හාරිත ස්ථවිරගාථා වර්ණනාව
“යො පුබ්බෙ කරණීයානී” යනාදී ගාථා ආයුෂ්මත් හාරිත තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද සිටියහ. නුවණැති බවට පත් වූ ඒ සිටු කුමරු ශාස්තෲන්වහන්සේ පිරිනිවි කල්හි ඒ චිතකයට පූජා පවත්වමින් සුවඳ දුම් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු පවුලක උපන්නේ ය. හාරිත නම් වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව, ජාති මානයෙන් මත්ව සෙස්සන්ට “වසලයෝ” යැයි අමතමින් කල් ගත කළේය. හෙතෙම භික්ෂූන් සමීපයට ගොස් ධර්ම ශ්රවණය කිරීමෙන් ලැබූ ශ්රද්ධා ඇතිව පසුකලෙක පැවිදි වුවත්, ඉතා දිගු කලක් පුරුදු වූ වසල වාදයෙන් ඇමතීමේ පුරුද්ද අත් නොහළේය. එක් දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේදී ධර්ම ශ්රවණය කළ හාරිත තෙරණුවෝ, හටගත් සංවේග ඇතිව වහා සිත විදසුන් භාවනාවෙහි පිහිට වූහ. තම සිතේ පැවැත්ම පිළිබඳව පරීක්ෂා කර බලා මානයෙන් විසිරීගිය සිත හඳුනාගෙන ඊට නිග්රහ කරමින් එම සිතුවිලි බැහැර කර විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“නොයෙක් සුවඳ ද්රව්යයන්ගෙන් චිතකය සාදනු ලබන කල්හි මම පහන් සිතින් ඉතා සතුටුව සුවඳ මිටක් පූජා කළෙමි.
මීට කල්ප ලක්ෂයකට පෙරදී යම් චිතකයට සුවඳ ද්රව්ය පිදුවෙම් ද ඒ චිතක පූජාවේ විපාක වශයෙන් මම මේ දක්වාම දුගතියකට නොගියෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ හාරිත තෙරණුවෝ විමුක්ති සුවය විඳින සේක්, භික්ෂූන්ට අවවාද දීම සඳහා “යො පුබ්බෙ කරණීයානි - පච්ඡා සො කාතුමිච්ඡතී” යනාදී ගාථා තුන වදාළහ. මෙම ගාථා සහ එහි අර්ථ විස්තරය ඉහතින් දැක්වූ බක්කුල තෙරුන් වහන්සේගේ (3.1.3) ගාථා අර්ථ වර්ණනාවේ සඳහන් වේ. මේ ගාථා දේශනා කිරීමත් සමගම හාරිත තෙරුන්ගේ රහත් බව ද ප්රකාශ විය.
හාරිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
විමල ස්ථවිරගාථා වර්ණනාව
“පාපමිත්තෙ” යනු ආයුෂ්මත් විමල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි සසරින් මිදීම සඳහා පින් රැස් කරමින් අවුත් පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවීමට පත්ව ආගමික උත්සව පවත්වන දිනයන් ඉක්ම ගිය කල්හි උපාසකයෝ ඒ උතුම් බුදුසිරුර ගෙන දවන තැනට ගෙන ගියහ. එසේ ගෙන යන පෙරහැර දැක සිටුකුමරු බුදුගුණ සිහිපත් කරමින් සතුටු සිතින් දෑසමන් මලින් බුදුසිරුර පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස බමුණු පවුලක ඉපිද, විමල නමින් ප්රකට විය. වැඩිවියට පත් ඔහු සෝමමිත්ත තෙරුන් නිසා සසුනේ පැවිදිව උන්වහන්සේගේම මෙහෙයවීමෙන් විදසුන් වඩා නොබෝ කලකින් රහත් බවට පත්විය. විමල තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“ශරීරය ආදාහනය සඳහා ගෙනයමින් බෙර වයද්දී පහන් සිත් ඇති මම සතුටු සිතින් දෑ සමන් මලින් බුදුසිරුරට පූජා කළෙමි.
මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තම සහායක භික්ෂුවට අවවාද දෙමින් මේ ගාථා තුන වදාළහ.
“පාපමිත්තෙ විවජ්ජෙත්වා භජෙය්යුත්තම පුග්ගලෙ,
ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය පත්ථෙන්තො අචලං සුඛං”
ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය පත්ථෙන්තො අචලං සුඛං”
“පරිත්තං දාරුං ආරුය්හ යථා සීදෙ මහණ්ණවෙ,
එවං කුසීතං ආගම්ම සාධුජීවී වි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං”
එවං කුසීතං ආගම්ම සාධුජීවී වි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං”
“පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි,
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සභාවසෙ” තී.
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සභාවසෙ” තී.
එහි “පාපමිත්තෙ” අයහපත් මිතුරන්, අසත්පුරුෂයන්, අලස පුද්ගලයන්. “විවජ්ජෙත්වා” ඔවුන් ඇසුරු නොකරන දුරින්ම දුරු කර. “භජෙය්යුත්තම පුග්ගලෙ”. සත්පුරුෂ, නුවණැති, කලණ මිතුරන්ම ඇසුරු කරමින්, ඔවුන්ගේ අවවාද - අනුශාසනා පිළිගනිමින් සේවනය කරන්නේය. “ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය” ඒ කලණ මිතුරාගේ අවවාදයෙහි පිහිටා එය පිළිපැදීම් වශයෙන් සිටින්නේය. කටයුතු කරන්නේය. “පත්ථෙන්තා” පතනුයේ කැමති වනුයේ. ‘අචලං සුඛං’ උතුම් නිවන් සුවය. නිවන නොවෙනස්වන බැවින් අචල, ස්ථිර වූවකැයි කියනු ලැබේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.