සභිය ස්ථවිරගාථා වර්ණනාව
“පරෙච” යනු ආයුෂ්මත් සභිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උණ්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත්, කකුසඳ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ විහාරයෙන් නික්ම වැඩම කරනු දැක පහන් සිතින් පාවහන් යුවලක් පිදීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත් කාශ්යප භාග්යවතුන් වහන්සේ පිරිනිවි කාලයේ දී රන්වන් සෑයෙහි කුලපුතුන් සයක් සමඟ තමා සත්වැනියාව පැවිදි විය. ඒ සත්දෙන කමටහන් ගෙන ආරණ්යයෙහි වෙසෙමින් උත්සාහ කළත් ගුණ විශේෂයක් උපදවා ගත නොහැකි විය. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ කීය. “අපි පිණ්ඩපාතයේ යමින් ජීවිතය පිළිබඳ අපේක්ෂා සහිතව වෙසෙමු. ජීවිතයේ අපේක්ෂා සහිතව ලෝකෝත්තර දහම් ඉපදවීම අසීරුය. එය කළ නොහැක. පුහුදුන්ව කළුරිය කිරීම ද දුකකි. එනිසා අපි හිණිමඟක් බැඳ පර්වතයට නැගී කයෙහිත් ජීවිතයෙහිත් අපේක්ෂා රහිතයෝ වී මහණදම් පුරමු.” එය ඇසූ ඒ සත්දෙන පර්වතයට නැංගහ.
ඔවුන්ගෙන් වැඩිමල් තෙරණුවෝ උපනිශ්රය සම්පත් ඇතිව එදිනම ෂඩ් අභිඥාලාභී මහ තෙරනමක්ව, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය රැගෙන පැමිණියහ. සෙසු සදෙන, “ස්වාමීනි! නුඹ වහන්සේ කළයුතු දෙය කර අවසන් වූවෙහිය. නුඹවහන්සේ සමඟ කථා සල්ලාපයත් අපට බාධාවකි. අපි මහණදම් පමණක්ම පුරමු. නුඹවහන්සේ තමන්ගේ දිට්ඨධම්ම සුඛ විහරණයෙහි ම නියලුණු මැනව”යි පැවසූහ. පිණ්ඩපාතය ප්රතික්ෂේප කළවිට එය කෙසේවත් පිළිගැන්වීමට නොහැකි වූ රහතන් වහන්සේ වෙනත් තැනකට වැඩම කළහ.
ඒ සදෙනාගෙන් තවත් හිමිනමක් දෙතුන් දිනකින් පංචාභිඥා සහිතව අනාගාමී ඵලයට පත්ව රැගෙන ආ පිණ්ඩපාතයද සෙස්සන් විසින් ප්රතික්ෂේප කරන ලද බැවින් වෙනත් තැනකට ගියේය. ඒ සත්දෙනාගෙන් රහතන් වහන්සේ පිරිනිවියහ. අනාගාමී තෙරණුවෝ ශුද්ධාවාසයෙහි උපන්හ. ඉතිරි පස්දෙන පුහුදුන්වම මියගොස් සදෙව් ලොව්හි අනුලෝම ප්රතිලෝම වශයෙන් දෙව් සැප විඳ, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ ඉන් චුතව එක් අයෙක් මල්ල රජ කුලයෙහි ද තවත් අයෙක් ගන්ධාර රාජ කුලයෙහි ද තවත් අයෙක් බාහිය රටේ ද තවත අයෙක් රජගහනුවර එක් සිටු දුවකගේ කුසෙහි ද පිළිසිඳ ගත්හ. ඉතිරි පුද්ගලයා එක් පරිබ්රාජිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඇය එක් ක්ෂත්රියක රජෙකුගේ දුවකි. ඇගේ මාපියෝ, “අපගේ දුව වෙනත් ආගම් දන්නියක් වේවා”යි එක් පිරිවැජියෙකුට ඇය භාරදුන්හ. ඉක්බිති එක් පිරිවැජියෙක් ඇය සමග වරදේ බැඳුණි. ඉන් ඇය ගැබ් ගත්තාය. ඇගේ ගැබ දුටු පිරිවැජියෝ ඇය අරමින් ඉවත් කළහ. ඇය වෙනත් තැනකට යන්නී අතර මඟ දී රැස්වීමකදී (සභාවකදී) දරුවා වැදුවාය. එනිසා පුතුට සභිය යන නම තැබීය. සභිය කුමරු වැඩී පිරිවැජියෙකු වී නානා විධ ශාස්ත්රයන් ඉගෙන මහාවාදියෙකු විය. වාද කරමින් ඒ මේ තැන හැසිර තමා හා සමානයකු නොදැක නුවර දොර ළඟ අසපුවක් සාදවා ගෙන, ක්ෂත්රිය කුමාරාදීන්ට ශිල්ප උගන්වමින් සිටියේය. සභියගේ මව ස්ත්රී භාවය පිළිබඳ කළකිරී එය පිළිකුල් කරන්නී ධ්යාන උපදවාගෙන බඹලොව ඉපිද සකසා ගත් ප්රශ්න විස්සක් සභියට දුන්නීය. සභිය ඒ ප්රශ්න රැගෙන ඒ ඒ ශ්රමණ බ්රාහ්මණයන්ගෙන් විචාළ නමුත් ඒවා විසඳීමට කිසිවකුට නොහැකි විය. සභිය සූත්ර වර්ණනාවෙහි “ශුද්ධාවාස” වැසි බ්රහ්මයෝ මේ ප්රශ්න සාදා දුන්නේයැ”යි කියැවේ.
මෙම කාලයේ දී පැවැත් වූ උතුම් දම්සක් පැවතුම් ඇති අප භාග්යවතුන් වහන්සේ අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයේ වෙසෙන සේක. එකල සභිය එහි ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ, ඒ ප්රශ්න විමසීය. ශාස්තෲන් වහන්සේ එම ප්රශ්න විසඳූ සේක. ඒ සියල්ල සභිය සූත්රයේ පැමිණි අයුරින් දත යුත්තේය. ඒ පැන විසඳුම් අසා පැහැදුණු සභිය ශ්රද්ධාව උපදවාගෙන සසුනේ පැවිදි ව, විදසුනේ සිත පිහිටුවා රහත් ඵලයට පැමිණියේය. සභිය තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“වැස නිම වූ බඹසර ඇති බ්රාහ්මණ වංශයෙහි උපන් දිවා විහරණයෙහි හැසිරෙන කකුසඳ බුදුරජාණන් වහන්සේට මම පය ලෑමට, පා පුවරුවක් පිදුවෙමි.