විමල ස්ථවිරගාථා වර්ණනාව
“පාපමිත්තෙ” යනු ආයුෂ්මත් විමල තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයෙහි සසරින් මිදීම සඳහා පින් රැස් කරමින් අවුත් පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවීමට පත්ව ආගමික උත්සව පවත්වන දිනයන් ඉක්ම ගිය කල්හි උපාසකයෝ ඒ උතුම් බුදුසිරුර ගෙන දවන තැනට ගෙන ගියහ. එසේ ගෙන යන පෙරහැර දැක සිටුකුමරු බුදුගුණ සිහිපත් කරමින් සතුටු සිතින් දෑසමන් මලින් බුදුසිරුර පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස බමුණු පවුලක ඉපිද, විමල නමින් ප්රකට විය. වැඩිවියට පත් ඔහු සෝමමිත්ත තෙරුන් නිසා සසුනේ පැවිදිව උන්වහන්සේගේම මෙහෙයවීමෙන් විදසුන් වඩා නොබෝ කලකින් රහත් බවට පත්විය. විමල තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“ශරීරය ආදාහනය සඳහා ගෙනයමින් බෙර වයද්දී පහන් සිත් ඇති මම සතුටු සිතින් දෑ සමන් මලින් බුදුසිරුරට පූජා කළෙමි.
මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තම සහායක භික්ෂුවට අවවාද දෙමින් මේ ගාථා තුන වදාළහ.
“පාපමිත්තෙ විවජ්ජෙත්වා භජෙය්යුත්තම පුග්ගලෙ,
ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය පත්ථෙන්තො අචලං සුඛං”
ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය පත්ථෙන්තො අචලං සුඛං”
“පරිත්තං දාරුං ආරුය්හ යථා සීදෙ මහණ්ණවෙ,
එවං කුසීතං ආගම්ම සාධුජීවී වි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං”
එවං කුසීතං ආගම්ම සාධුජීවී වි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං”
“පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි,
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සභාවසෙ” තී.
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සභාවසෙ” තී.
එහි “පාපමිත්තෙ” අයහපත් මිතුරන්, අසත්පුරුෂයන්, අලස පුද්ගලයන්. “විවජ්ජෙත්වා” ඔවුන් ඇසුරු නොකරන දුරින්ම දුරු කර. “භජෙය්යුත්තම පුග්ගලෙ”. සත්පුරුෂ, නුවණැති, කලණ මිතුරන්ම ඇසුරු කරමින්, ඔවුන්ගේ අවවාද - අනුශාසනා පිළිගනිමින් සේවනය කරන්නේය. “ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය” ඒ කලණ මිතුරාගේ අවවාදයෙහි පිහිටා එය පිළිපැදීම් වශයෙන් සිටින්නේය. කටයුතු කරන්නේය. “පත්ථෙන්තා” පතනුයේ කැමති වනුයේ. ‘අචලං සුඛං’ උතුම් නිවන් සුවය. නිවන නොවෙනස්වන බැවින් අචල, ස්ථිර වූවකැයි කියනු ලැබේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
විමල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
තික නිපාතයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
ප්රථම භාගය නිමි
ථෙරගාථා-අට්ඨකථා
(දෙවන භාගය)
4. චතුක්ක නිපාතය
නාගසමාල ස්ථවිරගාථා වර්ණනාව
“අලංකතා” යනාදී ගාථා සතර ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. ඔහු දිනක් ග්රීෂ්ම සමයේ සූර්ය තාපයේ තැවුණු බිම වැඩම කරන ශාස්තෲන් වහන්සේ දැක පහන් වූ සිතින් කුඩයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේදී ශාක්ය රජ කුලයේ ඉපිද නාගසමාල නමින් ප්රකට විය. වැඩිවියට පත් වූ එකුමරු කිඹුල්වත් පුරට වැඩම වූ බුදුරදුන්ගේ ඤාති සමාගමයෙහි දී ලැබූ ශ්රද්ධාවෙන් සසුනේ පැවිදිව මද කලක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා ලෙස ද කටයුතු කළේය. නාගසමාල තෙරණුවෝ දිනක් පිඬුපිණිස නගරයට පිවිසි සේක්, අලංකාරව සැරසුණු එක් නිළියක් මහා මාර්ගයේ තූර්යවාදන පවත්වන විට නටනු දුටු සේක. ඒ දැක, “මේ සිතේ ක්රියාව අනුව වායෝ ධාතුවේ මෙහෙයවීමෙන් මැගේ සිවුමහා භූතමය කය ඒ මේ අත පෙරැළේ. අහෝ සංස්කාර ධර්මයෝ අනිත්යයහ”යි ක්ෂයවීම - වැයවීම පිළිබඳව සිහිපත් කරමින් විදසුනෙහි සිත පිහිට වූ උන්වහන්සේ රහත් බවට පත්වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පොළව අඟුරු මෙන් විය. මිහිකත උණු අළු සහිත විය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එළිමහනෙහි සක්මන් කළ සේක.
කුඩයක් ගත් මම එකල මඟට පිවිසියෙමි. අතරමඟදී බුදුරජාණන් වහන්සේ දැක සතුටට සත් වූ මම, භූමිය මිරිඟුවෙන් වැසුණේය. මේ පොළොව රත් වූ අඟුරු මෙනි. ශරීරයේ ප්රාණය නසන මහ සුළං හමන්නේය. ශීතල හා උණුසුම නසන, වාතය හා අව්ව වළකන මේ ඡත්රය පිළිගනු මැනවි. ඒ හේතුවෙන් මම නිවන් දකින්නෙමි”යි පවසා බුදුරදුන්ට කුඩය පිළිගැන්වූයෙමි.
එකල අනුකම්පා සිත් ඇති කාරුණික වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණෝ මාගේ අදහස දැන, එය පිළිගත් සේක.
කල්ප තිහක් පුරා ශක්ර දේවේන්ද්රව දෙව්රජය කරවූ මම පන්සිය වාරයක් සක්විති රජව උපන්නෙමි.
මා ලැබූ ප්රදේශ රාජ සම්පත් පමණ කළ නොහැක. පෙර ම විසින්ම කළ මනා වූ පින්කමේ විපාක අනුභව කරමි.
මේ මාගේ අවසන් ආත්ම භාවයයි. අවසන් සිරුර දරණ මාහට සැමකල්හිම සේසතක් ඇරෙයි.
මීට කල්ප ලක්ෂයකට පෙර දී යම් ඡත්ර දානයක් පැවැත්වූයෙම් ද ඒ හේතුවෙන් මේ දක්වාම දුගතියක නො ගියෙමි. ඡත්ර දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් නාගසමාල තෙරණුවෝ සිය පිළිවෙත් මග ප්රකාශ කිරීම් වශයෙන් රහත් බව විවරණය කරමින් මේ ගාථා සතර වදාළහ.