යසොජ ස්ථවිරගාථා වර්ණනාව
“කාල පබ්බඞ්ගසංකාසො” යනු ආයුෂ්මත් යසෝජ තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ පැතුම් ඇතිව, ඒ ඒ භවයේදී පින් රැස්කරමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ආරාමය ආරක්ෂා කරන පවුලෙහි උපන්හ. දිනක් ඒ කුමරු වැඩිවියට පත්ව සිටියේ, විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩිනු දුටුවේය. ඔහු පහන් සිතින් රට දෙල් ගෙඩියක් පිදීය.
ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේදී සැවැත් නුවර දොර කෙවුල් ගමෙහි පන්සීයක් පවුල්වලට නායකයා ගේ පුතු ව උපන්නේ ය. යසෝජ නාමය තැබූ ඔහු වැඩිවියට පත්වම තම යහලු වූ කෙවුල් පුතුන් සමග මසුන් ඇල්ලීමට අචිරවතී නදියට ගොස් දැලක් දැමීය. ඒ දැල තුලට එක් රන්වන් මහා මත්ස්‍යයෙක් ඇතුළු විය. යසෝජ ඒ මාළුවා ගෙන ගොස් පසේනදී කොසොල් රජුට දැන්වීය. රජතුමා “මේ මාළුවාගේ රන්වන් වීමට හේතුව භාග්‍යවතුන් වහන්සේ දන්නේයැ”යි කියා මාළුවාත් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙන ගොස් දැක්වීය. භාග්‍යවතුන් වහන්සේ “මෙතෙම කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පිරිහෙන කාලයේ දී පැවිදිව, වැරදි පිළිවෙත් වලින් සසුන පිරිහවා නිරයේ උපන්නේ ය. එක් බුද්ධාන්තරයක්ම නිරයේ පැසී ඉන් චුතව අචිරවතියේ මත්ස්‍යයෙක් ව උපන්නේ ය. ඔහුගේ නැගණිවරු ද නිරයේ උපන් බවත් සොහොයුරු වූ තෙරුන්ගේ පිරිනිවීමත් යන සියලු කථාන්තරය කපිල සූත්‍රය ඇසුරින් දක්වන ලදි.
එම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසූ යසෝජ සංවේගයෙන් තම යහලුවන් සමගම බුදු සසුනේ පැවිදිව යෝග්‍යස්ථානයක වෙසෙනුයේ, දිනක් පිරිවර සහිතව භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා ජේතවනාරාමයට ගියේය. උන්වහන්සේගේ පැමිණීමත් සමග සෙනසුන් පැනවීම් ආදියෙන් විහාරයේ මහත් කලබල බවක්, මහත් ශබ්දයක් ඇති විය. ඒ හඬ ඇසූ භාග්‍යවතුන් වහන්සේ “පිරිවර සහිත වූ යසෝජ හිමියන් එලවා දමවු”යි යනාදී ලෙස උදාන පාළියේ දැක්වූ පරිදි එළවා දැමූ සේක. එළවා දැමූ ආයුෂ්මත් යසෝජ තෙරුන් කස පහර ලද භද්‍ර වූ අජානීය අශ්වයකු මෙන් සංවේගපත් සිතින් පිරිස සමග වග්ගුමුදා නදී තෙර වෙසෙමින් වීර්ය වඩා, උත්සාහ කර විදසුනට සිත් යොමුකර වස් කාලය ඇතුලතදී ම ෂඩ් අභිඥාලාභී විය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“එකල මම බන්‍ධුමතී නුවර ආරාම වතාවත් කරන්නෙක් වූයෙමි. අහසෙහි වඩින කෙලෙස් විරහිත බුදුරදුන් දුටුවෙමි.
දෙල් ගෙඩියක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිළිගැන්වීමි. මගේ ප්‍රීතිය ඇතිකරවන, මෙලොවදී ම සැප ගෙන දෙන, මහත් යසස් ඇති බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ හිඳිමින්ම එය පිළිගත් සේක.
ඵල පූජාව කිරීමෙන් මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබූ මම ඒ ඒ භවයේ ඉපිද රත්රුවන් ලැබූවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.
-පෙ- දැන් ම විසින් බුද්ධානුශාසනාව කරන ලදි.”
ෂඩ් අභිඥාලාභී වූ පිරිස සහිත ආයුෂ්මත් තෙරණුවන් කැඳවූ ශාස්තෲන් වහන්සේ අකම්පිත පිළිසඳර කථා කළ සේක. උන්වහන්සේ සියලුම ධූතාංග ධර්ම සමාදන්ව සිටියහ. එනිසා යසෝජ තෙරුන්ගේ සිරුර ඉතා කෘෂ දුර්වර්ණ රළු වූවක් විය. භාග්‍යවතුන් වහන්සේ ඒ පරම අල්පේච්ඡතාවය පසසන සේක් මේ පළමු ගාථාව වදාළහ.
“කාල පබ්බංග සංකාසො - කිසො ධමනිසන්‍ථතො,
මත්තඤ්ඤූ අන්නපානස්මිං අදීන මනසො නරො”
එහි “කාල පබ්බංගසංකාසො” මස් රැස්කිරීම, වර්ධනය කිරීම දුරලූ බැවින් කෘශ වූ නපුරු වූ ශරීරාවය ඇති, කළුවැල් පුරුක් බඳු වූ ශරීරාංග ඇති, එනිසා කියන ලදි. “කිසො” මොන්‍යෙය ප්‍රතිපදාව පිරීමෙන් කෘශ වූ ශරීර ඇති, “ධමනිසත්‍ථතො” අල්ප වූ මස් ලේ ඇති ශරීරයේ ප්‍රකට වූ ඉල්පුණු නහරවැලින් පිරී ගිය සිරුරු ඇතිව මහ නහර, ශිරා පැතිරී ශරීරය ඇතිව, “මත්තඤ්ඤූ” සොයන, පිළිගන්නා, පරිභෝග කරන, අත්හරින භෝජනයෙහි පමණ දන්නා. “අදීනමනසො” කුසීත බව ආදියෙන් නොමැඩලූ බැවින් ස්ථිර සිත් ඇති. කම්මැලි නොවූ පැවැත්ම. “නරො” පුරුෂයා. සාමාන්‍ය පුරුෂයකුගේ බර ඉසිලීමට සමත් වූ පුරුෂ ලක්ෂණයේ, පුරුෂ වීර්යයෙන් යුතු.
මෙසේ යසෝජ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් පසසන ලද ඒ ගුණ මහිම තමා තුළ වේ යැයි වීර්යාරම්භය, විවේකයේ ඇලීම ආදි ගුණ ප්‍රකට කිරීම් වශයෙන් භික්‍ෂූන්ට දහම් දෙසමින් මේ ගාථා දෙක වදාළහ.
“ඵුට්ඨො ඩංසෙහි මකසෙහි, අරඤ්ඤස්මිං බ්‍රහාවනෙ,
නාගො සංගාම සීසෙව, සතො තත්‍රාධිවාසයෙ”
“යථා බ්‍රහ්මා තථා එකො, යථා දෙවො තථා දුවෙ,
යථා ගාමො තථා තයො, කොලාහලං තතුත්තරිං”
එහි “නාගො සංගාමසීසෙවා” යම් සේ ආජානෙය්‍ය ඇත් රජු යුධ මැද දී කඩු, හී, තෝමරාදී පහර ඉවසමින් සතුරු සෙනඟ විධ්වංසනය කරන්නේ ද එසේම කැළයෙහි වෙසෙන භික්‍ෂුව ද ආරණ්‍යක වූ මැසිමදුරු ආදී උපද්‍රව සිහි ඇතිව ඉවසන්නේ ය. එසේ ඉවසමින් භාවනා බලයෙන් මාර බලය සුණුවිසුණු කරන්නේ ය.
“යථා බ්‍රහ්මා” බ්‍රහ්මයා හුදකලාව සිත් කෝපවීම් විරහිතව නිරන්තරව ධ්‍යාන සුවයෙන්ම සුවපත් ව වසන්නේ යම් සේද එසේම “එකො” භික්‍ෂුව ද තනිව, හුදකලාව විවේක සැපය විඳිමින් සැප විඳියි. හුදකලා වූ ශ්‍රමණයාගේ සැපය ඉතා උසස් යැයි කියන ලදි. මේ ප්‍රකාශයෙන් හුදකලාව වෙසෙන භික්‍ෂුව බ්‍රහ්මයකු වැනි යැයි අවවාද දෙයි. “යථා දෙවො තථා දුවෙ” දෙවියන් අතර සිත් කෝපවීම් ආදිය ඇතිවන්නාක් මෙන් භික්‍ෂූන් දෙදෙනෙකු සිටින විට, එක්ව විසීමේ දී ගැටුම් ද ඇති වේ. එනිසා දෙදෙනෙකු සමග විසීම දෙවියන් හා සමවූවකි. “යථා ගාමෙ තථා තයො” මෙය අප පාඨයකි. තිදෙනෙක් වූ භික්‍ෂුව එක්ව විසීම ගමක විසීම හා සමය. විවේක වාසයක් නොවේ යන අදහසයි. “කොලාහලං තතුත්තරිං” තිදෙනෙකුට වඩා වූ බොහෝ පිරිසක් සමග විසීමෙන්, කෝලාහලයක්, මහත් - උස් ශබ්ද ඇති මහාජන සන්නිපාතයක් හා සමාන කලබලයක් ඇති වේ. “එනිසා හුදකලා වාසය කිරීම අගනේය” යන අදහසයි.