උපාලි ස්ථවිරගාථා වර්ණනාව
“සද්ධාය අභිනික්ඛම්ම” ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී නුවර සිටුගෙයක ඉපිද, දිනක් ශාස්තෲන් වහන්සේගේ දැහැමි කථාව අසමින් සිටිය දී එක් භික්‍ෂුවක් විනයධාරීන් අතරින් අග තනතුරෙහි තබනු දැක, එම තනතුර කැමතිව ප්‍රාර්ථනා කළ සේක. දිවි ඇති තාක් පින් දහම් කළ හෙතෙම දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී කරණවෑමි කුලයේ ඉපිද උපාලි නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු අනුරුද්ධ ආදී ක්‍ෂත්‍රීය කුමාරවරු සදෙනාට ඉතා ප්‍රියමනාපව සිටියේය. අප තථාගතයන් වහන්සේ අනුපිය අඹවනයේ වෙසෙන කල්හි පැවිදිවීම පිණිස නික්මුණු ඒ ක්‍ෂත්‍රීය කුමරු සදෙනා සමග නික්මී පැවිදි විය. ඔහුගේ පැවිදිවීම පිළිබඳ තොරතුරු ත්‍රිපිටක පෙළෙහි ඇත.
පැවිදි වූ උපාලි හිමියෝ උපසම්පදාව ලබා භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ගෙන, “ස්වාමීනි, මා හට ආරණ්‍යවාසය අනුදත්තා සේක්වා”යි ඉල්වූහ. “මහණ! නුඹට අරණ්‍ය වාසයෙන් එකම ධුරයක් වර්ධනය වේ. අපගේ සමීපයේ විසීමෙන් නුඹට විපස්සනා ධුරයත්, ග්‍රන්ථ ධුරයත් යන දෙකම සම්පූර්ණ වන්නෙහිය” යනුවෙන් වදාළ ශාස්තෲන් වහන්සේගේ වදන් පිළිගත් උපාලි තෙරණුවෝ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“හංසවතී නුවර රැස් කරගත් අසූ කෙළක් ධනය ඇති, සමෘද්ධිමත් ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ, මන්ත්‍ර දරන්නා වූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය, ලක්‍ෂණ ශාස්ත්‍රයේ ද ඉතිහාසයෙහි ද බමුණු ධර්මයේ ද පරතෙරට ගිය සුජාත නම් බමුණෙක් වීමි.
එකල එක් සිළුවක් ඇති ඒකසිඛයෝ ද පිරිවැජියෝ ද ගෝතමසෘෂිහුගේ ශ්‍රාවකයෝ ද චරකයෝ ද තවුසෝ ද පොළොවෙහි හැසිරෙති.
ඔවුහු ද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකැයි මා පිරිවරති. බොහෝ දෙන මට පුදති. මම කිසිවෙකු නො පුදමි.
තථාගතයන් ලොව පහළ නොවනතාක්ම “බුද්ධ” යන වචනය පවා ලෝකයේ නැත. එකල මම මානයෙන් තදවූයෙම් පිදිය යුත්තෙකු නොදුටුවෙමි.”
“බොහෝ දිවා රාත්‍රී පසුවීමෙන් පසැස් ඇති පදුමුත්තර නම් වූ ලෝකනායකයන් වහන්සේ ලොව පහළ වූහ.
ලොව සියලු අඳුරු දුරුකොට, බුදුසසුන පැතිරුණු කල්හි මැනවැයි සම්මතව අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුපියාණන් වහන්සේ හංසවතී නුවරට වැඩම කළහ.
පසැස් ඇති බුදුපියාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස දහම් දෙසූහ. එකල්හි පිරිසද හාත්පස යොදුනක් පමණ තැන්හි පැතිරුණේය.”
“මිනිසුන් අතර සුනන්ද නමින් ප්‍රකට තවුස්තෙම බුදුපිරිස වැසෙන සේ මල් වලින් පූජා කළේය.
මල් මඩුවෙහි (පූජ්‍ය මණ්ඩපයෙහි) හිඳිමින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කළ කල්හි කෙළ ලක්ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලැබුණි.
පස්මරුන් දිනූ බුදුරජාණෝ සතියක්ම දහම් වැසි වස්වා අටවන දින සුනන්දට මෙසේ වදාළහ.
“මෙතෙම සසරෙහි දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරන්නේ ය. භවයන්හි සියල්ලන්ටම උතුම්ව හැසිරෙන්නේ ය.
කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයේ උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲහු ලොව පහළවෙති.
ඒ උතුම් ගෞතම බුදුසසුනේ ධර්මයට දායාද වූ බුදුරදුන්ගේ ඖරස පුත්‍ර වූ ධර්මයෙන්ම මවන ලද වැනි වූ පුණ්ණමන්තානි පුත්ත නම් බුද්ධ ශ්‍රාවකයා වන්නේ ය.”
එකල සම්බුදුරජාණෝ සියලු දෙනා සතුටු කරමින් තම බලය ද දක්වමින් සුනන්ද තවුසාට පැවසූ මෙ වදන් ඇසූ ජනයෝ ඇඳිලි බැඳගෙන, “බුදුරජාණන් කෙරෙහි පින්කම් කොට තම ගතිය පිරිසිදු කළේය” යි සුනන්ද තවුසාට නමස්කාර කළහ.”
“බුදුපියාණන් වහන්සේගේ වදන් ඇසූ මට ද මෙසේ සිතුණි.” යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුහු දැකිය හැකිවේ ද මම ද එබඳු පින්කමක් කරමි” යැයි සිතූ මම “ඒ සඳහා කළ යුතු පින්කම කුමක්ද?”යි සෙවූවෙමි. ඉතා උතුම් වූ පින්කෙතක් වූ තුණුරුවනට මම කවර පූජාවක් කරම් ද?”යි සිතුවෙමි.
“පදුමුත්තර බුදුරජාණෝ පාඨික නම් භික්‍ෂුව බුදුසසුනේ සියලු මධුස්වර පාඨකයක් අතුරින් ද විනයෙහි ද අග්‍රස්ථානයෙහි තැබූහ. මම ඒ තනතුර පැතීමි.
මාගේ මේ අපමණ සම්පත් සයුර මෙන් නොකැළඹිය හැකිය. ඒ මාගේ ධනයෙන් බුදුරදුනට ආරාමයක් කරවීමි.
නගරයට නැගෙනහිරින් වූ සෝභන නම් උයන ලක්ෂයකට මිලදී ගෙන එහි සංඝාරාමයක් කරවීමි.
එහි කුළු ගෙවල් ද ප්‍රාසාද ද මණ්ඩප ද සඳලු සහිත ගෙවල් ද දොර නොලූ ගුහාවන් ද සක්මන් මළු ද මනාව සැකසූවෙමි.
ජන්තාඝරය ද ගිනිගෙය ද පැන් කල තබන ගෙය ද නහන ගෙය ද කරවා සංඝයාට පිදුවෙමි.
දික්සඟලා පුටු ද කුඩා පුටු ද පරිභෝග භාජන ද ආරාමිකයන්ට දෙන බෙහෙත් ද යන සියල්ල දුන්නෙමි.
සන්සුන් සිත් ඇති, අකම්ප්‍ය වූ ගුණ ඇති උතුමන්ගේ ගුණයන්ට කිසිවෙකු පීඩා නොකෙරෙත්වා යි ආරක්ෂාව දැඩිකොට තබා පවුරක් කරවීමි.
ලක්‍ෂයක් ධන වියදමින් ඒ සංඝාරාමයේ කරවූ ආවාසය ඉතා උසස් බවට පමුණුවා බුදුරදුන්ට පිදුවෙමි.”