උත්තරපාල ස්ථවිරගාථා වර්ණනාව
“පණ්ඩිතං වත ම සන්තං” යනු ආයුෂ්මත් උත්තරපාල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇතිව, ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ වඩින මග ඒදණ්ඩක් කරවූහ. හෙතෙම ඒ පිනේ විපාක විඳිමින් දෙවි මිනිසුන් අතර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර බමුණු කුලයක ඉපිද උත්තරපාල නමින් ප්‍රකට විය. බුදුපියාණන් වහන්සේගේ යමා මහ පෙළහර දැකීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇති ඒ බමුණා පැවිදිවී මහණදම් පිරුවේය. උත්තරපාල තෙරුන්ට දිනක් අනුවණින් සිහිපත් කළ පෙර අත්විඳි අරමුණක් නිසා කාමරාගය උපන්නේය. උන්වහන්සේ වහාම එය දැන බඩු සහිත සොරෙකු අල්ලාගත්තාක් මෙන් තම සිතට දැඩි සේ නිග්‍රහ කොට, සංවේගයට පත් ව ප්‍රතිවිරුද්ධ අරමුණු සිහිපත් කරමින් කෙලෙස් යටපත් කළහ. විදසුන් කමටහන වඩමින් සිත භාවනාවට යොමුකළ උන්වහන්සේ රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“එකල මම විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය ඉදිරියෙහි පහන් සිතින්, සතුටින් යුතුව ඒදණ්ඩක් කරවූයෙමි.
මීට කල්ප අනූ එකකට පෙර සෑදූ ඒ සේතු පූජාවේ අනුසස් වශයෙන් මම දුගතියකට නොගියෙමි. ඒ දඬු පූජවේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් තෙරණුවෝ තම පිළිවෙත් මඟ නැවත සිහිපත් කර බලා සිංහ නාද පවත්වන සේක්, මේ ගාථා තුන වදාළහ.
“පණ්ඩිතා වත මං සන්තං අලමත්‍ථ විචින්තකං,
පඤ්චකාම ගුණා ලොකෙ සම්මොහා පාතයිංසු මං”
“පක්ඛන්නො මාරවිසයෙ දළ්හසල්ල සමප්පිතො,
අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං”
“සබ්බෙ කාමා පහීණා මෙ, භවා සබ්බෙ විදාළිතා,
වික්ඛිණො ජාති සංසාරො, නත්‍ථිදානි පුනබ්භවො”
එහි “පණ්ඩිතං වත මං සන්තං” සුතමය හා චින්තාමය ප්‍රඥා වශයෙන් වූ නුවණැති භාවයෙන් යුක්ත මා වැනි වූ. “අලමත්‍ථවිචින්තකං” තමාගේ ද අනුන්ගේ ද හිත වැඩ සැලසීමෙහි, ඒ පිළිබඳ සිතීමෙහි සමත් වූ. නැතහොත් “අලං” යනු පර්යාප්ති සද්ධර්මයයි. එහි අර්ථ සෙවීමෙහි, කෙලෙසුන් මුලිනුපුටා දැමීමෙහි, අර්ථ දැකීමෙහි දක්ෂ වූ. තෙරණුවෝ මේ තමාගේ අන්තිම භවය බැවින් මේ සියලුම ප්‍රකාශයන් සිදු කළහ. “පඤ්චකාමගුණා” රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ යන පස්කම් සැපයෙහි. “ලොකෙ” ඒ පංචකාමයන්ගේ පවතින ස්ථානය දක්වයි. මොලොව. “සම්මොහා” මුලාවට නිමිති වූ හේතු වූ. අනුවණින් මෙනෙහි කිරීමේ හේතුවෙන්. මුලාවූ, මුලාව ඇති කරන. “පාතයිංසු” වීරභාවයෙන් එය හෙළා දැමුවෙමි. “ලෝකයෙන් මිදෙනු කැමති මම ලෝකයට අයත් (ලෞකික) ධර්මතා දුරලූයෙමි” යන අර්ථයයි.
“පක්ඛන්තො” පිවිසියෙහි. බැසගතිමි. “මාරවිසයෙ” කෙලෙස් මාර විෂයෙහි. “කෙලෙස් මරුට ගෝචර වූ ස්ථානයෙහි. ඔහුගේ වසඟයට ගිය තැන්හි.” යන අර්ථයයි. නැතහොත් දේවපුත්‍ර මාරයාගේ පාලනයට පිවිස සිටියෙමි. ඇතුලත් වූයෙමි. “දළ්හසල්ලසමප්පිතො” දැඩි ස්ථිර, දැඩි වූ සිතින් යුක්තවූයෙමි. දැඩි රාග නම් සැතින් හදවත දැඩි සේ විඳිනා ලද්දෙමි. “අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං” ආර්ය මාර්ගය නම් අඬුවෙන් රාග ආදී කෙලෙස් හුල් ඉතිරි නොකරම උදුරා දමමින් ම, රාග භව බන්‍ධන නම් වූ මරුගේ පාශයෙන් (උගුලෙන්) මාහට මිදීමට හැකි විය. ඉන් තමා මුදවා ගත්තෙමි.
එසේම සියලු කාමයෝ ප්‍රහීණ කලෙමි. මාගේ සියලු භවයෝ නසන ලද්දෙමි. වස්තු ආරම්මණාදී නොයෙක් ප්‍රභේද සහිත සියලු කෙලෙස් කාමයන් ආර්ය මාර්ගයේ උපකාරයෙන් මවිසින් සමුච්ඡේද වශයෙන් ම මුලිනුපුටා දමන ලද්දෙමි. කෙලෙස් කාමයන් ප්‍රහීණ වූ විට වස්තුකාමයන් ද ප්‍රහීණ වූයේමය. එසේම කාම, භව, කර්ම භවාදී සියලු භවයෝ මග නුවණින් නැසුවෙමි. විධ්වංසනය කළෙමි. කර්ම භව නැසූ විට උත්පත්ති භව ද නැසුවේම වේ. මෙසේ කර්ම භව නැසූ බැවින් ම ක්‍ෂය වූ සංසාරික ඉපදීම ඇති බැවින් දැන් මා හට පුනර්භවයක් නැත. එහි අර්ථ ඉහත කී පවසන ලද පරිදි දත යුතුයි. මෙම ගාථාවන්ම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථා ද විය.
උත්තරපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අභිභූත ස්ථවිරගාථා වර්ණනාව
“සුනාථ ඤාතයො සබ්බෙ” යනු ආයුෂ්මත් අභිභූත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ඒ සිටුකුමරු තමාට ගැලපෙන කළණ මිතුරන් ඇසුරු කළ හෙයින් බුදුසසුනෙහි වඩාත් ප්‍රසන්න වූවෙක් විය. හෙතෙම ශාස්තෲන් වහන්සේ පිරිනිවීමෙන් පසු ධාතු ගැනීමට මහජනයා උත්සාහවත් වූ විට, සියල්ලන්ටම පළමුව සුවඳ දියෙන් චිතකය නිවූයේය. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසරා පැමිණි හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී වේඨිපුර නුවර රජගෙයි ඉපිද අභිභූත නමින් පියාගේ ඇවෑමෙන් පසුව රජකමට පත්විය. ජනපද චාරිකාවෙහි යෙදුණු බුදුපියාණන් වහන්සේ මෙසෙමයේ දී අනුපිළිවෙලින් ඒ නගරයට වැඩම කළ සේක”යි අසා ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ ධර්ම ශ්‍රවණය කළේය. දෙවැනි දින මහා දානයක් දුන්නේය. වළඳා අවසන භාග්‍යවතුන් වහන්සේ රජුගේ අදහස්වලට ගැලපෙන සේ පුණ්‍යානුමෝදනා කරමින් විස්තරාර්ථ සහිත ධර්ම දේශනාවක් කළ සේක. එයට සවන්දුන් රජු ලැබූ ශ්‍රද්ධා ඇතිව, පැහැදීම් ඇතිව රජකම හැර දමා සසුනේ පැවිදිව අරහත් ඵලය සාක්‍ෂාත් කරගත්තේය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.