සාටිමත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“අහු තුය්හං පුරෙ සද්ධා” යනාදී ගාථා ආයුෂ්මත් සාටිමත්තිය තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී පින් රැස් කරමින් අවුත් සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටු කුමරු දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් තල් අත්තක් (වටාපතක්) දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරි සැරූ හෛතම, මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට බමුණු කුලයක ඉපිද සාටිමත්තික නමින් ප්රකට විය. ඔහු තුරුණු වියට පැමිණ පූර්ව හේතු සම්පත් ඇති බැවින් ආරණ්යයක භික්ෂූන් සමීපයේ පැවිදි වී විදසුන් කමටහන වඩා ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“මම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට රන් රුවනින් වසන ලද තල් වටක් දුන්නෙමි. එයින් මහත් යසස් දරමි.
මීට කල්ප අනූ හතරකට පෙර මම තල් අත්තක්, වටාපතක් පිදුවෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ භික්ෂූන්ට අවවාද දෙති. අනුශාසනා කරති. බොහෝ සත්ත්වයන්ට ධර්මය දෙසමින් සරණ සිල්හි පිහිටුවති. එක්තරා ශ්රද්ධාව නැති අප්රසාද වූ පවුලක් බුදුසමයෙහි විශේෂයෙන් පැහැදුණු බවට පත් කළහ. එනිසා එම පවුලට අයත් මිනිස්සු තෙරුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම පැහැදුණහ. එම පවුලේ එක් රූමත් දැකුම්කළු දැරිවියක් පිඬුපිණිස වැඩම කළ තෙරුන්ට මැනවින් සකසා දානය පූජා කරන්නීය. දිනක් මාරයා “මෙසේ කිරීමෙන් මේ තෙරුන්ගේ අපකීර්තිය වැඩේ. සසුනේ පිහිටක් නොලැබේ” යැයි සිතා තෙරුන්ගේ රුව මවාගෙන ගොස් ඒ දැරියගේ අත අල්ලා ගත්තේය. දැරිය “මේ මනුෂ්ය ස්පර්ශයක් නොවේ” යැයි සිත දැනගත්තී අත මුදාගත්තීය. මෙය දුටු ඒ ගෙදර වැසියෝ තෙරුන් පිළිබඳව අප්රසාදයක් ඇතිකර ගත්හ. දෙවැනි දිනයේ සාටිමත්තිය තෙරුන් එම කාරණය සිහි නොකරම ඒ ගෙදරට පිඬුසිඟා වැඩි නමුත් ඒ ගෙදර මිනිස්සු අනාදර-අප්රසාද බවක් දැක්වූහ. එවිට තෙරණුවෝ ඊට හේතු විමසා බැලූහ. පෙරදින මාරයාගේ ක්රියාව දුටු තෙරණුවෝ ඔහුගේ බෙල්ලෙන්ම බලුකුණ ඉවත්කරමියි අධිෂ්ඨාන කොට, ඒ දුෂ්ට ක්රියාවෙන් තෙරුන් මුදවා ගැනීමට පැමිණි මාරයා ලවා පෙරදින සිදු වූ ඒ පුවත තත්වාකාරයෙන්ම ප්රකාශ කරවා, මාරයා බිය කරවා, තර්ජනය කර අත්හැරියහ. ඒ දුටු ගෙදර ප්රධානියා, “ස්වාමීනි! වරදට සමාවනු මැනවි” යි තෙරුන්ගෙන් සමාව ගෙන, “ස්වාමීනි! මම අද පටන් ඔබ වහන්සේට උපස්ථාන කරමි”යි පැවසීය. තෙරණුවෝ ඔහුට දහම් දෙසන සේක් මේ ගාථා තුන වදාළහ.
“අහුතුය්හං පුරෙ සද්ධා - සාතෙ අජ්ජ න විජ්ජති,
යං තුය්හං තුය්හමෙවෙතං - නත්ථි දුච්චරිතං මම”
යං තුය්හං තුය්හමෙවෙතං - නත්ථි දුච්චරිතං මම”
“අනිච්චා හි චලා සද්ධා - එවං දිට්ඨාහි සාමයා,
රජ්ජන්ති පි විරජ්ජන්ති - තත්ථ කිං ජීය්යතෙ මුනි”
රජ්ජන්ති පි විරජ්ජන්ති - තත්ථ කිං ජීය්යතෙ මුනි”
“පච්චති මුනිනො භත්තං - ථොකථොකං කුලෙ කුලෙ,
පිණ්ඩිකාය චරිස්සාමි - අත්ථි ජංඝා බලං මම”
පිණ්ඩිකාය චරිස්සාමි - අත්ථි ජංඝා බලං මම”
එහි “අහු තුය්හං පුරෙ සද්ධා සා තෙ අජ්ජ න විජ්ජතී” උපාසකය, මීට පෙර නුඹ මා කෙරෙහි, “මෙ ආර්යයන් වහන්සේ ධර්මයෙහි හැසිරෙන්නෙකි. ධාර්මිකව හැසිරෙන්නෙකි”යි ආදී වශයෙන් ශ්රද්ධාවෙන් යුතු විය. ඒ ශ්රද්ධාව දැන්, අද නුඹ හට නැති විය. එනිසා මේ දෙය නුඹහටම වේවා. සිවුපස දීම හෝ නොදීම නුඹගේම කටයුත්තකි. ඉන් මා හට වන අර්ථයක් ලාභයක් නැත. යහපත් වූ පැහැදුණු සිතින්ම දන් දිය යුතුයි” යන අදහසයි. නැතහොත් “නුඹලා කරගත් දෙය නුඹලාටම ලැබේ. නුඹ අද මා කෙරෙහි අගෞරව දැක්වීද එය ද නුඹටම අයත් ය. එහි විපාක නුඹ විසින්ම අනුභව කළ යුතු වේ. ම විසින් නොවේ” යන අර්ථයයි. “නත්ථි දුච්චරිතං මම” යනු මගේ දුශ්චරිතයක් නම් නැත. ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන්ම දුශ්චරිතයට හේතු වූ කෙලෙස් දහම් මුලිනුපුටා හළ බැවිනි.
“අනිච්චාහි චලා සද්ධා” පුහුදුන් ශ්රද්ධාව, චල ශ්රද්ධාව අනිත්ය වූවකි. එය ස්ථිරව නොපිහිටයි. එනිසාම “චල” නම් වේ. අසුපිට තැබූ මැටි බඳුනක් මෙන් ද දහයියා ගොඩේ සිට වූ කණුවක් මෙන් ද අස්ථිරය. චංචලය. “එවං දිට්ඨාහි සා මයා” මෙසේ වූ ඒ ශ්රද්ධාව ම විසින් නුඹ කෙරෙහි ඇති බව ප්රත්යක්ෂයෙන්ම දැනගන්නා ලද්දේය. “රජ්ජන්ති පි විරජ්ජන්ති” මෙසේ වූ ඒ අස්ථිර භාවය නිසාම මේ සත්ත්වයෝ ඇතැම් දිනෙක, ඇතැම් තැනෙක මිත්ර පැවතුම් වශයෙන් ඇලෙති. සෙනෙහස දක්වති. ඇතැම් දිනෙක විරුද්ධ වෙති. නොඇලුණු සිත් ඇත්තෝ වෙති. “තත්ථ කිං ජීය්යතෙ මුනි” ඒ පුහුදුන් පුද්ගලයන්ගේ ඇලීමෙහිදීත් ගැටීමෙහිදීත් මුනිවරයාට, පැවිද්දාට පිරිහීමක් වේ ද? ඔහුට කුමන හානියක් සිදුවේද? හානියක්, පිරිහීමක් නොවේ යන අර්ථයයි.
“ඉදින් මාගේ සිවුපසය නොගන්නෙහි නම් නුඹ වහන්සේ කෙසේ නම් යැපෙන්නෙහිද?” යනුවෙන් නොසිතිය යුතු බව දක්වමින්, ඊට පිළිතුරු ලෙස “පච්චති” යන තෙවන ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේ ය. “පැවිදි වූ මුනිවරයාට ආහාර ගෙයක් ගෙයක් පාසා දිනපතාම ටික ටික පැසෙයි. නුඹේ ගෙයිම පමණක් එසේ පැසෙන්නේ නොවේ. “පිණ්ඩිකාය චරිස්සාමි අත්ථි ජංඝාබලං මම” මාගේ ජංඝා (කෙණ්ඩ) ඉතා ශක්තිමත් ය. බිඳුණු කුදු වූ හෝ රෝග සහිත පා මට නැත. එනිසා පිඬු පිණිස, මිශ්රාහාර පිණිස හැසිරෙන්නෙමි. “බඹරා මල්වලින් රොන් ගන්නාක් මෙන්” ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ වදාළ ආකාරයෙන් ගමෙහි හැසිර යැපෙන්නෙමි”යි දක්වයි.
සාටිමත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.