භගු ස්ථවිරගාථා වර්ණනාව
“අහං මිද්ධෙන” යනු ආයුෂ්මත් භගු තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී කුල ගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතූන්ට මලින් පූජා පැවැත්වූ ඒ සිටුකුමරු පසුව එම කුසලානුභාවයෙන් නිම්මාණරතියෙහි ඉපදුනේය. ඒ ඒ කාම සුගතීන්හි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී ශාක්ය රජකුලයේ ඉපිද භගු නාමයෙන් ප්රකට විය. පසුව අනුරුද්ධ, කිම්බිල ආදී ශාක්ය කුමරුන් සමඟම ගිහිගෙන් නික්ම පැවිදි වූ භගු තෙරණුවෝ බාලකලෝණක ග්රාමයේ වසන සේක්, දිනක් නිදිමත දුරු කිරීම සඳහා විහාරයෙන් නික්ම සක්මනට නැංගහ. එහිදි පෙරලී වැටුණු විට එයම අංකුසයක් කරගෙන කය සිත මැලි බව (ථීනමිද්ධ නීවරණය) දුරින්ම දුරු කොට විදසුන් වඩා රහත් වූහ. භගු තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම දෑසමන් මලින් මුදුන් මල් කඩක් කොට බුද්ධ දේහයට පිදුවෙමි.
එහි සිත පහදවාගත් මම නිර්මාණරතී දෙව්ලොව උපන්නෙමි. එහිදී මා කළ පින්කම සිහිකළෙමි.
හැමකල්හි මා හට අහසින් මල් වැසි වසියි. ඉදින් මම මිනිස් ලොව සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.
සියල්ල දක්නා වූ බුදුරදුන්ට කළ මල් පූජාවේ අනුහසින් මා හට මිනිස් ලොවදී ද මල් වැසි වසී.
මේ මාගේ අවසන් භවයයි. අන්තිම භවය දරන මා හට අද පවා හැමකල්හිම මල් වැසි වසී.
මීට කල්ප ලක්ෂයකට පෙරදී යම් මල් පූජාවක් කළෙම් ද ඒ පින්කමෙහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්ව ඵල සුවයෙන් ද නිවන් සුවයෙන් ද කල් යවන උන්වහන්සේ වෙත වැඩම වූ ශාස්තෲන් වහන්සේ ඒක විහාර වාසයේ වැදගත්කම ප්රකට කරවනු සඳහා “මහණ! නුඹ අප්රමාදීව වෙසෙන්නේ කෙසේ ද?”යි විචාළ සේක්, තමාගේ අප්රමාදී වූ විහරණය ප්රකට කරමින් මේ ගාථා සතර වදාළහ.
“අහං මිද්ධෙන පකතො විහාරා උපනික්ඛමිං,
චඞ්කමං අභිරූහන්තො තත්ථෙව පපතිං ඡමා”
චඞ්කමං අභිරූහන්තො තත්ථෙව පපතිං ඡමා”
“ගත්තානි පරිමජ්ජිත්වා පුනපාරුය්හ චඞ්කමං,
චඞ්කමෙ චඞ්කමිං සොහං අජ්ඣත්තං සුසමාහිතො”
චඞ්කමෙ චඞ්කමිං සොහං අජ්ඣත්තං සුසමාහිතො”
“තතො මෙ මනසීකාරො යොනිසො උදපජ්ජථ,
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ”
ආදීනවො පාතුරහු, නිබ්බිදා සමතිට්ඨථ”
“තතො චිත්තං විමුච්චි මෙ, පස්ස ධම්මසුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
එහි “මිද්ධෙන පකතො” කයෙහි අලස බව නම් වූ සිතේ කරදරකාරී බවක් නොමැති කල්හි ඇතිවන නිදිමතින්, කයේ මැලිබවින් මඬනා ලද්දෙම්. “විහාරා” විහාරයෙන්, සෙනසුනින්, “උපනික්ඛමි” සක්මන් කිරීමට නික්මුණෙමි. “තත්ථෙව පපතිං ඡමා” එහිම, ඒ සක්මන් මළුවෙහිම නිදිමත නිසා වැටුනෙමි. බිම පෙරලුනෙමි. “ගත්තානි පරිමජ්ජිත්වා” බිම වැටීමෙන් අවයවයන්හි තැවරුණු පස් දූවිලි පිසදමා ශරීරාංග පිරිමැද, “පුනපාරුය්හ චඞ්කමං” “මම වැටුනෙමි” යි හැකිලීමට-පසුබෑමට නොගොස් නැවත සක්මනට නැග. “අජ්ඣත්තං සුසමාහිතො”, ගෝචර නම් වූ අධ්යාත්මයෙහි වැඩූ කමටහනින් නීවරණ ධර්ම මුලිනුපුටා දමා මනාව සංසිඳුණු එකඟ සිත් ඇත්තෙකුව සක්මන් කළෙමි” යනු අදහසයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය. මේ සිවුගාථා භගු තෙරණුවන්ගේ රහත් බව ප්රකාශ කරන ගාථා ද විය.
භගු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සභිය ස්ථවිරගාථා වර්ණනාව
“පරෙච” යනු ආයුෂ්මත් සභිය තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උණ්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත්, කකුසඳ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ විහාරයෙන් නික්ම වැඩම කරනු දැක පහන් සිතින් පාවහන් යුවලක් පිදීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත් කාශ්යප භාග්යවතුන් වහන්සේ පිරිනිවි කාලයේ දී රන්වන් සෑයෙහි කුලපුතුන් සයක් සමඟ තමා සත්වැනියාව පැවිදි විය. ඒ සත්දෙන කමටහන් ගෙන ආරණ්යයෙහි වෙසෙමින් උත්සාහ කළත් ගුණ විශේෂයක් උපදවා ගත නොහැකි විය. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ කීය. “අපි පිණ්ඩපාතයේ යමින් ජීවිතය පිළිබඳ අපේක්ෂා සහිතව වෙසෙමු. ජීවිතයේ අපේක්ෂා සහිතව ලෝකෝත්තර දහම් ඉපදවීම අසීරුය. එය කළ නොහැක. පුහුදුන්ව කළුරිය කිරීම ද දුකකි. එනිසා අපි හිණිමඟක් බැඳ පර්වතයට නැගී කයෙහිත් ජීවිතයෙහිත් අපේක්ෂා රහිතයෝ වී මහණදම් පුරමු.” එය ඇසූ ඒ සත්දෙන පර්වතයට නැංගහ.
ඔවුන්ගෙන් වැඩිමල් තෙරණුවෝ උපනිශ්රය සම්පත් ඇතිව එදිනම ෂඩ් අභිඥාලාභී මහ තෙරනමක්ව, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය රැගෙන පැමිණියහ. සෙසු සදෙන, “ස්වාමීනි! නුඹ වහන්සේ කළයුතු දෙය කර අවසන් වූවෙහිය. නුඹවහන්සේ සමඟ කථා සල්ලාපයත් අපට බාධාවකි. අපි මහණදම් පමණක්ම පුරමු. නුඹවහන්සේ තමන්ගේ දිට්ඨධම්ම සුඛ විහරණයෙහි ම නියලුණු මැනව”යි පැවසූහ. පිණ්ඩපාතය ප්රතික්ෂේප කළවිට එය කෙසේවත් පිළිගැන්වීමට නොහැකි වූ රහතන් වහන්සේ වෙනත් තැනකට වැඩම කළහ.