ජම්බුක ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ච පණ්ණාස” යනාදී ගාථා සතර ආයුෂ්මත් ජම්බුක තෙරුන් වහන්සේගේය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් ඉදිරියේ තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත් වූහ. ඔහු දිනක් ශාස්තෲන් වහන්සේගේ සම්මා සම්බෝධිය සිහිකරමින් බෝධිවෘක්‍ෂයට වැඳ විජිනි පතකින් පූජා පැවැත්වීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී ඉපිද නුවණැති බවට පත්ව, සසුනේ පැවිදි වී එක්තරා උපාසකයකු විසින් කරවා දුන් ආරාමයක නේවාසිකයකු වූ හෙතෙම ඒ උපාසකයාගේ උපස්ථාන ලබමින් වාසය කළේය. දිනක් එක් රහතන් වහන්සේ නමක් දිරාගිය සිවුරක් පොරවාගෙන කෙස් බෑම සඳහා ආරණ්‍යයේ සිට ගම දෙසට එනු දුටු ඒ උපාසකයා; උන්වහන්සේගේ ඉරියවු දැක පැහැදී කරණවෑමියකු ලවා උන්වහන්සේගේ කෙස් රැවුල් කැප්පවීය. ප්‍රණීත භෝජන වළඳවා සුන්දර සිවුරක් දී “ස්වාමීනි! මේ විහාරයේම වසනු මැනවි”යි තමා සෑද වූ අරම පෙන්වීය. මෙය දුටු එතෙක් ආවාසයේ සිටි භික්‍ෂුව ඊර්ෂ්‍යා මසුරු බවින් යුක්ත වූයේ රහතන් වහන්සේට “මහණ! මේ පාපී උපාසකයාගේ උපස්ථාන ලබමින් මෙහි විසීමට වඩා ඇඟිලිවලින් කෙස් උගුල්ලා අචේල තාපසයකු වී මළමුත්‍රාහාරයෙන් ජීවත්වීම උතුම් වේ” යැයි පැවසීය. එසේ කියූ එම පුහුදුන් භික්‍ෂුව එකෙණෙහිම වැසිකිළියට පිවිස කිරිබතක් වඩන්නාක් මෙන් අතින් මළ ගුලි වඩා ඇතිතෙක් කෑවේය. මුත්‍ර ද බීවේය. මේ ක්‍රමයෙන් දිවි ඇති තෙක් කල්යවා, මැරී ගොස් නිරයේ පැසී, නැවත ගූථ නිරයෙහි මළමුත්‍රාහාරයෙන් වැස, ඒ කර්මයේ විපාක වශයෙන්ම මිනිසුන් අතර උපන්නත්, පන්සීයක් ආත්ම භාවයන්හි නිගණ්ඨකුව මළ අනුභව කළේය.
නැවත මේ බුද්ධෝත්පාදයේදී මිනිස් යෝනියෙහි උපන්නත් ආර්යයන් වහන්සේට අපවාද කිරීම නිසා දුප්පත් පවුලක ඉපදුණි. ඒ දරුවාට තනකිරි හෝ කිරි හෝ ගිතෙල් හෝ පොවන විට එය හැරදමා මුත්‍රම බොයි. බත් කවන විට එය ඉවත දමා අශූචිම කයි. මෙසේ මළමුත්‍රාහාරයෙන් වැඩෙන ඒ දරුවා වැඩිවියට පත් වුවත් ඒවාම අනුභව කළේය. ඔහු ඉන් වළක්වා ගැනීමට අපහසු වූ පසු නෑයෝ ඔහු එළවා දැමූහ. නිර්වස්ත්‍ර පැවිද්දෙන් පැවිදි වූ ඔහු නොනායි බැඳුණු කුණු තට්ටු ඇතිව කෙස් රැවුල් උගුලා දැමූ ඔහු වෙනත් ඉරියව් බැහැර ලා එක් පයකින් සිටගෙන සිටියි. ආරාධනා නො ඉවසයි. මාසයක්ම ආහාර නොගෙන උපවාස කරයි. මාසයක් මාසයක් පාසා පින් කැමැත්තන් විසින් පිළිගන්වන ආහාර එක්වරක් කුස තණ අගකින් ගෙන දිවේ තබා ගනියි. රාත්‍රියට අමු අශූචි ප්‍රාණීන් සහිත යැයි නොකා, වියළි අශූචි ම කයි. මෙසේ ජනයා රවටමින් වසර පනස් පහක් ඉක්මවීය. මහජනයා “මොහු මහා තාපසයෙකි. අතිශයින් ම අල්පේච්ඡයෙකි”යි සිතමින් වඩ වඩාත් ගරුසත්කාර කරන ලදි.
ඉක්බිති අප භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ චිත්තාභ්‍යන්තරයෙහි කළයක් තුළ වූ පහනක් මෙන් පැවති රහත්වීමේ හේතු සම්පත් දිළිසෙනු දුටු සේක්. තමන් වහන්සේම එතැනට වැඩම කොට දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. ඒහි භික්‍ෂු මහණ උපසම්පදාව ලබාගෙන සසුනට පිවිසි ජම්බුකාජීවක තෙමේ විදසුනෙහි සිත පිහිටුවා රහත් ඵලයෙහි පිහිටියේ ය. මේ දක්වන ලද්දේ සංක්‍ෂිප්තවයි. විස්තර වශයෙන් ධම්මපද පාළියේ “මාසෙ මාසෙ කුසග්ගෙන” යන ගාථාවට ලියූ වර්ණනාවෙහි කියූ පරිද්දෙන් දත යුතුයි. රහත් බවෙහි පිහිටි ජම්බුක තෙරණුවෝ පිරිනිවෙණ අවස්ථාවෙහි තමා මුල සිටම වැරදි පිළිවෙතින් යුක්ත වූවත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ ශ්‍රාවක භාවය මවිසින් ලබන ලදී”යි දක්වමින් මේ සතර ගාථා වදාළහ.
“පඤ්ච පඤ්ඤාස වස්සානි රජොජල්ලමධාරයිං,
භූඤ්ජන්තො මාසිකං භත්තං කෙසමස්සුං අලොචයිං”
“එකපාදෙන අට්ඨාසිං, ආසනං පරිවජ්ජයිං,
සුක්ඛගූථානි ච ඛාදිං, උද්දෙසං ච න සාදියිං”
“එතාදිසං කරිත්‍වාන බහුං දුග්ගතිගාමිනං,
වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං”
“සරණාගමනං පස්ස, පස්ස ධම්මසුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතම්බුද්ධස්සසාසනං”
එහි “පඤ්ච පඤ්ඤාස වස්සානී රජොජල්ලමධාරයිං” නිර්වස්ත්‍ර පැවිද්දට පැමිණ නෑම ප්‍රතික්‍ෂෙප කර, පනස් පස් වාරයක් පුරාම ශරීරයේ ඇලුණු පිටතින් ගසාගෙන පැමිණි රජස්, දූවිලි ද ශරීර කුණු නම් වූ දැලි කුණු ද දරා සිටියෙමි. “භුඤ්ජන්තො මාසිකං භත්තං” රෑට අශුචි කමින් ලෝකයා රවටනු පිණිස මාසික උපවාසයෙන් යුක්ත වීමි. පින් කැමැත්තන් විසින් දෙනු ලබන ආහාරය මාසයකට එකවර බැගින් දාවල දිවඟ තැබීම් වශයෙන් අනුභව කළෙමි. “ආලොචයිං” හුණු අළු දැමීමෙන් ලිහිල් වූ මුල් ඇති කෙස් රවුල් ඇඟිලිවලින් ගලවා, උදුරා දැමුවෙමි.