වාරණ ස්ථවිරගාථා වර්ණනාව
“යොධ කොචි මනුස්සෙසු” යනු ආයුෂ්මත් වාරණ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්කම් රැස්කරමින් අවුත්, මීට කල්ප අනූදෙකකට පෙර දී තිස්ස බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදී සුමේධ නමින් බමුණු කුලයෙහි ඉපිද වේද ශිල්පයන්හි පරතෙරට ගොස්, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූහ. එසමයේදී තිස්ස බෝධිසත්ත්‍වයෝ තුසිත දෙව්ලොවින් නික්ම අවසන් භවයේ දී මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මහ පොළොව කම්පා විය. ඒ දුටු මහජනයා, භය වී ත්‍රස්ත වී, ඒ සෘෂිවරයා වෙත පැමිණ පොළොව කම්පාවීමට හේතු විචාළේය. ඔහු එවිට “මහබෝසත්හු මවුකුස පිළිසිඳගත්හ. එනිසා මේ පොළෝ කම්පාව සිදුවිය. නුඹලා බිය නොවවු”යි බුදුවරයකුගේ උපතේ පූර්ව නිමිති පිළිබඳව පවසා මහජනයා අස්වැසීය. බුද්ධාරම්මණයෙහි සිය ප්‍රීතියද පළ කළේය. මේ පින්කමේ විපාක විඳිමින් ඔහු දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු කුලයක උපන්නේ ය. වාරණ නමින් ප්‍රකට වූ ඒ බමුණා නිසිවියට පත්ව දිනක් එක්තරා තෙරනමකගෙන් දහම් අසා, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිව මහණදම් පිරීය. එක්දිනක් බුද්ධෝපස්ථානයට යන අතරමගදී උන්වහන්සේ මුගටියකු හා නයෙකු ඔවුනොවුන් හා කලහ කොට මැරී සිටිනු දැක, “මේ සත්ත්වයෝ ඔවුනොවුන්ට විරුද්ධවීමෙන් ජීවිතක්‍ෂයට පත්වෙති”යි සංවේග පත් සිතින්ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ වාරණ තෙරුන්ගේ සිත දැන ඊට අනුරූප වූ ම අවවාදයක් දෙන සේක්, මේ ගාථා තුන වදාළහ.
“යොධ කොචි මනුස්සෙසු පරපාණානි හිංසති,
අස්මා ලොකා පරම්භා ච උභයා ධංසතෙ නරො”
“යොච මෙත්තෙන චිත්තෙන සබ්බපාණානුකම්පති,
බහුං සො පසවති පුඤ්ඤං තෙන තාදිසකො නරො”
“සුභාසිතස්ස සික්ඛෙථ සමණුපාසනස්ස ච,
එකාසනස්ස ච රහො චිත්තවූපසමස්ස චා” තී.
එහි “යොධ කොචි මනුස්සෙසු” මෙලොව මිනිසුන් අතර යම් කිසිවෙක්, ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ යන ඕනෑම මිනිසෙක්. මෙහි “මනුස්ස” ශබ්දයෙන් උත්කෘෂ්ඨ සත්ත්‍වයකු දක්වන ලදැයි දතයුතුයි. “පරපාණානි හිංසතී” අනිකුත් සතුන් මරයා. පීඩාවට පත්කරයි ද “අස්මාලොකා” මේ ලෝකයෙන්. “පරම්හා” පරලෝකයෙන්. “උභයාධංසතෙ” මෙලෝ පරලෝ දෙකින්ම පිරිහේ. දෙලොවටම අයත් හිතසුව පිරිහී යන්නේය යන අර්ථයයි. “නරො” යනු සත්ත්‍වයා.
මෙසේ අනුන් පෙළන පාපධර්ම හා විපාක දක්වා දැන් අනුන් පෙළීමෙන් වැළකීමෙන් ලැබෙන කුසල් දහම් දක්වනසේක් “යොච මෙත්තෙන” යන දෙවන ගාථාව වදාළහ. එහි “මෙත්තෙන චිත්තෙන” මෛත්‍රී සම්ප්‍රයුක්ත සිතින්, අර්පණාධ්‍යානයට හෝ ඊට වඩා ඉහළ ධ්‍යානයකට සමවැදුණු සිතින්, “සබ්බපාණානුකම්පතී” සියලු සතුන් තම ඖරස පුත්‍රයන් මෙන් සලකා මෛත්‍රී කරයි. “බහුං හි සො පස්වති පුඤ්ඤං තෙන තාදිසකො නරො” ඒ මෛත්‍රී විහාරයෙන් යුක්ත පුද්ගලයා බොහෝ වූ අනල්ප වූ මහත් කුසල් රැස්කරයි. ලබයි. පත්වෙයි.
දැන් ඔහු පරිවාර සහිත සමථ විදර්ශනා දහම්හි යොදවන සේක්, “සුභාසිතස්ස” යනාදී තෙවන ගාථාව වදාළහ. එහි “සුභාසිතස්ස සික්ඛෙථ” අල්පේච්ඡාදී කථාවන්හි, සුභාෂිත වූ පර්යාප්ති ධර්මය ඇසීම, දැරීම, පුහුණුව, විචාරීම යනාදී වශයෙන් හික්මෙන්නේ ය. “සමණුපාසනස්ස ච” සන්සිඳවූ පාප ඇති ශ්‍රමණයන්ගේ, කළණ මිතුරන්ගේ, උපාසකයන්ගේ කලින් කලට පැමිණ ඇසුරු කිරීම මෙන්ම ඔවුන්ගේ පිළිවෙත් පිරීම, ඔවුන් අනුව හැසිරෙමින් හික්මෙන්නේය. “එකාසනස්සච රහො චිත්තවූපසමස්සවා” එකම අසහාය වූ කායවිවේකය වඩන්නාට රහසිගතව කමටහනෙහිම සිත පිහිටුවා අසුනෙහි ම හිඳ නික්මෙන්නේ ය. මෙසේ කමටහන් අනුව යෙදෙන්නා භාවනාවෙහි ද මස්තක ප්‍රාප්ත වී මුලුමනින්ම සිතේ පවතින කෙලෙස් ධර්ම වනසා දමා හික්මෙන්නේ ය. අධි ශීල ශික්‍ෂාදියෙහිදී කෙලෙස් අතිශයින්ම සන්සිඳී ප්‍රහීණවේමය. මාර්ගඵල ශික්‍ෂාවෙහි හික්මෙන්නහුගේ අතිශයින්ම සන්සිඳුණේ නම් වේ. එම ගාථා දේශනාව අවසන්හිම තෙරණුවෝ විදසුන් වඩා රහත් වූහ. අපදාන පාලියේදී වාරණ තෙරණුවෝ මෙසේ වදාළහ.