අපදාන පාළියේදී සම්භූත තෙරණුවෝ මෙසේ වදාළහ.
“එකල චන්ද්රභාගා නදීතෙර කිඳුරෙක්ව උපන් මම කෙලෙස් රජස් විරහිත සියල්ල තමාම දැනගත් පස්මරුන් දිනූ බුදුරදුන් දුටුවෙමි.
පහන් සිත් ඇති මම සතුටුව හටගත් ප්‍රීති ඇතිව බැඳැදිලිව කුඹුක් මල් ගෙන බුදුරදුන්ට පිදුවෙමි.
මැනවින් කළ ඒ කුසල කර්මයෙන් හා චිත්ත ප්‍රණිධියෙන් මම තව්තිසාවේ උපන්නෙමි.
ශක්‍ර දේවේන්ද්රව තිස් හයවරක් දෙව් රජය කළෙමි. දස වරක් සක්විති රජව උපන්නෙමි.
මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් ගණන් කළ නොහැක. ස්වයම්භූ වූ ඒ මහා පින්කෙතේ වපුල බිජුවටෙහි ඵල මහත් අසිරිමත් විය.
මාගේ ඒ කුශලය තවමත් විද්‍යමානවේ. අනගාරී නම් පැවිද්දට පැමිණි මම අද ශාක්‍ය පුත්‍ර වූ බුදුරදුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් විසූ සම්භූත තෙරණුවෝ; සම්බුදු පිරිනිවණින් වසර සීයක් ඉක්ම ගිය තැන විශාලාවේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුව කාකණ්ඩපුත්ත යස මහ රහතන් වහන්සේ සමග එක්ව බිඳ දැමූහ. යස තෙරුන්ගේ මූලිකත්වය ලැබූ හත්සීයක් මහ රහතන් වහන්සේලා ඒ මිථ්‍යා මත බිඳ දමා සද්ධර්මය බබුළුවමින් ධර්ම විනය සංගායනා කළහ. ඒ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ ධර්ම විනයට විරුද්ධ වූ දස වස්තුක ඉගැන්වීම අසා ධර්ම සංවේගයට පත් සම්භූත තෙරණුවෝ මේ ගාථා සතර වදාරමින් තම රහත්භාවය ප්‍රකාශ කළහ.
“යො දන්ධ කාලෙ තරතී තරණීයෙ ච දන්ධයෙ,
අයොනි සංවිධානෙන බාලො දුක්ඛං නිගච්ඡතී”
අයොනි සංවිධානෙන බාලො දුක්ඛං නිගච්ඡතී”
“තස්සත්ථා පරිහායන්තී කාලපක්ඛෙව චන්දිමා,
ආයසස්යඤ්ච පප්පොති මිත්තෙහි ච විරුජ්ඣතීති.”
ආයසස්යඤ්ච පප්පොති මිත්තෙහි ච විරුජ්ඣතීති.”
“යො දන්ධකාලෙ දන්ධෙති තරණියෙච තාරයෙ,
යොනිසො සංවිධානෙන සුඛං පාප්පොති පණ්ඩිතො”
යොනිසො සංවිධානෙන සුඛං පාප්පොති පණ්ඩිතො”
“තස්සත්ථා පරිපූරෙන්තී සුක්ඛපක්ඛෙව චන්දිමා,
යසොකිතත්තිඤ්ච පප්පොතී මිත්තෙහි න විරුජ්ඣතී”
යසොකිතත්තිඤ්ච පප්පොතී මිත්තෙහි න විරුජ්ඣතී”
එහි “යො දන්ධකාලෙ තරතී” කිසිවකුට කළයුතු කටයුත්තක් පිළිබඳව “මෙය කැපවේද, අකැපවේද?”යි විනය පිළිබඳ කුකුස් උපන් කල්හි එය ව්‍යක්ත විනයධර තෙරනමකගෙන් විමසා කුකුස් අත්නොහැර ගනියි ද ඉක්මන් නොවී, එම කටයුතු පිළිබඳව නොවිමසා, පමාවිය යුතු අවස්ථාවෙහි ඒ ගැන ඇල්ම මැඩ වේගවත්ව කල්යවයි ද “තරණීයෙ ච දන්ධයෙ” ගිහියන්ගේ සරණාගමන සීල සමාදානාදියේ ද පැවිද්දන්ගේ වත්පිළිවෙත් පිරීම්, සමථ විදර්ශනා භාවනාවන්හි හැසිරිය යුතු, පැමිණිය යුතු, අවස්ථාවේ වහා එය නොකර; අනාගත මාසයේ හෝ පක්ෂයේ හෝ කරන්නෙමියි පමාවේද, ඒ වහා කළයුතු කටයුත්ත නොකරමින් කල් යවයිද. “අයොනි සංවිධානෙන” මෙසේ පමා වී, ඉවසා සිටිය යුතු කටයුත්තෙහි වේගවත්ව ද වහ වහා කළයුතු කටයුත්තෙහි පමාවෙමින් ද උපාය රහිතව. අයපත් සංවිධානයන්ගෙන් බැහැරව ක්‍රියා කරන බාල අව්‍යක්ත මන්ද බුද්ධික පුද්ගලයා සම්පත් විරහිතව, මතු දුකට අනර්ථයට පත් වෙයි.