අභිභූත ස්ථවිරගාථා වර්ණනාව
“සුනාථ ඤාතයො සබ්බෙ” යනු ආයුෂ්මත් අභිභූත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් රැස් කරමින් අවුත් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ඒ සිටුකුමරු තමාට ගැලපෙන කළණ මිතුරන් ඇසුරු කළ හෙයින් බුදුසසුනෙහි වඩාත් ප්‍රසන්න වූවෙක් විය. හෙතෙම ශාස්තෲන් වහන්සේ පිරිනිවීමෙන් පසු ධාතු ගැනීමට මහජනයා උත්සාහවත් වූ විට, සියල්ලන්ටම පළමුව සුවඳ දියෙන් චිතකය නිවූයේය. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසරා පැමිණි හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී වේඨිපුර නුවර රජගෙයි ඉපිද අභිභූත නමින් පියාගේ ඇවෑමෙන් පසුව රජකමට පත්විය. ජනපද චාරිකාවෙහි යෙදුණු බුදුපියාණන් වහන්සේ මෙසෙමයේ දී අනුපිළිවෙලින් ඒ නගරයට වැඩම කළ සේක”යි අසා ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ ධර්ම ශ්‍රවණය කළේය. දෙවැනි දින මහා දානයක් දුන්නේය. වළඳා අවසන භාග්‍යවතුන් වහන්සේ රජුගේ අදහස්වලට ගැලපෙන සේ පුණ්‍යානුමෝදනා කරමින් විස්තරාර්ථ සහිත ධර්ම දේශනාවක් කළ සේක. එයට සවන්දුන් රජු ලැබූ ශ්‍රද්ධා ඇතිව, පැහැදීම් ඇතිව රජකම හැර දමා සසුනේ පැවිදිව අරහත් ඵලය සාක්‍ෂාත් කරගත්තේය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ ශරීරය චිතකයේ දැවෙන කල්හි සුවඳ දිය ඉසූ මම, ඒ චිතකය නිවූයෙමි.
මීට කල්ප තිස් එකකට පෙර දී මම යම් චිතකයක් නිවූයෙම් ද ඒ සුවඳ දිය ඉසි පිනින් දුගතියක නූපන්නෙමි.
දැන් කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් හුන් උන්වහන්සේ වෙත පැමිණි ක්‍ෂත්‍රිය ඤාතීහු ද ඇමතියෝ ද පිරිවර ජනයා ද නගර-ජනපද වාසීහු ද යන සියලු දෙනම “ස්වාමීනි! නුඹ වහන්සේ කුමක් නිසා අප අනාථකර පැවිදිවූයෙහි ද?යි විමසමින් අඬා වැලපුනහ. තෙරණුවෝ තම නෑයන් ඇතුළු ජනයා හඬා වැලපෙනු දැක ඔවුන්ට තමන්වහන්සේගේ පැවිදිවීමේ හේතුව ප්‍රකාශ කිරීම් වශයෙන් දහම් දෙසමින් මේ ගාථා තුන වදාළහ.
“සුනාථ ඤාතයො සබ්බෙ යාවන්තෙත්‍ථ සමාගතා,
ධම්මං වො දෙසයිස්සාමි, දුක්ඛා ජාති පුනප්පුන”
“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ,
ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”
“යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති,
පහාය ජාතිසංසාරං දුක්ඛස්සතන්තං කරිස්සතී”
එහි “සුණාථ” යනු අසවු. “දැන් මවිසින් පවසන දෙය යොමු කළ කන් ඇතිව, ශ්‍රෝත ද්වාරයේ සිත පිහිටුවා සිතට ගනිවු” යන අර්ථයයි. “ඤාතයො” ඤාතීන් ප්‍රමුඛ කරගෙන සියල්ලන්ටම ආමන්ත්‍රණය කරයි. එනිසා “සබ්බෙ යාවන්තෙත්‍ථ සමාගතා” යනුවෙන් “මෙහි රැස්වූ තාක් ඔබ සියල්ලෝම. මාගේ පැවිදිවීම නිසා මෙහි පැමිණි සියලුදෙනම” යන අර්ථයයි.
දැන් “අසවු” යැයි යමක් සඳහා කියන ලද ද ඒ ඇසිය යුතු වදන් පිළිබඳව පවසමින් “ධම්මං වො දෙසයිස්සාමි” යැයි නුඹලාටම දහම් දෙසන්නෙමි”යි අනුදනියි. “දුක්ඛා ජාති පුනප්පුනං” යන්නෙහි “ජාති” යනු ගැබට බැස ගැනීම්, ඉපදීම් සඳහා මුල් වූ හේතු ද ජරාවට පත්වීම් ආදි ලෙස ද අනේක විධ දුක්ඛයන්ට හේතුවන බැවින් ඉපදීම දුකකි. එය නැවත නැවත පැවතීම අතිශය දුකකි.
එනිසා ඉපදීම නැති කිරීමට උත්සාහ කළයුතු යැයි දේශනාව අරඹා “ආරභථ” යනාදී ගාථ වදාළහ. එහි “ආරභථ” යනු ආරම්භ ධාතු නම් වූ වීර්යය කරවු. “නික්ඛමථ” කුසීත බැවින් නික්මීම් වශයෙන් නික්ඛම ධාතු නම් වූ දැඩි වීර්යය කරවු. අරඹවු. නික්මෙවු. “යුඤ්ජථ බුද්ධ සාසනෙ” යම්හෙයකින් සීල සංවරයෙන් යුතු වූයේ, ඉඳුරන්හි සුරැකි ද්වාර (දොරටු) ඇතිව, භෝජනයෙහි පමණ දනිමින්, සිහි කල්පනාවෙන් යුක්තව මේ ධර්මයන්හි පිහිටියවුන්ට නිදිවැරීමෙහි නිරතවීම් වශයෙන් ආරම්භ, නික්ඛම ධාතු සම්පූර්ණ වේ. එනිසා මෙසේ වූ සමථ විදර්ශනා නම් වූ, අධිසීල ශික්‍ෂාදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනයෙහි නිරත වවු. ඊට අනුව හැසිරෙවු. “ධුනාථ මච්චුනො සෙනං නළගාරංව කුඤ්ජරො” මෙසේ පිළිපදින්නෝ, ත්‍රිවිධ ධාතුවලට ප්‍රධාන වූ මාරයාගේ වසඟයට සත්ත්‍වයන් පමුණුවන බැවින් මාරයාගේ සේනාව නම් වූ අබල දුබල වූ කෙලෙස් ධර්ම; කාය බලයෙන් පිරිපුන් හස්ති රාජයෙකු බටවලින් සෑදූ ගෙයක් මොහොතින් වනසන්නාක් මෙන් වනසා දමවු. දුරුකරවු. විධ්වංසනය කරවු යන අර්ථයයි.