සේනක ස්ථවිරගාථා වර්ණනාව
“ස්වාගතං වත” යනු ආයුෂ්මත් සේනක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත්ව දිනක් ඒ ශාස්තෲන් වහන්සේ දුටු සිටු කුමරු මොණර පිල් කළඹක් උන්වහන්සේට පහන් වූ සිතින් පූජා කළේය. හෙතෙම ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් භවයන්හි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී බමුණු පවුලක, උරුවේල කාශ්‍යප තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. “සේනක” නාමයෙන් ඉපිද වැඩිවියට පත් එකුමරු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගොස් ගිහිගෙයි විසීය. එසමයේ මහජනයා වසරක් වසරක් පාසා මැදින් මස උත්තර එග්ගුන (උතුරුපල්) නැකතින් උත්සවයක් අරඹා ගයාවේ තීර්ත්‍ථාභිෂේකය සිදු කරයි. එනිසා එහි මහෝත්සවයට “ගයා එග්ගුනී” යැයි කියති. එබඳු උත්සව සමයකදී හික්මවිය හැකි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් අප භාග්‍යවතුන් වහන්සේ ගයා තීර්ත්‍ථය සමීපයේ වාසය කළහ. මේ කාලයේ සේනක බමුණා ද තීර්ත්‍ථාභිෂේකය සඳහා ගයාවට පැමිණ, ශාස්තෲන් වහන්සේ දහම් දෙසනු දැක එතැනට එළඹ ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ සේනක තෙරණුවෝ විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“මොණරපිල් වැටියක් ගත් මම පහන් සිතින්. සතුටට පත්වූයෙමි. ලෝක නායක වූ බුදු රදුන් වෙත එළඹුනෙමි. එළඹ මොණරපිල් කළඹ පිදුවෙමි.
මේ මොණර පිල් වැටි දානයෙන් ද චිත්ත ප්‍රණිධිය නිසාද රාග, ද්වේෂ, මෝහ යන තුන් ගිනි නිවී මාගේ සිත සුවපත් විය. ඉන් සැප ලබමි.
බුදුවරයෝ අසිරිමත් වෙති. ධර්මය ද අසිරිමත් ය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද අසිරිමත් ය. මොණර පිල් කළඹ පිදූ මම මහත් සුව ලබමි.
මාගේ රාගාදී තුන් ගිනි නිවුණි. සියලු භව නැසුණි. ආශ්‍රව ක්‍ෂය කරන ලද්දෙමි. දැන් නැවත ඉපදීමක් නැත.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදකිමි. මොණර පිල් දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව තම පිළිවෙත් සිහිපත් කර බලා හටගත් සොම්නස් ඇති වූ සේනක තෙරණුවෝ මේ සතර ගාථා වදාළහ.
“ස්වාගතං වත මෙ ආසි ගයායං ගයා එග්ගුයා,
යං අද්දසාසිං සම්බුද්ධං දෙසෙන්තං ධම්මමුත්තමං”
“මහප්පභං ගණාචරියං අග්ගප්පත්තං විනායකං,
සදෙවකස්ස ලොකස්ස ජිනං අතුල දස්සනං”
“මහානාගං මහාවීරං මහාජුතිමනාසවං,
සබ්බසවපරික්ඛීණං සත්‍ථාරමකුතොභයං”
“චිරසංකිලිට්ඨං වත මං දිට්ඨිසන්දාන සන්‍දිතං,
විමොචයී යො භගවා සබ්බගන්‍ථෙහි සෙනකං” තී.
එහි “ස්වාගතං වත මෙ ආසි” ඒකාන්තයෙන්ම මම මනාව පැමිණියෙමි. නැතහොත් මාගේ පැමිණීම ඉතා සුන්දර වූවකි. “ගයායං” ගයා තීර්ථය සමීපයට “ගයාඑග්ගුයා” ගයාඑල්ගු නම් ලද මැදින් මස උතුරුපල් නැකතෙහි. “යං” යනුවෙන් පැමිණීම යහපත්වීමට හේතු වූ කරුණ දක්වයි. එහි “යං” යනු යම්හෙයකින් ද, “අද්දසාසිං” දුටුවෙමි. “සම්බුද්ධං” මනාව සියලු දහම් අවබෝධ කරගත් බැවින් සම්බුද්ධ නම් වේ. “දෙසෙන්තං ධම්මමුත්තමං” උතුම් වූ අග්‍ර වූ සියල්ලට ශ්‍රේෂ්ඨ වූ ඒකාන්තයෙන් නෛර්‍ය්‍යාණික වූ ධර්මය හික්මෙන ජනයාගේ අදහස් අනුව දේශනා කරන “මහප්පභං” මහත් වූ ශරීර ප්‍රභාවෙන් ද ඤාණ ප්‍රභාවෙන් ද යුක්ත වූ, “ගණාචරියං” භික්‍ෂු පිරිස ආදී සිවුවණක් පිරිස ම උතුම් දමනයෙන් ආචාර ශික්‍ෂා ඉගැන්වීමෙන් සමූහයාගේ ආචාරී වූ. ගණාචාර්ය වූ. සදේව ලෝකයාට සීලාදී ගුණයන්ගෙන් අග්‍ර භාවයට පත් වූ “අග්ගප්පත්තං”, විනායකං” දෙව් මිනිසුන් උතුම් වූ හික්මවීමෙන් හික්මවන බැවින් ද තමන් වහන්සේට නායකයකු නැති බැවින් ද විනායක වූ. “සදෙවකස්ස ලොකස්ස ජිනං” මුලු ලොව අභිබවා සිටි බැවින්, පස් මරුන් දිනූ බැවින්, දෙවියන් සහිත ලෝකයාට අසහාය පුද්ගලයා වූ, දෙවියන් සහිත ලොවේ අග්‍ර පුද්ගලයා වූ “අතුලදස්සනං” දෙතිස් මහපුරිස් ලකුණින් ද අසූවක් අනු ව්‍යඤ්ජනයන්ගෙන් ද අලංකාර වූ රූපකායක් ඇති බැවින් ද දශබල චතුර් වෛශාරද්‍ය ගුණයන්ගෙන් අලංකෘත ධර්මකායක් ඇති බැවින් ද දෙවියන් සහිත ලෝකයා විසින් අප්‍රමාණ දැකුම් ඇති බැවින් ද අසදෘශ දර්ශන ඇති බැවින් ද අසම වූ දර්ශන ඇති.