ගොතම ස්ථවිරගාථා වර්ණනාව
“සංසරං” යනු ආයුෂ්මත් ගෝතම තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් කරමින් අවුත්; සිඛි භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේගේ සෑයට දෙවිමිනිසුන් විසින් පූජා පවත්වනු දැක තමා ද සපුමල් අටකින් පූජා පැවැත්වූහ. ඒ පින්කමේ විපාක විඳිමින් දෙවි මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී ශාක්ය රජකුලයේ ඉපිද ගෝතම යැයි සෝත්ර වශයෙන් ලබන ලද නම් ඇතිව වැඩිවියට පත් විය. ශාස්තෲන් වහන්සේ කිඹුල්වතට වැඩම කළ ඤාති සමාගමයේදී ලැබූ ශ්රද්ධා ඇති ගෝතම කුමරු සසුනේ පැවිදිව, විදසුන් කමටහන් වඩනුයේ ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් විය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“භාග්යවත් වූ ලෝකබන්ධු වූ සිඛි නම් බුදුරජාණන් දවනු ලබන චිතකයට සපුමල් අටකින් පූජා කළෙමි.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් මල් පූජාවක් කළෙම් ද ඒ මල් පූජාවේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභීව විමුක්ති සුවයෙන් වැඩවෙසෙන උන්වහන්සේගෙන් දිනක් නෑයෝ “ස්වාමීනි! කුමක් නිසා අප හැර දමා පැවිදිවූයෙහිද?”යි ඇසූහ. සසර දී තමා අත්විඳි සියලු දුක්ඛ දෝමනස්සයන් ද දැන් විඳින නිවන්සුවය ද ප්රකාශ කරන උන්වහන්සේ මේ ගාථා තුනෙන් ඔවුන්ට දහම් දෙසූහ.
1. “සංසරං හි නිරයං අගඤ්ඡිස්සං, පෙතලොකමගමං පුනප්පුනං,
දුක්ඛමම්හි පි තිරච්ඡානයොනියං, නෙකධා වුසිතං චිරං මයා”
දුක්ඛමම්හි පි තිරච්ඡානයොනියං, නෙකධා වුසිතං චිරං මයා”
2. මානුසොපි ච භවො භිරාධිතො, සග්ගකාය මගමං සකිං සකිං,
රූප ධාතු සු අරූපධාතුසු, නෙව සඤ්ඤීසු අසඤ්ඤීසු ඨිතං”
රූප ධාතු සු අරූපධාතුසු, නෙව සඤ්ඤීසු අසඤ්ඤීසු ඨිතං”
3. සම්භවා සුවිදිතා අසාරකා, සංඛතා පචලිතා සදෙරිතා,
තං විදිත්වා මහ මතුත සම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣගං” තී.
තං විදිත්වා මහ මතුත සම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣගං” තී.
එහි “සංසරං” යනු අනාදිමත් සංසාරයෙහි සැරිසරමින් කර්ම ක්ලේශයන් නිසා පංචගතීන්හි මැරි මැරී ඉපදීම් වශයෙන් ඒ ඒ භවයෙහි සැරි සරන්නේ යන අර්ථයයි. “හී” යනු නිපාතයක් පමණි. “නිරයං අගඤ්ඡිස්සං” සංජීවකාදි අට වැදෑරුම් මහා නිරයන්හි ද කුක්කුලාදී සොළොස් (16) වැදෑරුම් උස්සද නිරයන්හි පිළිසිඳ ගැනීම් වශයෙන් උපන්නෙමි. ගියෙමි. “පුනප්පුනං” නැවත නැවත යන මේ පදය සෙසු ප්රකාශයන්ට ද යෙදිය යුතුයි. “පෙතලොකං” ප්රේත විෂය, සා පිපාසාදී භේද ඇති ප්රේත භාවය යන අර්ථය යි. “අගමං” පිළිසිඳ ගැනීම් වශයෙන් ප්රේත ලෝකයට ගියෙමි. පැමිණියෙමි. “පුනප්පුනං” නැවත නැවත ඒ ඒ භවයෙහිදී “දුක්ඛමම්හිපී” ඔවුනොවුන් තියුණු කස, කෙවිටි ආදියෙන් තැලීමෙන් - ගැසීමෙන් ඇති වූ ඉවසිය නොහැකි දුකින්, ලිංග විපර්යාසයෙන්ම දුකින් යුක්ත වූයෙමි. “තිරච්ඡාන යොනියා” මුව-පක්ෂි ආදී ප්රභේද ඇති තිරිසන් යෝනියෙහි. “නෙක්ධාහි” ඔටු, ගෝත්ර, කොටළු ආදී වශයෙන් ද කපුටු, කෙකිණි, උකුසා ආදී වශයෙන් වූ ද නොයෙක් තිරිසන් ආත්මභවයන්හි නොයෙක් වර ඉතා දිගුකලක් ඉපිද මැරෙමින් විසුවෙමි. එසේ උපන් මම තැතිගැනීම්-බියවීම් ආදී වශයෙන් නේකදුක් වින්දෙමි. තිරිසන් යෝනියෙහි උපන් සත්ත්වයෝ මහත් මුලාවට පැමිණෙන බැවින් බොහෝ කාලයක් එහිම නැවත නැවත ඉපිද මැරෙමින් සිටින බව දැක්වීමට මෙහි “චිරං” යන්න දැක්විණි.
“මානුසොපි ච භවොභිරාධිතො” මවිසින් මනුෂ්යාත්ම භාවයන් ද ඊට සුදුසු වූ කුසල කර්මයන්ගේ එකතුවීමෙන් ලබන ලද්දෙමි. මිනිස් බවට පැමිණියෙමි. මෙහිදී කාණකච්ඡූපම සූත්රය (කණ කැස්බෑ උපමා සූත්රය) ගෙනහැර දැක්විය යුතුයි. “සග්ගකාය මගමං සකිං සකිං” ස්වර්ග නම් වූ කාමාවචර දේව ලෝකවලට ද වරින්වර ඉපදීම් වශයෙන් ගියෙමි. “රූපධාතුසු” පුහුදුන් භවයන්හි කෙළවර, අවසානයේ වූ රූප භවයන්හිද “අරූපධාතුසු” අරූප භවයන්හිද “නෙවසඤ්ඤීසු අසඤ්ඤීසු ඨිතං” හුදෙක් රූපාරූපාදී සංඥා භවයන්හි පමණක් නොව නේවසංඥාසංඥික භවයෙහිද අසංඥ භවයෙහි ද ඉපදුනෙමි. “ඒවායෙහි ද මම සිටියෙමි”යි අර්ථ ගත යුතුයි. මෙහි නේවසංඥායතනය ගැනීමෙන් නේවසංඥීනාසංඥී භවය ගන්නා ලදි. ඉදින් මෙම භව දෙකද රූපාරූප භවයන්ට ම අදාළ වුවත්, මේ සසුනින් බැහැර වූ දර්ශනවාදයන්හි නිත්ය සංඥීහු ද භවවිමෝක්ෂ සංඥීහු ද ඇති බැවින් ඔවුන්ගේ ඒ සංඥාවේ වැරදි (සාවද්ය) බව දැක්වීමට මෙසේ වෙන වෙනම සංඥී, අසංඥී භව දක්වන ලදැයි දත යුතුයි. මෙසේ මුල් ගාථා දෙකින් භව මූල හේතූන් මුලිනුපුටා නොදැමූ බැවින් අනාදිමත් සංසාරයෙහි තමා විඳි සසර දුක් සමූහය දක්වා, දැන් ඒ භවමූල හේතුන් මුලිනුපුටා දැමීමෙන් තමා විඳින සසරින් මිදීමේ නිවන් සුවය දක්වමින් මේ “සම්භවා” යන තෙවන ගාථාව වදාළහ.
එහි “සම්භවා” කාම භවාදියෙහි ම. හේතු ප්රත්ය සමවායෙන් (එතුවීමෙන්) හටගන්නා බැවින් මෙහිදී කාම භවාදිය සම්භවයෝ යැයි කියන ලදි. “සුවිදිතා” යනු විදර්ශනා ප්රඥාවෙන් යුක්ත මාර්ග ප්රඥාවෙන් මනාව දැනගත්. “අසාරකා” ආදී වශයෙන් සංසාර භවයන් පිළිබඳ දැනගත් ස්වභාවයන් දක්වයි. එහි “අසාරකා” යනු නිත්ය වූ සාර වූ ස්වභාවයෙන් දුරු වූ - අසාර වූ (හරයක් නැති) “සංඛතා” හේතු ප්රත්ය සමවායෙන් (එක්වීමෙන්) කරන ලද්දා වූ. “පචලිතා” සංඛත වූ බැවින් ම ඉපදෙන දිරායන ස්වභාවය නිසා සෙලවෙන, අස්ථිර වූ. “සදෙරිතා” සැම කල්හිම කැඩී බිඳී යන බැවින්, ස්වල්ප වශයෙන් භංගයට පත්වන බැවින් පභංගුර වූ - කම්පිත වූ යන අර්ථයයි. “තං විදිත්වා මහමත්තසම්භවං” ඉහතින් කියන ලද පරිදි සංඛ්යා ස්වභාවයෙන් යුතු තමාට ලැබුණු, තමා කෙරෙහි හටගත්, තමා අයත් වූ ආත්මභාවය පිළිබඳව ඉසුරු බව, ප්රධානත්වය දැක්වීම් වශයෙන් ද අනුන් අයත් ආත්මභාව පිළිබඳව පිරිසිඳ දැනගැනීම් වශයෙන් ද මම මනාව දැනගෙන, ඊට විරුද්ධ වූ ශාන්ත වූ නිවණටම මාර්ග ප්රඥාවෙන් සිහි ඇතිව පැමිණියෙමි. නිවන අවබෝධ කළෙමි. ආර්ය මාර්ග භාවනාවෙන් (වැඩීමෙන්) නිවණට පැමිණියෙමි. මෙසේ ගෝතම තෙරණුවෝ සිය ඤාතීන්හට ධර්මදේශනා කරමින් ම සිය රහත් බව ප්රකාශ කළ සේක.
ගෝතම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
හාරිත ස්ථවිරගාථා වර්ණනාව
“යො පුබ්බෙ කරණීයානී” යනාදී ගාථා ආයුෂ්මත් හාරිත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද සිටියහ. නුවණැති බවට පත් වූ ඒ සිටු කුමරු ශාස්තෲන්වහන්සේ පිරිනිවි කල්හි ඒ චිතකයට පූජා පවත්වමින් සුවඳ දුම් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු පවුලක උපන්නේ ය. හාරිත නම් වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව, ජාති මානයෙන් මත්ව සෙස්සන්ට “වසලයෝ” යැයි අමතමින් කල් ගත කළේය. හෙතෙම භික්ෂූන් සමීපයට ගොස් ධර්ම ශ්රවණය කිරීමෙන් ලැබූ ශ්රද්ධා ඇතිව පසුකලෙක පැවිදි වුවත්, ඉතා දිගු කලක් පුරුදු වූ වසල වාදයෙන් ඇමතීමේ පුරුද්ද අත් නොහළේය. එක් දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේදී ධර්ම ශ්රවණය කළ හාරිත තෙරණුවෝ, හටගත් සංවේග ඇතිව වහා සිත විදසුන් භාවනාවෙහි පිහිට වූහ. තම සිතේ පැවැත්ම පිළිබඳව පරීක්ෂා කර බලා මානයෙන් විසිරීගිය සිත හඳුනාගෙන ඊට නිග්රහ කරමින් එම සිතුවිලි බැහැර කර විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.