නන්‍දක ස්ථවිරගාථා වර්ණනාව
“ධීරත්‍ථු” යනාදී ගාථා සතර ආයුෂ්මත් නන්‍දක තෙරුන් වහන්සේගේ ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටුවරයෙක් ව උපන්හ. ඔහු සැමදාම ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්ම ශ්‍රවණය කරයි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් භික්ඛුණෝ වාදක භික්‍ෂූන්ගෙන් අග්‍ර භාවයට පත් කරනු දැක, තමා ද ඒ තනතුර පැතීය. ලක්‍ෂයක් අගනා වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිදූ ඔහු සිය ප්‍රාර්ථනාව ප්‍රකාශ කළේය. ඒ ශාස්තෲන් වහන්සේගේ බෝධි වෘක්‍ෂයට පහන් පූජාවක් ද පැවැත්වූ සිටුතුමා, මෙම පින්කම්වල විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප වින්දේය. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කොවුලෙක්ව ඉපිද මිහිරිව හඬ නඟමින් උන්වහන්සේ පැදකුණු කළ හෙතෙම පසුකාලෙක මොණරෙක්ව උපන්නේය. එසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් වසන ගුහා ද්වාරයක සිට පහන් සිතින් දිනපතාම තුන්වාරයක් මිහිරිව නාද පූජා පැවැත්වීය. මෙසේ ඒ ඒ අත්බවෙහිදී පින්දහම් රැස් කරගත් හෙතෙම, අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර සිටුගෙයක ඉපිද නන්දක නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු; ශාස්තෲන් වහන්සේ සමීපයෙහි බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වී විදසුන් වඩා රහත් විය. අපදාන පාළියේදී නන්දක තෙරණුවෝ මෙසේ වදාළහ.
“ඉතා සතුටින් යුතු පහන් සිත් ඇති මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝධි වෘක්‍ෂය වෙත ගොස් පන්දම් තුනකින් පූජා කළෙමි.
පන්දම් ගිනිසිළු දරමින් මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් දුගතියකට නොගියෙමි. පහන් ආලෝක පූජාවේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව විමුක්ති සුවයෙන් කල් යවන නන්දක තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් භික්‍ෂුණෝවාදක තනතුරෙහි යොදවන ලදහ. එක් පොහෝ දිනෙක පන්සීයක් භික්‍ෂුණීහු නන්දක තෙරුන්ගේ එක් අවවාදයක් අසා රහත් වූහ. එනිසා භාග්‍යවතුන් වහන්සේ භික්ඛුණෝවාදක භික්‍ෂූන්ගේ අග්‍රභාවයට නන්දක තෙරණුවන් පත් කළහ. දිනක් උන්වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන කල්හි පෙර ගිහි කල භාර්‍ය්‍යාවක් වූ ස්ත්‍රියක ක්ලේශ වසඟව උන්වහන්සේ දෙස බලා සිනාසුනීය. නන්දක තෙරණුවෝ ඇගේ ඒ විප්‍රකාරය දැක ශරීරයේ පිළිකුල් බව ප්‍රකාශ කරමින් මේ ගාථා සතරින් ධර්ම දේශනා කළහ.
“ධීරත්‍ථු පූරෙ දුග්ගන්‍ධෙ මාරපක්ඛෙ අවස්සුතෙ,
නව සොතානි තෙ කායෙ යානි සන්‍ධන්ති සබ්බදා”
“මා පුරාණං අමඤ්ඤිත්‍ථො, මා සාදෙසි තථාගතෙ,
සග්ගෙපි තෙ න රජ්ජන්ති කිමංග පන මානුසෙ”
“යෙ ච ඛො බාලා දුම්මෙධා දුම්මන්ති මොහපාරුතා,
තාදිසා තත්‍ථ රජ්ජන්ති මාරක්ඛිත්තස්මිං බන්‍ධනෙ”
“යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා,
තාදී තත්‍ථ න රජ්ජන්ති ඡින්නසුත්තා අඛන්‍ධනා”
එහි “ධී” යනු පිළිකුල් කිරීම් අර්ථයේ නිපාතයකි. “අත්‍ථු” වේවා. ර කාරය පද දෙක සන්‍ධි කරන්නකි. “පිළිකුල් වූ නුඹට නින්දා වේවා! නුඹගේ ක්‍රියාව නින්දා සහගතය” යන අර්ථයයි. “පූරෙ” ආදී වශයෙන් ඇගේ නින්දනීය බවට ආමන්ත්‍රණය කරන ආලපන වදන් යොදා ඇත. එහි “පූරෙ” යනු අතිශය පිළිකුල්, නානාප්‍රකාර කුණුපයන්ගෙන්, නානාවිධ අශූචීන්ගෙන් පිරුණු “දුග්ගන්‍ධෙ” කුණුපයන්ගෙන් පිරි බැවින් ම ස්වභාවයෙන්ම දුගඳ හමන. “මාරපක්ඛෙ” විෂභාග වස්තුවක් වූ ස්ත්‍රී රූපය අඳබාල පුහුදුන් පුද්ගලයන්ට අනුවණින් සිහි කිරීමට නිමිති වන බැවින් කෙලෙස් මාරයන්ගේ වැඩීමට උපකාර වේ. දේව පුත්‍ර මාරයාට ද පිවිසීමට ඉඩ අවස්ථා සලසා දෙයි. එනිසා මාර පාක්‍ෂික වූවකැයි කියන ලදි. “අවස්සුතෙ” සැමකල්හි කෙලෙස් වැසි වැසීමෙන් ද ඒ ඒ තැන අශුචි ගලා යෑමෙන් ද කාමාශාවෙන් තෙත් වූ. දැන් ඇගේ “නව සොතානි තෙ කායෙ යානි සන්‍ධන්ති සබ්බදා” නව දොරකින් අශූචි වැගිරෙන බව කියයි. ඇසෙන් කඳුලු නම් වූ අශුචි ආදි වශයෙන් අශූචීන්ගේ වැගිරීම් ස්ථාන දත යුතුයි.
මෙසේ නව දොරකින් නිති මල වෑහෙන, අශූචියේ පිරි කයේ දොස තත්ත්වාකාරයෙන් මම දනිමි. පෙර මා එය නොදන්නා බැවින් නුඹ සමඟ සිනා කෙළි කවටකම් පැවැත්වූයෙමි. දැනුත් එසේ නුඹ හා හැසිරෙතියි නො සිතව. “මා සාදෙසි තථාගතෙ” යම් සේ උපනිශ්‍රය සම්පත්තියෙන් පෙර වූ බුද්ධ ශ්‍රාවකයෝ නිවණට පැමිණියාහු ද එසේ වූ යහපත් ප්‍රතිපත්තියෙන් පැමිණි, අවබෝධ කළ නිවන් සැප ඇති; රූප ධර්මයන්ගේ තථ ලක්‍ෂණය, යථාස්වභාවය ද චතුරාර්ය සත්‍ය ධර්මය ද අවබෝධ කරගත්තා වූ, දැන ගත්තා වූ ද; මේ තථාගත ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි වෙනත් පුහුදුන් පුද්ගලයන්ට මෙන් කෙලෙස් වසඟව අවඥා නොකරව. සමීපයට පැමිණ හිරිහැර-අපහාස නොකරව. ඇලීම් නොකර සිටීමට හේතු දක්වයි. “සග්ගෙ පි තෙ නරජ්ජන්ති කිමංග පන මානුසෙ” සර්වඥ වූ සියල්ල දත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා කියා නිම කළ නොහැකි සැප ඇති දිව්‍ය ලෝකවල පවා ඒ බුද්ධ ශ්‍රාවකයෝ නො ඇලෙති. සංස්කාර ධර්මයන් හි ආදීනව මනාව දක්නා ලද බැවින් දෙවඟනන් දුටුවත් රාගයක් උන්වහන්සේලාට ඇති නොවේ. අශූචි ගොඩක් වැනි වූ මේ මනුෂ්‍ය ලෝකයේ ස්ත්‍රීන් දැක පංච කාමයන්හි උන්වහන්සේලාගේ නොඇලීම පිළිබඳව කියනු කිම? එය කිවයුත්තක් නොවේ.